අපට කිසිදා කිසිවක යථා ස්වරූපය දැකිය නොහැක. අප දකින්නේ අපෙ සංඥාවෙන් අපේ සිත තුළ මවා ගත් දේ පමණි. අප මිනිසුන් මේ මේ ආකාරය යැයි සිතින් මවා ගෙන, සිතින් උපකල්පනය කරමින්, ඔවුන් හා වරෙක ඇලෙයි වරෙක ගැටෙයි.
අපේ සිතේ මවා ගත් ස්වරූපයට අනුකූලවම බාහිර පුද්ගලයා ක්‍රියා කරයි නම්, අප ඔහු හා ඇලෙයි. අප සිතින් මවා ගත් ආකාරයට වඩා වෙනස් විදියකට ක්‍රියා කරද්දී ගැටෙයි. එනම්.අපේ පංචස්කන්ධයේ, නාම ධර්මයන්ට අනුකූලව, සංඥාවෙන් මවා ගන්නා රූපයන් පමණි. කෙනකුගේ සිත පිරිසිද දැකීමට පෘථග්ජන, සාමාන්‍ය කෙනකුට නොහැක. එකම අයකු පිළිබදව විවිධ අයගේ සිත් තුළ පවතින හැඟීම වෙනස් වන්නේ, තම තමන්, තමාගේ සිතේ ස්වභාවයට අනුවම බාහිර ලෝකය දකින බැවිනි. ඇත්ත ස්වරූපය මෙයට හාත්පසින්ම වෙනස් විය හැක.
සියළු ලෝකය පිරිසිඳ දත් ලොව්තුරා අමා මෑණි බුදු පියාණන් වහන්සේට එක් ක්ෂණයක් තුළදී සත්වයන්ගේ අතීත, අනාගත, වර්තමාන සිතිවිලි පරම්පරාවන් දැක ගත හැකි විය.
එසේ සියළු ලෝක ධාතුන් සිසාරා විමස විමසා බැලිය හැකි සර්වඥතා ඤාණයකින් යුත් උන්වහන්සේ සත්වයන් යළි යළිත් ඉපදමින්, මැරෙමින් විවිධ වූ භවයන්හි සැරිසරමින් නොනවතින සසර ගමනක යෙදී සිටින බව දත් සේක.
සිතෙහි ඇතිවන සිතිවිල්ල හේතුවෙන් ඉදිරි භවයන් සැකසෙන අයුරු පිරිසිඳ දත් සේක. එම භව ගමන යළි යළිත් සකසාලන අවිද්‍යව නැමැති මූලය පවතින තාක් කල්, තෘෂ්ණාවෙන් සත්වයා සසරටම බැඳ තබන බව දත් සේක. යමක් සියුම්ව හෝ ග්‍රාහණය කරගෙන සිටිනා උපාදානය නැමැති ක්ලේශය සිතින් මුළිනුපුටා දමන තෙක්, එකක් පසුපස එකක් සේ නොනැවති සිතිවිලි ගලමින්, භවයම නිර්මාණය කරන බව දත් සේක. “මම” යන මිථ්‍යාවෙන් , මුලාවෙන් සත්වයා වැසී සිටිනා තෙක් එම උපාදානයන් බිඳිය නොහැකි බව උන් වහන්සේ අවබෝධ කරගත් සේක.
හේතු අනුවම ඉපිද, හේතු නිරුද්ධ වූ කල්හි නිරුද්ධ වී යන චිත්තයන්හි ,”මම”, “මගේ” බවක් නොමැති බව උන්වහන්සේ පසක් කොට දත් සේක.
එසේ වූ තීක්ෂණ සර්වඥතා ඤාණයකින් ලොව පිරිසිද දත් බුදු රජාණන් වහන්සේ මේ නොනවතින භවය සිඳීමට අවශ්‍ය මාර්ගය කුමක්ද යන්න ප්‍රත්‍යක්ෂ කොට දැන සත්වයාට , චතුරාර්‍ය සත්‍ය ලෙසින් දේශනා කොට වඳාළ සේක.
දුකක් මේ ලොව තුළ පවතින බවත්, එම දුක ඇතිවීමට හේතුවක් ඇති බවත්, එම හේතුව නිරුද්ධ කළ කල්හි දුක නැතිවන බවත්, එයින්ම සියළු සසර ගමන, සිඳළිය හැකි බවද, ඒ සඳහා කළයුතු කාර්යයද කරුණාවෙන්ම වඳාළ සේක.
අප කුඩා කළ සිට දත් මැද පිරිසිදුව තබා ගනිමින් එය ආරක්ෂා කරගන්නට වෙහෙසෙයි. ඒ අපට වැඩිහිටියන් උගන්වා ඇති හෙයිනි. දත් කැක්කුමේ වේදනාව අප දන්නා බැවිනි. යම් දුකක් විඳීමට අකැමැති වීමද, සැපක් විඳීමට කැමති වීමද සිතේ ස්වභාවයයි. එම නිසා දුකින් මිදීමට අප කල්තියා අවශ්‍ය පිළියම් යොදමින් පරෙස්සම් වන්නෙමු. ඒ නුවණැතියන්ගේ ලක්ෂණයයි. මෙපරිදිම කර්ම විපාක ශක්තිය දන්නා, සසර දුක දන්නා පණ්ඩිතයා එම දුකින් මිදීමට අවශ්‍ය ප්‍රතිකර්මය කල් තියා යොදා ගනු ඇත.
සසර පිළිබඳ බිය කෙසේ වූවද, මේ නිෂ්ඵල වූ, අසාර වූ සසර, ජීවීතය පිළිබඳව හරසුන් බව දක්නා නුවණැත්තා එයින් ගැළවීමේ මාර්ගයට එළබෙන්නේය.
සියළු සත්වයෝ කර්මය දායාද කොටගෙන ඇත්තෝය. ඔබ තිදොරින් කර ගන්නා කර්මයට විපාකය ඔබ බාර ගත යුතුය. අපට තව කෙනෙකුගේ කර්මයක් කෙරෙහි කොතෙක් දුක් වූවද , තාවකාලික පිළිසරණක් ලබාදිය හැකි වූවද, සදාකාලික වූ පිහිටක් ලබා දීමට කිසිදා නොහැකි වනු ඇත. සදාකාලික පිළිසරණට මාර්ගය බුදු රජාණන් වහන්සේ විසින් විවෘත කොට හමාරය.
එම මඟ ගමන් ගන්නා විසින්, සංඥවෙන් දකිනා ලෝකය තුළ ඇලෙමින්, ගැටෙමින් වාසය කිරීමේ මෝහය අත්දකිනු ඇත.
අපට අවශ්‍ය පරිදි අපේ සිතවත් නොපවතින කල්හි, අපේ රූපයවත් නොපවතින කල්හි, බාහිර ලෝකයේ පුද්ගලයන්ගෙන් කිසිඳා එය බලාපොරොත්තු විය නොහැක. අනාත්මය යනු එයයි..
යමෙක් අනාත්මය හදවතින් පසක් කොට දකීද, ඔහු සිත තුළින් ලෝකය නැමැති සංඥාවන් ක්‍රමයෙන් ගිලිහී යයි. ඔබට යුද්ධයක් දිනිය හැකි වනු ඇත. නමුත් තම සිත දිනීම අසීරුතම වනු ඇත.
බාහිර ලෝකයක්, බාහිර රූප යනු තම සිතේම සිතිවිල්ලක් පමණක් බව පසක් වන දිනයක් එවැනි කෙනකුට එළැබෙණු ඇත. එදිනට ඔහු සිත තුළින් සියළු දෘෂ්ටීන් බිඳ වැටී, කිසිම සංස්කාරයක යළි නො ඇලෙන, නො ගැටෙන , සාමකාමි, නිදහස්, සුවදායි, විමුක්ත සුවයෙන් පිරි මනසක් උදා වනු ඇත.
සදාකාලික දුකේ නිමාව එයයි.
එතනින් මෙහා යමෙක් දුකක නිමාවක් සේ යම් දෙයක් දකී නම්, එය කෙටි කාලීන සුවයකි. එම සදාකාලික සුවය ලබන තැනට කෙනකු පියවර තබන්නේ නම්, ඔහුට කවදා හෝ දිනක එම සුවය ලැබෙනු ඇත.
එයට අවශ්‍ය වීර්‍ය්ය, ශක්තිය, තමා තුළින්ම වඩවාගත යුතුමය.
කෙනකුට ඔබට නිවන් මාර්ගය පෙන්වා දිය හැක. නමුත් එහි ගමන් කොට, නිවන අත්දැකිය හැක්කේ ඔබටම පමණි.
සුවපත් වේවා…!!!
~~~අමා සුව~~~