සිත් තැවුල් වලින් සදහටම මිදෙන්නේ කෙසේද ?

ජීවිතයේ කරදර නිමක් නැත..එකක් පසුපස එක සේ එවා ගලා එයි. සිතට සැනසීමක් නොමැත. අද සතුටින් සිටියොත් හෙට ඒ සතුට නැත. අද තිබූ ප්‍රශ්නයට කෙසේ හෝ විසඳුමක් ලබා දී එයින් නිදහස් වූවද, හෙට ඇත්තේ අලුත්ම ප්‍රශ්නයකි.. ජීවිතයම ප්‍රශ්න පත්තරයක් මෙනි. සිත සැනසීමෙන් පවත්වා ගැනීම අසීරුය. ලෙඩක් දුකක් නොවී කය පවත්වා ගත්තද සිත නම් එලෙසින් පවත්වා ගැනීම ඉතාමත්ම අසීරුය.

ඇත්තෙන්ම සිතට මේ තරම් දුක් තැවුල් දැනෙන්නේ ඇයි..? අපිට කැමති පරිදි දේවල් සිදු නොවන විට , අප අපේක්ෂා කරන ආකාරයට වඩා වෙනස් ලෙසකට දේවල් සිදු වන විට අපේ සිත ඒ හා ගැටෙයි. සිත දුකට පත් වෙයි.
මේ මේ දෙය මේ මේ ආකාරයෙන් පවතිනු ඇතැයි අප අපේක්ෂා කරයි. පුද්ගලයන් මෙන්ම වස්තූන්ද අප සිතන පතන ආකාරයට අනුවම පවතියි යැයි අප සිතයි. විශ්වාසය තබයි. වෙනස් නොවන ලෙසට පොරොන්දු, ගිවිසුම්ද ඇතැම් විට ඇති කර ගනී. ඒවා වෙනස් වන විට විශ්වාසය කැඩුවා, පොරොන්දුව කැඩුවා යැයි අප ගැටීම් ඇති කර ගනී.
ඇත්ත වශයෙන්ම කිසිවක් අපට ඕනෑ පරිදි පවත්වා ගත නොහැක. ඒවා එසේ අපට ඕනෑ ලෙසටම සදාකල් පවතී නම් මේ ලෝකයේ දුකක් කියා දෙයක් නොමැත. සියළු දේම අප ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඉටු වේ නම් සියල්ලෝම සතුටින් සිටිනු ඇත.

සියළු සංස්කාරයන් අනාත්ම වේ. කිසිවක් අපට ඕනෑ පරිදි නොපවති. ඒවා වෙනස් වේ.විපරිණාමයට පත් වේ. එසේ අනිත්ය වූ අනාත්ම වූ සංස්කාරයන්ගේ ස්වභාවය දෙස බලා අප සිත තුළ ගැටීමක් ඇති කරගන්නේ ඒවායේ යථා ස්වරුපය සිතට අවබෝධ වී නොමැති හෙයිනි.
සියළු සත්වයෝ කර්මය දායාද කොට ඇත්තෝය..
උඩු සුළඟට හසුව ඔහේ ගසාගෙන යන වියළි කොළ රොඩු මෙන් සත්වයන්ගේ ජීවිතද මේ සංසාරය තුළ ඔහේ ගසා ගෙන යයි. කිසිදු හරයක් වටිනා කමක් නොමැත..

සත්ය නම් බාහිර වස්තූන් හෝ පුද්ගලයන් නිසා අප සිත තුළ ගැටීමක් හෝ ඇලීමක් ඇති නොවන බවය. අප ඒවා සිතින් අල්ලාගන්න ප්‍රමාණය මත, ඒවා කෙරෙහි ඇති කරගන්නා සිතිවිලි වලට අනුව අප සිත තුළ ඇලීමත් ගැටීමත් ඇතිවේ. තව කෙනකුට දුකක් වන දේ තවත් කෙනකුට සැපක් වනු ඇත.

අප යම් දෙයක් සිතින් අල්ලාගන්නේ යම් පමණකටද, සිතින් ඒවාට වටිනාකම් දෙන්නේ යම් පමණකටද ඒ අනුවම අපට සැප දුක් වේදනාවන් ඇතිවේ.

සියළු උපාදානයන්, වටිනාකම් තීරණය කරන්නේ සිත තුළිනි. යම් යම් සංස්කාරයන්ට සිත තුළ දී ඇති වටිනාකම් වලට අනුවම, ඒවා නිසා සිත තුළින් සැප දුක් උදා වේ.
ඇතැම් කෙනකුට වටිනා දෙය අපට වටින්නේ නැත.
කෙනෙක් වාහන වලට වටිනාකම් දෙයි. එම වාහනය සීරුණු විටදි පවා සිත කම්පාවට පත් වෙයි. කෙනෙක් ඉඩ කඩම් වටිනා කමින් අල්ලා ගනි. ඒවා කෙරෙහි තණ්හාවෙන් බැඳෙයි.
තව කෙනෙක් භෞතික දේවල් වලට නොව රාගයට ඇලෙයි. ඒවාම අභිනන්දනය කරයි. සබඳතා කෙරෙහි වටිනාකමක් දෙයි. ඒවා බිඳ වැටුණු විට සිතින් වැටෙයි.
තවත් කෙනෙක් රූපයට වටිනාකමක් දෙයි. ඒ වෙනුවෙන් වෙහෙසෙයි. එහි විපරිණාමය කෙරෙහි සිත් තැවුල් ඇති කර ගනී.

මේ ආකාරයෙන් විවිධ වූ අය සිතින් අල්ලා ගන්නා දේ විවිධය. කුමක් අල්ලා ගත්තද ඒ සෑම දෙයම උපාදානයයි.

යමක් සිතින් යම් පමණකට හෝ අල්ලාගන්නේද එයින් ලැබෙන්නේ දුකක් මිස සැපක් නොවේ. යම්කිසි ආශ්වාදයක් ලැබෙන බව සත්යයකි. නමුත් එයින් ලැබෙන දුක් හා සසදද්දී, සැපය අල්පය.
ඉදිකටු තුඩක තරම් අල්ප වූ සැපයක් නිසා ලැබෙන දුක විශ්වය තරම්ය. ඇතැම් දේවල් වල දුක මේ ජීවීතය තුළ පමණක් නොව කල්ප ගණන් සසර පුරා පසු පස එයි.
උපාදානය යනු එලෙසින්ම බලවත් වූ සත්වයා සසරට ඇඳ බැඳ තබන මූලයයි. එයින් නිදහස් වූ කෙනා සංසාරයෙන් නිදහස් වෙයි.

සියළු සංස්කාරයන්ගේ යථා ස්වරූපය යම් කෙනෙක් අවබෝධ කර ගත්තේද, ඔහුගේ සිත තුළින් ඒවා කෙරෙහි පවතින ඇලීමත්, ගැටීමත් ක්‍රමයෙන් දුරුව යයි. එය නැවත බාහිර අරමුණු නිසා දුකට පත් නොවෙයි. ඒවායේ විපරිණාමය, අනාත්ම ස්වභාවය කෙරෙහි සිත තුළ උපේක්ෂාවක්.ගොඩ නැඟේ.

නූල කපා දැමූ සරුංගලයක් මේ විසල් අහස තුළ ගසා ගෙන යන්නේ යම් සේද, ඔහුගේ හදවත සියළු උපාදානයන්ගෙන් මිදී සැනසීම උදා කර ගනී..
අතු පතර විහිදී ගිය විසල් රුකක් අව් වැසි, සුළං ඉදිරියේ නොසැලී පවතින්නේ යම්සේද, ඔහුද අෂ්ට ලෝක ධර්මතාවය ඉදිරියේ නොසැලෙන සිතකින් යුතුව වෙසෙයි.
ඉදිරී වැටෙන දිනට එය ඉදිරී වැටෙයි..

ධර්මතාවය ඉදිරියේ නොසෙල්වී සිටීමට නම් එය අවබෝධ කරගත යුතුමය.
සියළු සංස්කාරයන් අනිත්ය බව, දුක් බව, අනාත්ම බව නුවණින් දත යුතුය.
ක්‍රමානුකූලව මේවා අවබෝධ කරගෙන, සියළු සංස්කාරයන් සිතින් අත හැර නිදහස් සිතකින්, ප්‍රීතිමත් සිතකින්, සන්සුන් සිතකින් වාසය කිරීමට සියළු සත්වයන්ට හැකි වේවා..!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.