රූපයේ ඇත්ත දකින්න

පෘථග්ජන සිත් තුළ තමාගේ රූපය කෙරෙහි ආශාවක්, ඇලීමක් ,අල්ලා ගැනීමක් පවතී. මේ රූපය මගේ ආත්මයය,, මගේ පාලනයේ මට ඕනෑ පරිදි පවත්වාගෙන යාහැකිය යන මුලාව පවතී. තම රූපයට පමණක් නොව, තමා ඇසුරු කරන තමා වටේ සිටින දූ දරු, නෑදෑ,දෙමාපිය ,යහළු මිත්‍රාදීන් කෙරෙහිද, ගේ දොර, ඉඩකඩම්, රැකියා, මිල මුදල් ආදී බාහිර වස්තූන් කෙරෙහිද ආශාව, ඇලීම, උපාදානය පවතී. භවයේ රැඳී සිටීම ඒකාන්ත දුකක් බව නොදන්නා මෝහය පවතින නිසා, යළි යළි සසරේ ඉපදෙමින්, මැරෙමින් ගමන් කිරීමට ආශා කරයි. එමෙන්ම කර්ම සිදු කරමින්, ඒවා විපාක දීමේ ශක්තියකින් යුතුව සිටී. නිරායාසයෙන් සිත තුළින් සිතිවිලි ගලා යෑමේ ශක්තිය පවතී. මෙවැනි පෘථග්ජන සත්වයකු මරණ මොහොතේදී ඉහත කී හේතු නිසා නැවත විඥාණය ගොස් වෙනත් භවයක උපතක් ලැබීමේ ශක්තියකින් යුක්ත වේ. ස්ත්‍රියක් හා පුරුෂයකු එකතුවීමෙන් හට ගන්නා කළල රූපයක මෙම පෙර ජීවිතයේ කයෙන් ගිලිහෙන් විඥාණය ගොස් බැස ගනී.මෙය කර්මානූරූපීව සිදුවන්නකි.

මෙහිදී මෙම කළල රූපය තනිකරම , මවගේත් පියාගෙත් රූප කොටස් වල එකතුවකින් සැදුණු රූපයකි.එය අනුන්ට අයත් දෙයකි.තමාගේ නොවේ. එවැනි අති සියුම් රූප කලාපයක බැසගන්නා විඥාණය ක්‍රමයෙන් විකසණය වන්නට පටන් ගනී. මව ගන්නා ආහාර පාන ආදියෙන් රූපය වැඩෙයි. මෙම රූපය හට ගැනීමේ සමුදය බුදු රජාණන් වහන්සේ දේශනාකොට ඇත.

විඥාණය, ඵස්ස, මනෝ සංචේතනා, කබලිංකාර ආහාර යනුවෙනි. තවද එය කර්ම, චිත්ත, සෘතු ,ආහාර ලෙසින්ද දක්වා ඇත. විඥාණය නම් පෙර ජීවීතයෙන් පැමිණ මව් කුසේ, කළල රූපයේ බැසගන්නා විඥාණයයි. එය නොමැති නම්, කළලය සජිවී සත්වයකු බවට පත්වෙමින් විකසණය නොවී දියවී යයි. එම විඥාණය එසේ පැමිණ බැසගැනීම හේතු කොටගෙන රූපය වැඩෙන්නට පටන් ගනී. ඵස්සය නම් ස්පර්ශයයි. ශරීරයේ සීත, ඌෂ්ණ යමක් ස්පර්ශ වූවද රූපය වෙනස් වේ. මදුරුවකු, දළඹුවකු ආදී සත්වයකුද, ඌෂ්ණ යමක්, සීත යමක් ආදී දෙයක් ස්පර්ශ වූවද රූපය විපරිණාමයට බඳුන් වේ. ඵස්ස ආහාරය රූප සමුදයක් වන්නේ එලෙසිනි.

මනෝ සංචේතනා නම්, සිතිවිලිය. සිතට නැඟෙන සිතිවිලි වලට අනුව රූපය වෙනස් වේ. තරහා ගිය විට මුහුණේ පැහැය වෙනස් වේ. නොදන්නා කෙනකුට වූවද, තරහ ගිය කෙනකු දුටු විට එය වහා අඳුනා ගත හැකි වන්නේ, සිතට අනුව රූප කලාපයන් වෙනස් වන නිසාවෙනි. එලෙසින්ම අප කැමති, ආදරය කරන කෙනෙක් දුටුවිට, කැමති යමක් අසන්නට ලැබුණු විට ශරිරය වෙනස් ස්වරූපයක් ගනී. මෛත්‍රී භාවනාව ආදී භාවනාවක් කාලයක් ප්‍රගුණ කරන අයගේ මුහුණ, ශරීරයේ පැහැය පැහැපත්ය. ප්‍රසන්නය. ඒ සිතිවිලි වලට අනුව රූපය වෙනස් වන නිසාය. එනම් මනෝ සංචේතනා, රූප සමුදයකි. අප ගන්නා ආහාර පාන නිසා රූපය වෙනස් වන ආකාරය පහසුවෙන් තේරුම් ගත හැක.
මේ ආකාරයට රූපයේ සමුදය වටහා ගත යුතු වේ.

මේ රූපය සැදී ඇත්තේ තනිකරම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්ගෙනි. ඒ හැර අන් දෙයක් රූපය තුළ නැත. ඉතාමත් කුඩා රූප කලාපයක වුවද මෙම ධාතු හතරම පිහිටා ඇත. ප්‍රකට වන ධාතුවේ ස්වභාවය අනුව, අපට ඒවා ඝන, ද්‍රව, වායු ලෙසින් හඳුනා ගත හැක.
රූපය යනු තනිකරම ධාතු මාත්‍රයකි ඒ හැර වෙන සත්වයෙක්, පුද්ගලයෙක්, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඒ තුළ නැත.

මේ රූපයේ යථා ස්වරුපය කුමක්ද? එය ක්ෂණයක් ක්ෂණයක් පාසා අනිත්‍යයට යයි.පියවි ඇසට නොපෙනෙන තරම් වේගයෙන් එය අනිත්‍යයට යයි. එනිසාම මුලාවෙන් වැසුණු සත්වයා මේ රූපය නිත්‍ය වශයෙන් ගනී. ආත්මීය වශයෙන් ගනී. අනිත්‍යයට යන මොහොතේදීම එය පියවි ඇසට නොපෙනුණත්, ඉපදුණු දින සිට මේ දක්වා රූපය කොතෙක් නම් විපරිණාමයට බඳුන් වී ඇත්දැයි වටහා ගත හැක. කොතෙක් උත්සාහ දැරුවද එය වැළැක්විය නොහැක. එය ඒ පාඩුවේ විපරිණාමයට පත්වෙමින්, වැය වී යයි. ජරාවට පත්වෙයි. කොතෙක් ක්‍රීම්, පව්ඩර් ගා සැනසූවද,, එය ඉතා කෙටි කාලයකට පමණි.රූපයේ අනිත්‍ය ස්වභාවය එයයි.

අනෙක් කරුණ නම් රූපය ඒකාන්ත දුක්ඛ පිණ්ඩයක් බවය. එයට කවා, පොවා, නහවා, පිරිසිදු කොට රැක බලා ගත යුතුය. එය කැඩීම්, බිඳීම්, සීරීම්, තුවාල වීම් වලට බඳුන් වේ. ලෙඩ රෝග සැදේ. අත පය වාරු නැතිවීම්, වසංගත රෝග, දැත් දෙපා කොර වී ඔත්පල වීම් ආදී අනන්තවත් දුකට බඳුන් වේ. ඇතැම් විට තමාගේ රූපය තමාට වාරු නැති තත්වයට පත් වේ. මහළු වයසට පත්වද්දී බොහෝ විට එය සුලභ දෙයකි. තමාට තනිව මේ රූපය ප්වත්වා ගත නොහැකි වේ. රූපයේ ඇති දුක්ඛ ස්වභවය එයය.

තවද මේ රූපය මම හෝ මගේ ආත්මයට අයත් දෙයක් නොවේ. එය ධාතූන්ගෙන් සැදී , නිරන්තර අනිත්‍යබාවයට පත්වන ඒකාන්ත දුක්ඛ පිණ්ඩයක් පමණි. මට උවමනා පරිදි පවත්වා ගන්නට නොහැකිය.
ලෙඩ වෙන වෙලාවට ලෙඩ වේ. මහළු වන වෙලාවට මහළු වේ. තමාට උවමනා පරිදි පවත්වා ගත නොහැකි වේ. මම, හෝ මගේ කියා අයිතිවාසිකම් කිව නොහැකිය. දිනක නියත වශයෙන්ම දමා යා යුතුය. අවුරුදු කීපයකට කුලියට ගත් වාහනයක් වැනිය. ඒ කුඩා කාලයට අප එය කෙරෙහි ඇලී බැඳී, උපාදාන සාදාගෙන අවසානයේ දමා යන්නට බැරිව හඩා වැළපී, ඒ කෙරෙහි සිතින් බැඳී ප්‍රේතයන් බවට පත් වීමට තරම් කර්ම රැස් කර ගනි.

මේවා තනිකරම සිදුවන්නේ සත්‍ය නොදත් මුලාව අපේ සිත් වල කා වැදී පවතින නිසාය.
මේ මුලාව ඉවත් කර ගැනීමට උවමනාවක්, වීර්යයක් නොදරන තෙක් දිගින් දිගට මේ සංසාරයේ ගමන් කරමින් කෙළවරක් නැති දුක් විඳින්නට සිදු වේ. මිනිසත් බව ලබාම මෙසේ දුකට පත්වන්නට සිදුවන්නේ නම්, ප්‍රේත ලෝක, අපාය ආදී තැන් වල දුක් සිතා ගන්නටවත් නොහැකිය. ගින්නෙන් පිළිස්සි පිළිස්සී , ලෝ දිය පානය කරමින්, එතැනම මැරී යළි එතැනම ඉපිදෙමින් දුක් විඳින්නට සිදුවන්නේ තනිවමය. එදිනට අපව බේරා ගැනීමට, මවක්, පියෙක්, ස්වාමීන් වහන්සේ නමක්, පැමිණෙන්නේ නැත. බුදුවරයාණන් වහන්සේ නමක් තියා, “බුද්ධ” යන උත්තම නාමයවත් සවණට නොවැකේ. එතරම්ම පව්කාර ආත්ම භාවයකි.
සත්වයාගේ මහගෙදර සතර අපායයි.
ගෙවා ආ සසරේ ඔබත් මමත් බුද්ධාන්තර ගණන් මෙවැනි අපා වල අනන්තවූත්, අප්‍රමාණ වූත් දුක් විඳ ඇත.

රූපයේ යථා තත්වය මෙසේය. මේවා නුවණින් දකිමින් විදර්ශනා භාවනාවක නියැළෙන පුද්ගලයා තුළ මේ රූපය කෙරෙහි මහත් කළකිරීමක් හට ගනී. මෙවැනි දුක් විඳින්නට සිදුවූයේ මේ රූපයට ඇලෙමින්, බැඳෙමින් උපාදාන කළ නිසා නොවේද යන්න හදවතින් මතුව එද්දී, ඒ ප්‍රඥා ප්‍රදීපය දැල්වෙද්දී , මේ විශ්වයේ යම්තාක් රූප පවතීද ඒ සියළූම රූප කෙරෙහි විරාගය ජනිත වේ. එක ක්ෂණයක් වත් මේ රූප ප්‍රාර්ථනය නොකළ යුතු බව, අගය නොකළ යුතු බව අවබෝධ වේ. එසේ කිරීම මහා දුක් ගොඩකට අත වැනීමක් බව වැටහෙන කල්හි සිතින් රූපය අත හරී යයි. එසේ වූ කල්හි සමාධිමත් සිතින් මේ රූපය සිතට නොපෙනී ගොස් රූප නිරෝධයකට පත් වේ. රූපයක් තිබෙනවාද යන්නවත් නොතේරෙන තත්වයටම, රූපය සිතින් අත හැරී, නිරුද්ධ වී යයි
එවිට මේ විශ්වයේ සත්‍ය වශයෙන් පවතින කුමන රූපද යන අවබෝධය හදවතට ප්‍රත්‍යක්ෂ වේ. නාමය පමණක් දිස්වෙමින් පවතින එම සමාධිමත් අවස්ථාවේ, නාමස්කන්ධයේ නිරෝධයද අත්දකින්නට හැකිවන්නේ නම්, සිත නිවනට පත් වනු ඇත. එවිට සියළූම නාමරූප ධර්මයන් සිතින් ගිලිහී නිවී ගිය, නිවන යැයි දැනගන්නා සියුම් දැනීම් මාත්‍රයක් පමණක් ශේෂ වනු ඇත.
මෙතෙක් කල් මේ ලෝකයේ මමය, මාගේය ලෙසින් ගනිමින් මේ නාමරූප ධර්මයන් උපාදාන කරමින්, ඇලෙමින්, බැඳෙමින් පැවති මෝහය එදිනට සිතට පෙනෙනු ඇත..
සියළු උපධීන් සිතෙන් ගිලිහී ගිය ඒ අමා මහ නිවන් අත්දකින යම් කෙනෙක් වේද, හේ එදිනට ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ දකිනු ඇත..
ඒ භාග්‍යය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උදා වේවා..

කණ කැස්බෑවා විය සිඳුරෙන් අහස බැලූ කල සඳ දිස්වන්නේ කෙසේ නම් අති දුර්ලභවද, එවැනි දුර්ලභ වූ මිනිස් ආත්ම භාවයක් අපට ලැබී ඇත. ශාසනය, ධර්මය, නිවන් මාර්ගය විවෘතව පවතී. නමුත් වැළලෙමින් යමින් පවතී. එසේ හෙයින්
සියළු සත්වයෝ අප්‍රමාදීව, නිවන් මග පූරණය කරත්වා..!!!

තෙරුවන් සරණයි..

~~~ අමා සුව ~~~

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.