නිවන් ලැබීමට නම් ධර්මය පිළිබඳව ලියවුණු පොත පත පරිශීලනය කළ යුතුය. සද්ධර්මය ශ්‍රවණය කළ යුතුය. දන්නා අය සමඟ ධර්මය සාකච්ඡා කළ යුතුය.මෙහිදී විශේෂයෙන්ම වැදගත් වනුයේ නිර්වාණ මාර්ගය විදහා දක්වන ධර්ම දේශනාය. පොත පතය. මෙයින් ලබාගන්නා ධර්ම ඥාණය ශෘතමය ඥාණයක් වශයෙන් හැඳින්විය හැක. අද කාලයේ අවශ්‍ය තරම් ධර්ම දේශකයාණන් වහන්සේලාත්, ධර්ම දේශනාත් තිබෙන නමුත්, නිවන් මාර්ගය, නිවන පිළිබඳව කතා කෙරෙනුයේ මඳ වශයෙනි.
සමාජයේ ජීවත් වෙන විදිය, ආචාර ධර්ම, සංස්කෘතිය මේ ආදී දේවල් වැදගත් නමුදු, ඒවා නිර්වාණය පිණිස ප්‍රයෝජනවත් නොවේ. එනිසා සුදුසු පරිදි තෝරා බේරාගෙන ධර්මය පරිශීලනය කළ යුතුය.
නිවැරදිව නිවන් මාර්ගය පෙන්වන දේශනා නම්, මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය, ඒවයේ සමුදය, ආශ්වාදය, ආදීනවය, නිස්සරණය ආදී දේත්, සසර දුක්ඛ ස්වභාවය, දුකට හේතුව ආදී චතුරර්‍ය සත්‍ය විදහා දක්වන දේශනාවය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව, සත්තිස් බෝධි පාශ්වික ධර්මයන්, ධ්‍යාන, මාර්ගඵල ආදී කරුණු පිළිබඳව විවරණය කරන දේශනාය. අනෙකුත් දේශනා කොතෙක් නම් ශ්‍රවණය කරත්, එය නිස්සරණයට මාර්ගයක් නොවනු ඇත. නිකම් රාගයත්, ද්වේශයත්, මමත්වයක් ඇති වනවා නම් එම දේශනා අසනවාට වඩා, නො අසා සිටීම සුදුසුය.
දුර්ලභ වූවත් නිවන් මාර්ගය පෙන්වන පොත පත, ධර්ම දේශනා තවමත් ශේෂව පවතී.ඒවා විචක්ෂණ බුද්ධියෙන් තෝරා බේරා ගතයුතුය. නිවන් මාර්ගය වූවද එක එක දේශකයාණන් වහන්සේලා කියන අයුරු විවිධය. ධර්මය තමන්ට උවමනා පරිදි වෙනස් කරමින් දේශනා කරයි. බොහෝවිට ධර්මය වැරදි තැනින් අල්ලා ගත් විට වන්නේ යහපතක් නොව, මුලාවට පත්වීමකි. ධර්මයේ ඇතැම් සුළු සුළු පාඨ තමාගේ මතය විදහා දැක්වීම පිණිස අවභාවිත කරයි. මෙයින් බොහෝ පිරිසක් මුලාවට පත්වෙයි. නිවනින් ඈත්වෙයි. එය ඉතාමත් විශාල පාපයකි. එවැනි අයට
සසරේ කෙදිනකවත් ධර්මයක් නැවත මුණ ගැසේවිද යන්න සැක සහිතය.
මෙසේ නිසි ධර්මය සොයා බලා පරිශීලනය කර ශෘතමය ඥාණයක් වශයෙන් ජීවිතයට ළංකරගත් පසු, එය තමන්ගේම අවබෝධයක් බවට පත් කරගත යුතුය. යෝනිසෝ මනසිකාරය තුළ හිඳිමින් ඒවා මනාව අවබෝධ කරගතයුතුය. අනිත්‍ය යැයි කියූ පමණින් පිළිගන්නවා නොව, කෙසේද සංස්කාරයන් අනිත්‍ය වන්නේ, නිත්‍ය වශයෙන් පවතින්නේ කුමක්ද? ඇයි සංස්කාරයන්ගේ පැවතීම දුකක් වන්නේ? කුමක්ද අනාත්මය යනු? මේ ආදී වශයෙන් විචක්ෂණ බුද්ධියෙන් තමා විසින්ම විමසා බලා ඒවයේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගත යුතුය. මෙය චින්තාමය ඥාණයකි.
අවසානයේ භාවනාමය ඥාණයක් වශයෙන් ඒවා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකිය යුතුවේ. එවිට මාර්ගඵල, ධ්‍යාන ආදිය අත්දැකිය හැකි වේ. නිවන් මාර්ගයේ යන යෝගාවචරයකු විසින් විදර්ශනා ඥාණ ගණනාවක් පසක් කරගත යුතුය. නාමරූප පරිච්ඡේද ඥණය, උදයවය බැලීමේ ඥාණය, ආදී වශයෙන් වේ. කොතෙක් පොත පතින් කියවා දැනගෙන තිබුණද, අන් අයට කියාදීමේ හැකියාවෙන් යුක්තව සිටියද, එය තමා විසින් අත්දැක නැතිනම් එහි ඵලක් නැත. උදාහරණ වශයෙන්, මේ නාමයත් රූපයත් වෙන්වෙන්ව දත හැකි බව කොතෙක් දැනගෙන සිටියද, වනපොත් කරගෙන සිටියද , එය වන්නේ මේ ආකාරයෙනි යනුවෙන් භාවනාවෙන් අත්දැක නැත්නම් අපට කිසිදා නිවන් දැකිය නොහැක. නාමයත් රූපයත් එකක්ව පෙනුනද, එය සමාධිමත් සිතින් බැලූ කල එකක් නොවේ දෙකකි. නාමය වෙනම ධර්මයක් ලෙසත්, රූපය වෙනම ධර්මයක් ලෙසත් අත්දැකිය හැක. රූපය අනිත්‍යයි, රූපය ශුන්‍යයි ආදී ලෙසින් කොතෙක් කියවමින් සිටියද, කෙසේද රූපය ශුන්‍ය වන්නේ කියා අත්දැක නැත්නම් එය හිස් අවබෝධයකි. රූපය මේ මේ ආකාරයෙන් විදර්ශනාවට නැඟූ කල එය සිතට නොපෙනී ගොස් රූපය නොපෙනී නොදැනී යයි. එවිට රූපය වශයෙන් සත්‍ය වශයෙන් ගැනීමට දෙයක් නොමැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගනී. මේ ආකාරයෙන් නාමයද පවතී යනුවෙන් සිතා සිටියද, නාමයද හුදු මායාවක් බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දත යුතුය.
නාමය යනු, සංඥාව, විඥාණය, සංස්කාර, වේදනාව ආදී බව කට පාඩමින් කිමට ඕනෑම කෙනකුට හැකියාව ඇත. නමුත් ඒ නාම ධර්මයන් වෙන් වෙන් වශයෙන් සමාධියෙන් දකිනා කෙනකු පමණක් එහි සත්‍ය, අසත්‍යතාව දනී. කෙසේද වේදනා ස්කන්ධය හටගන්නේ? කෙසේද විඥාණය හට ගන්නේ..සංස්කාර ඇතිවන අයුරු, පවතින අයුරු ,නිරුද්ධ වී යන අයුරු ..මේ සෑම එකක්ම සමාධියෙන් පැහැඳිළි වශයෙන්ම දත හැකිය. අරමුණක් ලද විගස විඥාණය ජනිත වීමත්, ඒ අනුව වේදනා, සඥා ආදී නාම ධර්මයන්ගේ ක්‍රියාකාරිත්වයත්, අවිද්‍යාව හේතුකොටගෙන සංස්කාර ජනිත වී ඒවායේ පැවතීමත් ආදී සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැකිය හැක. නිකම් පොතක් දෙකක්, කියවා ලබා ගන්න අවබෝධයක් නොව, තමාගේම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ලබාගන්නා අවබෝධයකි. ඒවා ඥාණයන් වන්නේ එවිටය. මුළු ත්‍රිපිටකයම කටපාඩමින් ගෙන හැර දැක්වූවද මේවා තමාම අත්දැක නැත්නම් එහි පලක් නැත. නිකම් සංඥාවන්, සංස්කාරයන් ගොඩගසා ගැනීමක් පමණි.
බුදුරජාණන්වහන්සේ දේශනා කළේ තමාගේම අවබෝධයෙන් දෙයක් පිළිගන්නා ලෙසටය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවෙන් පමණක් හෝ පිළිගන්නා ලෙස නොවේ. ඇත්ත වශයෙන්ම මේ දහම එසේ කිරීමට බැරිය. බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ ගැඹුර, හරය වටිනාකම වැටහෙන්නේ එම ධර්මය තමගේම හදවතින් අත්දකින පුද්ගලයාට පමණි. බුදුරජාණන්වහන්සේ මේ ධර්මයන් දේශනා කරන්නට ඇත්තේ මොන තරම් නම් අවබෝධයකින්ද, මොන තරම් සත්‍යද මේ ධර්මය යැයි උන් වහන්සේ ගැන, ඒ ධර්ම රත්නය ගැන, ඒ ධර්මය පසක් කර ගත් ආර්‍යන් වහන්සේලා ගැන යළි නොසැලෙන ශ්‍රද්ධාවක් ඇතිවන්නේ එවිටය.
කොතෙක් ත්‍රිපිඨක මහාචාර්ය පදවි ලබා සිටියද, ඇතැම් විට නිර්වාණය ඔවුන්ගෙන් ගව් ගාණක් දුරය. හදවතින් ධර්මය නොදකින්නාට, බුදුරජාණන් වහන්සේ යනු කවර නම් උත්තමයණන් කෙනෙක්දැයි, උන්වහන්සේගේ ධර්මය මොන තරම් අනර්ඝද යැයි නොවැටහේ.
හදවතින් ධර්මය නොදකින බොහෝ දෙනා, ධර්මය දකින්නේ තර්ක විතර්කයෙනි. ඔවුන් තුළ ධර්මයේ හරය යනු කුමක්ද යන්න පවා අවබෝධයක් නැත. ඇවිළෙමින් පවතින හදවත, සිසිල් අමා වැස්සෙන් සුවපත් කරන්නේ ධර්මයෙනි. ඇතැමුන්ට නම් ධර්මය යනු කෙලෙස් අවුළුවා ගන්නට තෝතැන්නකි. ඒ බාහිරින් ධර්මය අත පත ගාන්නන්ය.
හදවතින් ධර්මය දකින්නන් ඊට ඉඳුරා වෙනස්ය. සෑම සංස්කාර ධර්මයකම අනිත්‍ය බව , අනාත්ම බව, දුක්ඛ සහගත බව ඔවුන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ඇත. හට ගැනීමම, පැවතීමම දුකක් බව පසක් කොට ගෙන ඇත. ලෝකය ඇත්තේ තම සිතේ බව ඔවුන් දනී. සිත නිවා ගන්නේ යම් කෙනෙක්ද, ඔහු දුක්ඛ ගින්න නිවා දැමුවා වෙයි. සිතේ හට ගැනීම නවත්වන මාර්ගයට ඔවුන් බැස ඇත.ඒ සඳහා වීර්යයෙන් ක්‍රියා කරනු ඇත. ලෝකය දුක දෙසට පවතින බව ඔවුන් දනී.ඒ කෙරෙහි ඇලී බැඳී සිටීමෙන් යළි යළි ජාතියම, භවයම සකසන බව දනී. ලෝකයෙන් වෙන්වී, බුදු පසේ බුදු, මහ රහතුන් වහන්සේලා නිවී සැනසී වඳාල අමා මහ නිර්වාණය දෙසටම පමණක් ඔවුහු ගමන් කරති.. යම් දිනෙක ඔවුනද ශේෂ මාත්‍රයකවත් ඉතිරියක් නැතිව, දුක සඳහටම නිමා කරලමින් මේ දුක් ගොඩින් නිවී යනු ඇත.
ඒ උතුම් නිවන් මාර්ගයට පිවිසීමට අවශ්‍ය ශක්තිය, වීර්යය, ශ්‍රද්ධාව ඔබ තුළින් නිබඳවම වැඩේවා..
උතුම් නිවනින්ම සැනසීමට වරම් ලැබේවා…!!!
~~~ අමා සුව ~~~