අද සමාජයේ බොහෝ දෙනා ආමිස පූජාවන් හෙළා දකිමින් කතා කරනු දක්නට ලැබේ. බුද්ධ පූජාව, බෝධි පූජාව, ආලෝක පූජාව, පිරිත් සජ්ජායනය ආදිය පහත් කොට සලකයි.
පියවි ඇසට පෙනෙන දේ පමණක් සත්‍යයැයි පිළිගන්නා ඔවුන්, විද්‍යාත්මකව හා තර්කානුකූලව ඔප්පු කරන දේ පමණක් විශ්වාස කරයි. ඔවුන් තුළ බුදු රජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයක්, පැහැදීමක් නොමැත.
අප යම් කිසිවක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රථම විචක්ෂණ බුද්ධියෙන් විමසා බැලිය යුතුය. එය ප්‍රඥාවන්තයාගේ ලක්ෂණයකි. අනුගාමිකයන් දෙස බලා ශාතෘවරයාණන් වහන්සේ නිගමනය කිරීමට යෑම නුවණට හුරු නැත. මන්දයත් බොහෝ දෙනා තමන්ට පහසු, තමන්ට අවබෝධ වන දේ පමණක් ගෙන ඒ අනුව කටයුතු කරයි.
බුද්ධ දර්ශනය යනු ඉතාමත් ගම්භීර වූත්, පෘථුල වූත් දෙයකි. එය එක් එක් කෙනාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට ගෝචර වෙයි. එය වූ කලී තනිකරම සත්වයාගේ මනසට කරනා ආමන්ත්‍රණයකි. සිත හික්මවන ධර්මයකි. ඔබට කය හික්මවාගෙන සිටිය හැක. වචනය හික්මවාගෙන සිටිය හැක. නමුත් ඔබේ සිත හික්මවාගෙන සිටීම ඉතා අසීරු වනු ඇත. එය එසේමය. මුළු ජීවිත කාලයම නොව, එක දවසක්, එක පැයක් සිතට කිසිම රාගයක්, ද්වේශයක්, ඊර්ෂ්‍යාවක්, පසුතැවීමක්, දුකක් , මාන්නයක් ආදී ක්ලේශයක් ඇති නොවෙන සේ සිත හික්මවා සිටීම ඉතාමත් අසීරුය.
බුදු කෙනෙක් ලොවට පහළ වී සත්වයා ක්‍රමයෙන් පුහුණු කරන්නේ මේ සිතේ හික්මවීමටය. එයද අතරමගකින් නතර වන තාවකාලික හික්මවීමක් නොව. යළි කිසිදු දිනක සිත කෙලෙස් වලින් යට නොවන, නිවන් නම් වූ නිරාමිස , නිකෙලෙස්, උතුම් තැනක් දක්වා දිවෙන සදාකාලික හික්මවීමකි.
මිනිස් සිත වූ කලි එකක් පසුපස එකක් ඉතාමත් වේගයෙන් සිතිවිලි ඇතිවි නැතිවී යන තැනකි. එක් සිතිවිල්ලක් ඉපදී,මිය යන විටම තවත් සිතිවිල්ලක් හට ගනී. ඇස, කණ, නාසය, දිව , ශරීරය, මනස යන ඉන්ද්‍රියන්ගෙන් අප රූප, ශබ්ද, රස, ස්පර්ශ, මානසික අරමුණු උකහා ගනිමු. ඒවා හේතු කොටගෙන සිතිවිලි පරම්පරාවන් ජනිත කර ගන්නෙමු. මේ ඇති කරගන්නා සිතිවිලි හේතුවෙන් දිගින් දිගට කර්ම සකසා ගනිමින් භවය නම් වූ දිර්ඝ සංසාරය අප විසින්ම නිර්මාණය කර ගන්නෙමු.
බුදු දහම වූ කලී, මෙම සිතිවිලි ඇතිවීමට හේතුව, නැතිවීම , නැති කරගන්නා මාර්ගය නිසි පරිදි දේශනා කරන දහමකි. යමෙකුට එහි පරතෙරට ගොස් මේ සසර ගමන සදාකාලික වශයෙන්ම නිම කරගත හැක. එයින් මෙහා තමන් අවබෝධ කරගන්නා තරමට සැනසීමක් උදා කරගැනීමට ඔබට හැකිය.
මෙම ලෝකය විෂමය. සත්වයන්, මිනිසුන්, ප්‍රේතයන්, යක්ෂයන්, දෙවියන්, බ්‍රහ්මයන් ආදී විවිධ වූ සත්ව කොටස් වාසය කරයි. මිනිසුන් වුවද විවිධාකාරය. කෙනෙක් දුප්පත්ය, කෙනෙක් පොහොසත්ය, කෙනෙක් කෲරය, කෙනෙක් කාරුණිකය. කෙනෙක් දානපතියෙකි, කෙනෙක් මසුරු කෙනෙකි. මෙසේ මිනිස් කුලයම පමණක් ගත් කල එයද මහත් වූ විෂමතාවයකින් යුක්තය. ඔබ ජීවත් වන්නේ යම්කිසි නගරයක නම්, ඔබේ දෑස සීමාවේ සිටින සත්වයන් දෙස බලා, මේ මුළු විශ්වයේම සිටින්නේ මෙබඳු අය පමණකැයි සිතීම ප්‍රඥා සම්ප්‍රයුක්ත දෙයක් නොවේ. ඔබට නොපෙනණ ලෝකයක් ඇත. මෙලෙසින්ම ඔබේ ඇස කණ ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වන සත්වයන් දෙස පමණක් බලා මුළු විශ්වයම මෙය පමණකැයි සිතීමද මුලාවකි. ඔබේ ඇසට නොපෙනුණද මනස දියුණු කළ අයට දර්ශනය කළ හැකි සත්වයන් ඇත. අපාය සත්වයන්, දෙවියන්, බ්‍රහ්මයන් , ප්‍රේතයන්, ආදී අනන්ත සත්වයන් ඇත. මෙසේ විවිධ වූ විලාශයන් සත්වයන් ඉපදෙන්නෙ කුමක් හේතුවෙන්ද කියා ඔබ සිතුවාද?
දෙවි කෙනෙක් මැව්වා නම් එකම අයුරකින් ඔවුන් මවන්නේ නැතිව විවිධ ආබාධිතයන් ලෙසින් ඔවුන් නිර්මාණය කරවන්නේ ඇයිද? සත්වයා මෙලෙසින් බිහිවන්නේ වෙන කිසිවකුගේ බලපෑමකින් නොව ඔවුන් විසින්ම පෙර භවයන්හි කරන ලද කුසල් අකුසල් හේතුවෙනි. සංසාරයක් නිර්මාණය කරන්නේ අපේම සිතිනි. අප සිතන සිතිවිල්ලට අනුව, කතා කරන වචනයට අනුව, ක්‍රියාවන්ට අනුව අප අපේ සසර ගොඩ නඟා ගනී.
බුදු කෙනෙක් පහළ වී මේ සසරින් සත්වයා මුදවාලන මාර්ගය හෙළි පෙහෙළි කරයි. මේ ලෝකයේ පවතින ධර්මතාවයන් පෙන්නුම් කරයි. සිත පෙරටුගාමිව සත්වයන් විසින් භවය දීර්ඝ කරගන්නා අයුරු උගන්වයි. එයින් නික්මී යන මාර්ගය කියාදෙයි.
එවැනි ධර්මයක් උගන්වන්නට එසේ මෙසේ කෙනකුට නොහැකිය. ඒ සදහා මහත්වූ කැප කිරිමක් සිදු කර, සර්වඥතා ඥාණය නම් වූ අති ගම්භීර ඥාණ දර්ශනයක් උපදවා ගෙන මේ නිවන් මාර්ගය සත්වයා හට එලි පෙහෙළි කල යුතුය.
සිත දමනය කරන මාර්ගය එයයි.
එය වූ කලී සියළු දෙනාටමද කළ නොහැක. සිත හික්මවීමට ප්‍රථමව, කය , වචනය දෙක හික්මවා ගත යුතුය. ශීලයක් රකිනවා යනු එයයි. ඉන් පසු සිත සන්සුන් කර ගන්නා මාර්ගයට බට යුතුය. භාවනාවක් අගින් සිදු කරන්නේ එයයි.
දුවන ගමන් අවට පරීක්ෂා කිරීම අපහසුය. නැවතුණු සිතක් අවශ්‍යය. ඔබ කිසිවක් නොකර සන්සුන්ව සිටින විටදී ඔබ ඇතැම් විට සිතුවත් සිත නිසලයි කියා එය එසේ නොවේ. සමාධියකින් , නීවරණ යටපත් වූ සිතකින් සිතක් පවතින විට ඔබ අත්දකින වෙනසක් ඇත. නොකැළඹෙන ජලයක් වැනිය. එවැනි සිතක් විදර්ශනාවට යොමු කළ විට සියළු සත්‍ය විද්‍යමාන වනු ඇත. එය ප්‍රඥාවයි. සීල, සමාධි, ප්‍රඥා මාර්ගය එයයි.
දීර්ඝ වූ සසරක් පුරා අප දුක් විඳින්නේ මේ සිතක් පවතින නිසාය. සියළු දුක් විදින්නේ සිතෙනි. කයට දැනෙන දුකක් වුව අත්දකින්නේ සිතෙනි. යමකු සිත හදගත්තේ නම් ඔහු තුළ දුක අවමය. යළි නූපදින ලෙසටම සිතේ කෙලෙස් නැසුවේ නම් ඔහු සියළු දුක නිමා කරයි.
එවැනි අති දුර්ලභ දර්ශනයක් සත්වයා හට කියා දෙන ගුරුවරයකු කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයකින් පුද පූජා පැවත්වීම අඥාණ කමක් හෝ නිවට කමක් නොව, කෘතවේදි හැඟීමකින්ම කරන්නා වූ දෙයකි. අප හැදූ වැඩූ දෙමව්පියන්ට, ගුරුවරුන්ට සලකන්නේ , ගුණ සිහි කරන්නේ අපෙ සිත් තුළ ඇති ගුණය හේතුවෙනි.
කර්ම විෂය අචින්තයය. එය ඔබටත් මටත් සිතා නිමකළ නොහැක. සියළු කෙලෙස් නැසූ කෝටි ගණන් සත්වයන් සසරෙන් මුදවාලූ ශාස්තවරයකු කෙරෙහි එක් මොහොතක සිත තුළ ඇතිවන පිරිසිදු ශ්‍රද්ධා චෛතසිකය ඔබට සසර පුරා මහත් වූ සැනසීමක් උදා කරයි. කෙනෙක් දෙස බලා රාග, ද්වේශ සිතක් ඇති කර ගැනීම වෙනුවට, බුදු රුවක් දෙස බලා සිත පහදවා ගැනීමෙන් ලැබෙන නිරාමිස සුවය ඔබ අනන්තවත් මේ ජීවීතයේ අත් දැක ඇතුවාට සැක නැත. බුද්ධ පූජා, ආලෝක පූජා, බෝධී පූජා සිත පහදවා කිරීම ඔබට මහත්වූ ශක්තිය ලබා දෙනු ඇත..
නමුත් අප යම් දෙයක් මතක තබා ගත යුතුව ඇත. සාරා සංඛ්‍ය කල්ප ලක්ශයක් පාරමී දම් පුරා පැමිණි බුද්ධත්වය සාක්ෂාත් කරගත් උන්වහන්සේ අපෙන් බලපොරොත්තු වූයේ ආමිසය කරමින් සසර දික්ගස්සවා ගැනීම නම් නොවේ. කුසල කර්මයක් කළද එයද සසර දික්ගස්සවා ගැනීමකි. අසුර ගසන ක්ෂ්ණයක් සසරේ ප්‍රමාද වීම උන් වහන්සේ පිටු දැක්වූ සේක. ඉහළට ගත් හුස්ම පොද පහළට වැටීමට ප්‍රථම මරණය ඔබ කරා පැමිණ, මේ දුර්ලභ මනුෂ්‍ය භවය ඔබට අහිමි වීමට හැක. උන් වහන්සේ මහා කාරුණික වූ සිතින් නිරතුරුව අපට දේශනා කළේ, හිස ගිනිගත්තද එය නොනිවා අවබෝධ නොකළ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කොට ගෙන සසරින් එතෙර වන ලෙසයි. නැවත නැවත ඉපිදී, මේ ජීවන රටාවම ගත කරමින්, අපායන්හි දුක් විඳිමින් නිෂ්ඵල වූ සසර ගමනක රැඳී සිටීම අති භයානකය.
පිරිනිවන් මංචකයේ වැඩ සිටි තථාගතයාණන් වහන්සේට ධර්මය අවබෝධ කර ගත් මෙන්ම උන් වහන්සේ කෙරෙහි පැහැදුණු දෙවියන්, බ්‍රහ්මයන් උන් වහන්සේට මදාරා පරසතු මලින් උන් වහන්සේ වැසී යන සේ පුෂ්පෝහාර දක්වද්දී, උන් වහන්සේ ඒ කිසිවකට නො ඇලී, නොගැටී උපේක්ෂාවෙන් සිටි සේක. එහෙත් උන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා පැවසූයේ, ” ආනන්ද සුවද මලින් මා පුදන්නන් සැබෑම බුද්ධ ගෞරවය දක්වන්නන් නොව, ප්‍රතිපත්තියෙම හික්මෙමින් ධර්මය අවබෝධ කරගනිමින් සසරින් එතෙර වෙන පටිපදාවේම නිරත වන්නන් මට සැබෑම ගෞරවය දක්වන්නේය” ලෙසිනි.
කෙතරම් බුද්ධ පූජා, ආලොක පූජා, පුෂ්ප පූජා, බෝධි පූජා සිදු කළද ඔබට, මට බුදු පියාණන් දැකිය නොහැක. උන් වහන්සේ පිළිබඳ යම්කිසි හෝ අවබෝධයක් ලබා ගත හැක්කේ ධර්මය අවබෝධ කර ගැනීමෙනි.. උන් වහන්සේ කියා දුන් ගුණ ධර්ම තමා වර්ධනය කර ගැනීමෙනි.
උන් වහන්සේ කියා දුන් දේ අනුගමනය කොට අවම වශයෙන් මෛත්‍රි ධ්‍යානයකටවත් සමවදිනා කෙනකු, අහෝ මාගේ බුදු පියාණන් කියා දුන් දේ මොන තරම් සත්‍යදැයි හඳුනා ගන්නවා ඇත. අෂ්ට ලෝක ධර්මයේ නොසැලී සිටීමට පුරුදු වන කෙනකුට , දුක් කරදර එන විට නොසැලී පවතින් තම සිත දෙස බලා අහෝ මාගේ බුදු පියාණන් පැවසූ දේ කෙතරම් සත්‍යක්දැයි අවබෝධ කළ හැක. මේ සෑම දෙයම ඉක්මවා යමින්, නිර්වාණ ධාතුව යමෙක් අත්දකීද, අහෝ බුදු පියණන් දේශනා කළ ධර්මයේ හරය මෙය නොවේදැයි යළි නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති වනු ඇත. එදිනට ඔහුට බුදු පියාණන් පිදීමට අවශ්‍ය වනුයේ, මලින්, ආලෝකයෙන් නොව, ජීවිත පරිත්‍යාගයෙනි.
” ධර්මය දකින්නා මා දකී ” යනුවෙන් උන් වහන්සේ දේශනා කළ සේක.
ධර්මය නොදකින අය කොතෙක් කෑ ගැසුවද, යමෙක් ධර්මය දැක්කාද ඔහුට ඒ හඩවල් වැඩක් නොවේ. ඔහු සත්‍ය අත්දැක ඇති බැවිනි. ඔහු ලෝකය දැක ඇත. ඔහු බුදු පියාණන් දැක ඇත. ඔහු තම සිත පිරිසිඳ දැක ඇත..
ඔහු උත්තම ප්‍රතිපත්ති පූජාවෙන් බුදු පියාණන් පූජා කොට ඇත.
එවැනි වූ නිර්මල ස්ථානයකට සිත රැගෙන යාමට ඔබත් මමත් අප්‍රමාදී වේවා..!!!!
~~~ අමා සුව ~~~