අතහැරීම…!

මුළු බුද්ධ දේශනාවේම හරය එක් වචනයකට කැටි කොට දක්වන්නේ නම් එය” අත හැරීමයි”. අප සංසාරය පුරාම පැමිණින්නේ තණ්හාවට දාසයකු වීගෙනයි. ගිය ගිය තැන චන්දයෙන්, රාගයෙන් බැඳීම එහි ලක්ෂණයයි. අපායට යන සත්වයා එයද උපාදානය කරයි. සංසාරයෙන් නික්මීමට නම් සියලු උපාදානයන්, අල්ලා ගැනීම් සිතින් අත හැරිය යුතු නමුත්, කල්ප ගණන් පුරා සිත් තුළ පුරුදු කළ ධර්මයන් එක ක්ෂණයකින් අත් හැරීම කළ නොහැකිය. එයට ගමන් කළ යුතු පටිපදාවක් ඇත. බුදුවරු ලොවට පහළ වී පෙන්වා දෙන්නේ එම පටිපදාවයි. සංසාරයේ කිසිම දවසක ත්‍රිලක්ෂණය නුවණින්, හදවතින් නොදැක, මාර්ගය නොවැඩපු අයකු ගසක කොළයක් වැටෙනවා දැක රහත් වන්නේ නැත. ගින්නක් නිවී යනු දැක පසේ බුදු වන්නේ නැත. ඔවුන් අනන්ත සසර පුරා පාරමී ධර්මයන් වැඩු දහම් පුෂ්පය විකසිත වීමට ආසන්න පුණ්‍යවන්තයන්ය.
“බුද්ධ ” යන නාමය ඇසූ පමණින්ම ශ්‍රද්ධාව හදවතින් මතු වී පැමිණි භාග්‍යවන්තයන් මෙන්ම, බුදු පියාණන්ගේ සිවුරු කොනේ එල්ලි සිටියද සිත අපහදවා ගත් සුනක්ඛත්ත වැනි අයද හිඳ ඇත. එහි වෙනස ඔවුන්ගේ සසර පුරා වඩන ලද සිතේ ස්වභාවයයි.

රහත් වී හෝ පසේ බුදු වී හෝ සසර ගමන නිමා කරලීමට නම් සියල්ල සිතින් අත හළ යුතුය. අප කොතෙක් කල් මාර්ගයේ ගමන් කළද අවබෝධය ඇතිවී සියල්ල සිතින් අත හැරීමට ගත වනුයේ එක ක්ෂණයකි. ඒ මොහොතේ සිතේ ඇති සිතිවිල්ල අතහැරීමයි. පැවතීම යනු ඇතිවී නැතිවී යන පංචස්කන්ධයන් හැර අන්කිසිවක් නැත. එම පංචස්කන්ධය අත හැරිමට ගත වනුයේ ක්ෂණයකි. නමුත් ඒ අතහැරීම කරන තැනට සිත රැගන යා යුතුය.

සිතේ ස්වභාවය නම් අල්ලා ගැනීමමය. කුමක් වුවත් අල්ලා ගනියි. ධර්මය වුවද අල්ලා ගැනීම එහි ස්වභාවයයි. මහත් වූ ආශාවකින් අල්ලා ගත් දෙයක් අත හැරීමට නම් එහි ඇති ආදීනවය දැකිය යුතුමය.

අපට කෙදිනකවත් අප තදින්ම ආශා කරන දෙයක් එක වර අත හැරිය නොහැක. එය කළ හැක්කේ එහි ඇති දුක, ආදීනවය, අසාර බව, ආදී දේවල් අවබෝධ වූ පසු පමණි. මෙය සියළු දෙයටම පොදුය.
අප සංසාරය පුරා ගමන් කරන්නේ උපාදානය පවතින නිසාය. අප යමකට ආසා කරන්නේ එය වටිනවා යැයි සිතේ පවතින හැඟීම නිසාය. නමුත් ඇත්ත එය නොවේ. සංස්කාර වල යථා සවරූපය නම් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව,නිසරු බව, හිස් බව ආදීයයි. මේවා නොදත් කම අවිද්‍යාවයි. මෙම යථා ස්වරූපය හදවතට ප්‍රත්‍යක්ෂ වන තෙක් ඒවා නුවණින් විමස විමසා බැලිය යුතුමයයි.
සංස්කාරයන්ගේ යථා සවරූපය අවබෝධ වත්ම ඒවා කෙරෙහි නිබ්බිදාව ,විරාගය ඇතිවේ. නො ඇලිය යුතු ධර්ම බව තමාගේම හදවතින් දකී. අත හැරීම ක්‍රමයෙන් පුරුදු වන්නේ මෙලෙසින්ය.

සූත්‍ර, විනය හෝ අභිධර්මය වේවා, එහි ඇත්තේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාවලිය පිළිබඳ විස්තරයයි. සිතේ ක්‍රියාවලිය පිළිබඳ විග්‍රහ කිරීමයි. ඒවා එසේ විස්තර කර දක්වන්නේ මෙම ලෝක ධාතුවේ මෙම පංචස්කන්ධ ධර්මයන් මේ මේ අයුරින් ක්‍රියාත්මක වීමක් හැර වෙන වටිනාකමකින් අල්ලා ගත යුතු කිසිවක් නැති බව පසක් කර දීමටයි. ඒවා අධ්‍යයනය කිරීමෙන් කළ යුත්තේ සංඥාවන් ගොඩ ගසා ගැනීම නොව, වටිනාකමකින් අල්ලා ගැනීමට තරම් කිසිවක් මේ ලෝක ධාතුවේ නොපවතින බව පසක් කර ගනිමින් අත හැරීමයි.

ලෝකයක් යනු තමන්ගේ සිතේ ක්‍රියාකාරිත්වය පමණි. ආශාවෙන් අල්ලා ගන්නේද, පටිඝයෙන් ගැටෙන්නේද තමන්ගේම ස්කන්ධ ධර්මයන් කෙරෙහිම විනා බාහිර ලෝකයක් සමඟින් නොවේ. සියළු කෙලෙස් නැසූ කෙනකු ලෝකය කෙරෙහි ඇලීමක්ද, ගැටීමක්ද නැතුව වාසය කරන්නේ ලෝකය වෙනස් කිරීමෙන් නොව, තම සිත දියුණු කිරීමෙනි. එනම් මුළු ලොකයක්ම පවතින්නේ සිත තුළය.
අවසානයේ අප ගණුදෙනු කර ඇත්තේ ලෝකයක් සමඟ නොව අපගේම සිතත් සමඟ පමණි.
දිගින් දිගට සසර පුරා අනන්ත අපා දුක් විඳිමින් පැමිණියේ මේ සිත ගැන නොදත් මෝහය පැවතීම හේතුවෙනි. බාහිර ලෝකයක් කියා අල්ලාගෙන සිටියේ තමාගෙම සිතය. එයද තමා යැයි සිතූ මුලාවකි. හේතු අනුව අතිවී නැතිවී යන දෙයකි. මේ අවබෝධයන් හදවතින් එත්ම සිත ගැන ඇතිවන නිබ්බිදාව හේතුවෙන්ම , එය අත හැරි සියළු සංඛත අසංඛත යැයි දමා සිටි සංඥාවන් නිරුද්ධ වී ගොස් නිවනට සිත පත්වෙයි..
ධර්මයත් අත හැරී යන්නේ එවිටයි.

මේ සඳහා ගමන් කළ යුතු මාර්ගයක් ඇත. ගංගාව තරණය කිරීම සඳහා පාරුව අත්‍යවශ්‍යය. ආරම්භයේදීවත්, මැදදීවත් පාරුව අත හැරීම කළ නොහැක.නමුත් ගගෙන් එතෙර විමට නම් පාරුවද අත හැරිය යුතුය.

“ධම්මා’පි වෝ පහාතබ්බා” යනු එයයි.

“මහණෙනි, මා විසින් පසුර උපමා කොට ඇති ධර්‍ර්මය දේශනා කරන ලදී. එය සසරින් එතෙර වීම පිණිස ය. ගැනුම පිණිස නො වේ. මහණෙනි, පසුර උපමා කොට තොපට දෙසන ලද ධර්මය ‍දන්නා වූ තොප විසින් ධර්‍ම යෝ ද හළ යුත්තාහ. අධර්‍මයෝ කැල යුතු මැ යි.”
(අලගද්දූපම සූත්‍රය )

සියලු සත්වයෝ නිවනින්ම සැනසෙත්වා..!!!

~~~අමා සුව~~~

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.