“පිම්බීම් – හැකිලීම්” භාවනාව ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි සතර සතිපට්ඨාන ධර්මයන්ම එක සේ වැඩී යන ආකාරයෙන් ප්‍රගුණ කළ හැකි භාවනා ක්‍රමයක්. බොහෝ දෙනෙක් සිතනවා බුදු රජාණන් වහන්සේ විසින් මෙවැනි පිම්බීම් හැකිලීම් භාවනා ක්‍රමයක් උගන්වා නැතැයි කියලා. ඇත්ත වශයෙන්ම “පිම්බීම්- හැකිලීම්” භාවනාව ගැන හොඳින් විමසා බලන විට, ඉතාමත්ම පැහැඳිළිව අපට පෙනී යනවා බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වඳාළ සතර සතිපට්ඨාන සූත්‍රයට සියයට සීයක්ම මේ “පිම්බීම් හැකිලීම්” භාවනාව අනුකූල වන බව. “පිම්බීම් හැකිලීම්” භාවනාව ගැන තරමක හෝ විස්තරයක් දැක්වෙන්නේ ගරු රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් ලියන ලද පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය නැමැති පොතේ. කැමති පින්වත් අයට ඒ පොත අරගෙන කියවන්නට පුළුවන්. ඒ පොත කියවීම ඉතාමත්ම සුදුසුයි. කුඩා පොතක්, නමුත් එහි සියළුම කරුණු අන්තර්ගත වනවා පිම්බීම් හැකිලීම් භාවනාව සම්බන්ධ වූ.
මේ පිම්බීම් හැකිලීම භාවනාව කරන්නට පටන් ගන්නා යෝගාවචරයා විසින් පළමුවෙන්ම ශීලයක් සමාදන් වන්නට ඕන. අඩුම වශයෙන් පන්සිල් පද පහ වත් ආරක්ෂා කරගන්නට ඕන. එසේ සිල් සමාදන් වී ඊට පසුව භාවනාව කිරීමට ප්‍රථමයෙන් කළ යුතු පූර්ව කෘති සිදු කරන්නට ඕන. මේ දේශනාව අවසානයේදි පූර්ව කෘති කරන ආකාරය පිළිබඳව විස්තර දැක්වෙනවා. මෙසේ පූර්ව කෘති නිමකොට භාවනාව ආරම්භ කරන්නට ඕන. විශේෂයෙන්ම සුදුසුයි එවැනි භාවනා කර්මස්ථාන උගන්වන ස්ථානයකට ගොස් නතර වී භාවනා කරන එක. ඊටත් අමතරව සුදුසු කර්මස්ථානාචාර්‍යවරයකුගෙන් අදියරෙන් අදියර උපදෙස් ලබාගැනීමත් ඉතාමත්ම අවශ්‍ය වෙනවා. පිම්බීම් හැකිලීම් භාවනාව තුළින් ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල ගන්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින් එය අඛණ්ඩවම , දිගටම- උදේ සිට රාත්‍රී නින්දට යන තෙක්ම කරන්නට ඕන. එසේ නැතුව දවසකට පැය කාලක්-භාගයක් , පැයක්-දෙකක් භාවනා කොට ඊළඟ දවසේ තව පැයක් දෙකක් භාවනාව කිරීම තුළින් මෙම භාවනා ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ඉක්මනින් නෙළාගන්නට කෙනකුට හැකිවන්නේ නැහැ. එබැවින් එය ඉතාමත්ම සුදුසුයි , සුදුසු භාවනා මධ්‍යස්ථානයකට ගොස් ටික කලක් නතර වී අඛණ්ඩ ලෙස මුළු දවස පුරාම මේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයට මේ භාවනාව ප්‍රගුණ කිරීම.
අර මා කලින් කී සේ පූර්ව කෘති සිදුකළාට පසුව සුදුසු පරිදි වාඩි වී පිම්බීම් හැකිලීම් දෙස සිතින් බලාගෙන , පිම්බෙන විට “පිම්බෙනවා” කියා සිතන්නට ඕන. අපේ උදර කොටස අපි ආශ්වාස කරන විට ඉහලට පිම්බෙනවා, ප්‍රාශ්වාස කරන කොට හැකිළෙනවා. මේ පිම්බීම් හැකිලීම් දෙක පළමුවෙන් තමාට ප්‍රකට වන්නේ නැත්නම් ඒ සඳහා බඩට අත තබා භාවනා කරන්නට පුළුවන්. එසේ බඩට අත තබා භාවනා කරන විට, පිම්බෙන එක හැකිලෙන එක පහසුවෙන් අවබෝධ වෙනවා. එහෙත් දිගටම බඩට අත තබා භාවනා කිරීම සුදුසු නැහැ, භාවනා ආරම්මණය ප්‍රගුණ වෙනකල් , ප්‍රකට වෙනකල්, එසේ කිරීමයි ඉතා සුදුසු. මෙසේ උදර කොටස පිම්බෙන විට සිතින් “පිම්බෙනවා” කියලා සිතනවා. හැකිලෙන විට ” හැකිලෙනවා” කියලා සිතනවා. නැවතත්, පිම්බෙන විට “පිම්බෙනවා” කියලා සිතනවා, හැකිලෙන විට නැවතත් “හැකිලෙනවා ” කියා සිතනවා. මේ ආකාරයෙන් දිගින් දිගටම නොනවත්වාම ” පිම්බෙනවා – හැකිලෙනවා – පිම්බෙනවා – හැකිලෙනවා – පිම්බෙනවා – හැකිලෙනවා” කියා සිතමින් භාවනාවේ නිරත වෙනවා.
මෙන්න මෙහෙම භාවනා කරන විට අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය ,මනස කියන දොරවල් වලින් නොයෙක් අරමුණු අපේ සිතට ඇතුල් වන්නට පුළුවන්. විශේෂයෙන්ම ශබ්ද ඇසුණොත් සුළු සුළු ශබ්ද නොසලකා අපේ භාවනාව කරන්නට පුළුවන් වුවත්, විශේෂ ශබ්ද, ටිකක් නිතර නිතර ඇසෙන සුළු ශබ්ද නොවන ශබ්ද ඇසෙන විටම, “ශබ්දයක් – ශබ්දයක් – ශබ්දයක්” කියලා ඒකත් මෙනෙහි කරන්නට ඕන. එසේ මෙනෙහි කර, නැවතත්, ඊට පසුව “පිම්බෙනවා – හැකිලෙනවා – පිම්බෙනවා – හැකිලෙනවා” කියලා භාවනා කරන්නට පුළුවන්. භාවනා කරන විට සමහර විට ගඳ දැනෙන්නට පුළුවන්, නැත්නම් සුවඳක් දැනෙන්නට පුළුවන්. එවැනි සුවඳක් හෝ දුගඳක් දැනෙනවා නම් නාසයට, අන්න ඒ සුවඳ දැනෙන විට ,ගඳ දැනෙන විට “ගඳක්-ගඳක්- සුවඳක්-සුවඳක්” මේ ආදී වශයෙන් සිහිපත් කරනවා. සීපත් කරලා නැවතත්, “පිම්බෙනවා-හැකිලෙනවා-පිම්බෙනවා-හැකිලෙනවා” කියලා මූලික කර්මස්ථානයේම නැවත සිත පිහිටනවා.
මෙහෙම භාවනා කරන විට අපේ කයට සමහරවිට වේදනාවල් දැනෙන්නට පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන්ම භාවනා කරන්නට පටන් ගත් මුල් අදියරේදී, කාලයේදීඅති විශාල දරුණු පීඩා සමහරවිට ඇතිවන්නට පුළුවන්. ඒකට යෝගාවචරයා භියවිය යුතු නෑ. විශේෂයෙන්ම භාවනා කරන විට ඇතිවන ඒ ශාරිරික දරුණු පීඩා අපේ මිතුරන් සේ අපි සලකන්නට ඕනා. “මේ ශරීරය මහා දුකක්, සංසාරයේ රැඳී සිටීම මහා දුකක් මේ ශරීරය අපට ඕන විදියට පවත්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි, නිතරම දුක් ලබාදෙන දෙයක්” ආදී වශයෙන් මේ ශරීරයේ තිබෙන නියම තත්වය පෙන්නුම් කිරීමටයි ඒ වේදනාව මතුවන්නේ. එම නිසා වේදනාව කෙරෙහි, විශේෂයෙන්ම දුක්ඛ වේදනාව කෙරෙහි ගැටෙන්නේ නැතුව පිම්බීම් හැකිලීම් භාවනා කරන විට යම්කිසි දුක්ඛ වේදනාවක් ඇතිවුණොත් එහිදී පිළිපැඳිය යුත්තේ මෙන්න මෙහෙමයි.
මුලදීම සුළු සුළු වේදනා නොසලකා ” පිම්බෙනවා- හැකිලෙනවා-පිම්බෙනවා-හැකිලෙනවා” කියලා භාවනාවේ නිරත වනවා. ඊටපසුව ඒ නොසලකා හැරිය නොහැකි යම් වේදනාවක් ඇතිවෙනවා නම් “පිම්බෙනවා-හැකිලෙනවා” කියන එක නතර කරලා අර වේදනාව දැනෙන කොටසටම සිහිය පිහිටවලා “දුක්ඛ වේදනාවක් – දුක්ඛ වේදනාවක් ” , ” දුකක්-දුකක්-දුකක්” මේ ආදී වශයෙන් සිහිපත් කරනවා. සිහිපත් කරලා ඒ වේදනාව අඩුවී යනකොට, අඩුවී ගියාට පසුව නැවතත් ” පිම්බෙනවා- හැකිලෙනවා-පිම්බෙනවා-හැකිලෙනවා” කියලා භාවනා කරනවා. සමහර විට මෙහෙම භාවනා කරන කොට කය වැනෙන්නට පුළුවන්, සෙලවෙන්නට පුළුවන්, එහාට මෙහාට පැද්දෙන්නට පුළුවන්. එහෙම වුනොත් ” කය සෙලවෙනවා- සෙලවෙනවා- සෙලවෙනවා” නැත්නම් ” පැද්දෙනවා-පැද්දෙනවා-පැද්දෙනවා” ඒ විදියට සිහිපත් කරලා නැවතත් “පිම්බෙනවා-හැකිලෙනවා” කියලා භාවනා කරන්නට පුළුවන්. මෙහෙම භාවනා කරන විට සමහර විට කයේ, වාඩිවී සිටින තැන් රත්වන්නට පටන් ගන්නවා. එහෙම රත්වෙනකොට අර ” පිම්බෙනවා-හැකිලෙනවා” කියලා සිහිපත් කිරීම නතර කරලා අර රත්වෙන ස්ථානයටම හිත තියලා “රත්වෙනවා-රත්වෙනවා-රත්වෙනවා-රත්වෙනවා” කියලා සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා නැවතත් “පිම්බෙනවා-හැකිලෙනවා” කියලා මූලික කර්මස්ථානයටම සිත ගෙනියනවා.
මේ විදියට භාවනා කරගෙන යනවිට සමහරවිට සිත පිටයනවා. භාවනා අරමුණේ සිත පිහිටන්නේ නෑ. එහෙම සිත පිට යනකොට කෙළින්ම අර “පිම්බීම්-හැකිලීම්” නවත්වලා “සිත පිටගියා-සිත පිටගියා-සිත පිටගියා” කියලා සිහිපත් කරනවා. එහෙම කරලා නැවතත් “පිම්බෙනවා-හැකිලෙනවා-පිම්බෙනවා-හැකිලෙනවා” කියලා භාවනාවට සිත යොමුකරනවා. මෙහෙම කරන විට තව දුරටත්, නිදිමත දැනෙන්නට පුළුවන්. කම්මැලි ගතියක් දැනෙන්නට පුළුවන්. භාවනාව එපාවීමක් ඇතිවන්නට පුළුවන්. නොයෙක් ආකාර දේවල් කල්පනා වන්නට පටන් ගන්නට පුළුවන්. මේ කල්පනා වීම්, නිදිමත ගති, වැනි දේවල් ඇතිවෙනකොට ඒ ඒ දැනෙන ගති සියල්ලම සිහිපත් කරන්නට ඕන. නොනවත්වාම එකම අරමුණක්වත් අත නොහැරෙන සේ ඒ දැනෙන දැනෙන ආකාරයෙන් ඒක සිහිපත් කරනවා. “නිදිමතක්-නිදිමතක්-නිදිමතක්-” ඒක සිහිපත් කරනවා. නැවත “පිම්බෙනවා-හැකිලෙනවා” කියලා භාවනා කරනවා. “ඔන්න සිත පිට ගියා-පිටගියා-පිටගියා” කියලා සිහිපත් කරනවා , ඊටපස්සේ නැවත “පිම්බෙනවා-හැකිලෙනවා” කියලා භාවනා කරනවා. ඔන්න එපාවීමක් ඇතිවෙනවා, භාවනාව ගැන කළකිරීමක් ඇතිවෙනවා. “කළකිරීමක්-කළකිරීමක්-කළකිරීමක්-” ඒක සිහිපත් කරනවා. නැවත “පිම්බෙනවා-හැකිලෙනවා” කියලා භාවනා කරනවා.
මේ විදියට ඇඟට හරි තමාගේ සිතට හරි මොනවහරි දැනුණොත් ඒ දැනිච්ච දේ සිහිපත් කරන්නටම ඕන, එසේ සිහිපත් කරලා ඊටපසුව නැවතත් “පිම්බෙනවා-හැකිලෙනවා-පිම්බෙනවා-හැකිලෙනවා-” කියලා භාවනාවේ නිරත වන්නට ඕනා. මේ විදියට පැයක්-විනාඩි 45ක් -පැය භාගයක් හරි තමාට හැකි වේලාවක් වාඩිවී භාවනා කර ඊට පස්සේ වාඩිවී සිටින තැනින් නැඟිටින්න හිතෙන කොට ” නැඟිටින්න හිතෙනවා-නැඟිටින්න හිතෙනවා-නැඟිටින්න හිතෙනවා-” කියලා හිතලයි නැඟිටිය යුත්තේ. ඒ අතරතුර අතපය දිගහරින කොට ” කකුල දිගහරිනවා-දිගහරිනවා- අත දිගහරිනවා-දිගහරිනවා-දිගහරිනවා” මේ විදියට කය කය හැසිරන ආකාරය, හසුරුවන ආකාරය පිළිබඳව මෙනෙහි කිරීමක් කරලා ඊටපසුව “නැඟිටිනවා-නැඟිටිනවා-නැඟිටිනවා” කියලා නැඟිටින්නේ.
නැඟිටලා ඉවරවෙලා සක්මන් භාවනාව කරන්නට පටන් ගන්නට ඕන. සක්මන් භාවනාවේ අදියර රාශියක් තිබෙනවා. වම් කකුල තබනකොට “වම” කියලා සිහිපත් කරනවා. දකුණු කකුල තියනකොට “දකුණ ” කියලා සිහිපත් කරනවා. ආයෙත් වම් කකුල තියනකොට “වම” කියලා සිහිපත් කරනවා. දකුණු කකුල තියනකොට “දකුණ ” කියලා සිහිපත් කරනවා. මේ විදියට ” වම-දකුණ-වම-දකුණ” කියා සිහිපත් කරමින් සක්මනේ කෙළවර දක්වා සක්මන් කළයුතු වෙනවා. එසේ සක්මනේ කෙළවර දක්වා ගමන් කරලා “නැවතීමට සිතෙනවා- නැවතෙනවා-නැවතෙනවා” කියලා නැවතිලා “හැරෙන්නට හිතෙනවා- හැරෙනවා- හැරෙනවා-හැරෙනවා” කියලා ආපස්සට හැරෙනවා. ආපස්සට හැරිලා ආයෙත් “වම-දකුණ-වම-දකුණ” කියලා සක්මන් කරනවා. මේ අතරතුරදී සක්මන් කරන කාලය තුළදී විශාල ශබ්දයක් වැනි දෙයක් ඇසුණොත් ඒකත් මෙනෙහි කරනවා “ශබ්දයක්-ශබ්දයක්-ශබ්දයක්” කියලා. වටපිට බලන්නට එහෙම හිතුණොත් ඒ අතරතුර එකපාරට හිස හරවා බලන්නේ නැතුව “බලන්නට හිතෙනවා- බලනවා-බලනවා-බලනවා” කියලා “හිස හරවනවා-හරවනවා-හරවනවා” කියලා ආදී වශයෙන් සිහිපත් කරලා ඒ හිස හරවලා බලලා නැවතත් “වම-දකුණ-වම-දකුණ” කියලා භාවනා කරන්නට පටන් ගන්නවා.
මෙහෙම භාවනා කරලා ආයෙත් සක්මනේ කෙළවරට ආවට පසුව හිටගෙන ඉන්න ශරීරය දෙස බලාගෙන “හිටිනවා-හිටිනවා-හිටිනවා” කියලා මෙනෙහි කරලා “හරවනවා-හරවනවා-හරවනවා” කියලා මෙනෙහි කරලා කය අනෙක් පැත්තට හරවලා ආපහු “වම-දකුණ-වම-දකුණ” කියලා භාවනාවේ නිරත වනවා. මේ විදියට භාවනා කරනවිට තමාගේ ඇඳුම් පැළඳුම් ආදිය සකසා ගැනීමට සිදුවෙනවා නම් ඒකත් සිහිපත් කරලම කරනවා, ” ඇඳුම් සකසනවා-සකසනවා-හදාගන්නවා-හදාගන්නවා” මේ විදියට කරලා ඊට පසුව නැවත “වම-දකුණ-වම-දකුණ”කියලා භාවනා කරගෙන යනවා. මේ විදියට සක්මන් භාවනාව පැය භාගයක්-විනාඩි 45 ක් විතර කරලා ඊට පසුව නැවතත් අර වාඩිවෙන තැනට ගොස් “ඉඳගන්නට හිතෙනවා-ඉඳගන්නට හිතෙනවා-හිඳිනවා-හිඳිනවා” කියලා වාඩිවෙනවා. වාඩිවෙලා ඉවරවෙලා අතපය කකුල් ආදිය නවන කොට “කකුල නවනවා -නවනවා-නවනවා” කියලා සිහිපත් කරලම කකුල නවනවා.ඊටපස්සේ කකුල් දෙක නවලා, පහසුවෙන් වාඩිවුණාට පසුව නැවතත් අර කලින් කීවා සේම “පිම්බෙනවා-හැකිලෙනවා-පිම්බෙනවා-හැකිලෙනවා” කියලා භාවනාවේ නිරත වෙනවා.
මේ සක්මන් භාවනාවේ ඉතාමත්ම මූලිකම අදියර. ඒක පුරුදු වුණාට පසුව පමණක් සක්මන් භාවනාවේ තවත් අදියර දෙක තුනක් කරන්නට පුළුවන්.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරෙනි.
සම්පූර්ණ දේශනාව ශ්‍රවණය කරන්න.