දීඝා ජාගරතො රත්ති, දීඝං සන්තස්ස යොජනං;
දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානතං.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ කොසොල් රජතුමා හිටියා. ඒ කොසොල් රජතුමා දවසක් වීදි සංචාරයේ යෙදෙන කොට ලස්සන කාන්තාවක් දැක්කා. ඇය පිළිබඳ සිතක් පහළ වුණා. ඊට පසුව කොසොල් රජතුමා තමන්ගේ රාජ පුරුෂයන්ව යැව්වා මෙයා විවාහකද , අවිවාහකද කියලා දැන ගැනීමට. මේ කාන්තාව විවාහක කාන්තාවක්. කොහොමහරි මේ කාන්තාව ලබාගන්න ඕන කියන අදහස කොසොල් රජතුමාට ඇතිවුණා. එම නිසාම ඔහු කල්පනා කළා “රාජ සේවයට මොහු කැඳවලා ඔහුට කරන්නට බැරි රාජකාරියක් මම පවරනවා. එම රාජකාරිය ඉටුකළේ නැති වරදට මොහුට මරණීය දණ්ඩනය නියම කරලා මොහුගේ භාර්‍යාව මම ලබාගන්නවා” කියන අටියෙන් , ඔහුව රාජ්‍ය සේවය සඳහා කැඳෙව්වා. ටික කලක් රාජ්‍ය සේවයේ යෙදී සිටියාට පසුව ඔහුට නියම කළා ඉතා ඈත හැතැප්ම 40 ක් 50 ක් පමණ ඈත තියන ස්ථානයකින් “මේ දේ අරගෙන අද සවස් වන්නට ප්‍රථමයෙන් ඔබ පැමිණෙනන්ට ඕන. එසේ පැමිණියේ නැත්තම් ඔබට මරණීය දණ්ඩනය තමයි නියම වන්නේ “. ඉතින් මේ පුද්ගලයා උදේ පාන්දරම නැඟිටලා, වෙහෙස වෙලා, වෙහෙස වෙලා ඒ ඈත ගමට පයින් ගියා. සවස් වන්නට කලින් එන්නටත් ඕන. නමුත් කොසොල් රජතුමා නියම කළා දොරටුපාලකයන්ට මොනම හේතුවකටවත් අද මේ වෙලාවෙන් පස්සේ මේ දොරවල් අරින්නට එපාය කියලා.
ඉතින් මේ පුද්ගලයා අර අවශ්‍ය දේ ගේන්නට ගියා, සවස් වෙනකල් ඉන්නට බැහැ, ගමන දීර්ඝයි, වෙහෙසවෙලා, වෙහෙසවෙලා දොරටුව ගාවට ආවා, දොරටුපාලකයා ඇතුළට එන්නට ඉඩ දුන්නේ නැහැ. මොහු කල්පනා කළා, “හෙට උදේ මගේ මරණය සිදුවෙනවා” , දැන් රාත්‍රිය පුරාම ඔහුට නින්ද යන්නෙත් නෑ, අවසාන වශයෙන් මොහුට කරන්නට කියන්නට දෙයක් නැහැ, , උදේ පාන්දරම බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. මේ කොසොල් රජතුමාත් රාත්‍රිය පුරාම, කල්පනා කර කරා සිටියා, “හෙට මේ පුද්ගලයාගේ මරණය සිදුවෙනවා, ඊට පස්සේ ඔහුගේ භාර්‍යාව මම ගෙන්වනවා, මේ විදියට මේ විදියට අපි සැප විඳිනවා කියලා”. ඒ ගැන කල්පනා කර කරාම, ඔහුටත් රාත්‍රිය පුරාම නින්ද ගියේ නැහැ. ඉතින් කොසොල් රජතුමාත් පසුවෙනිදා උදේ බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියා.
පොත්පත් වල දක්වා තිබෙනවා මේ කොසොල් රජතුමාට අර පුද්ගලයා පෙනෙන්නට එපා, දෙදෙනාට දෙදෙනා පෙනෙන්න්ට එපා කියලා, බුදුරජාණන් වහන්සේ අධිශ්ඨානයක් කළ බව. දෙදෙනාම දන්නේ නෑ, දෙදෙනාම ඉන්න බව.බුදුරජාණන් වහන්සේ හමුවට මේ දෙදෙනාම ගිහින් මේ පුවත් දෙක සැළ කළා. ඊට පස්සේ තමයි ඉහත කී ගාථාව දේශනා කළේ.
දීඝා ජාගරතො රත්ති, දීඝං සන්තස්ස යොජනං;
දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානතං.
එහි අදහස,
නින්ද යන්නේ නැති පුද්ගලයාට රාත්‍රිය දිගයි.නිදාගත්තු පුද්ගලයකුට නම් කොච්චර වෙලා නිදාගත්තත් කාලය ගිය එක තේරෙන්නේ නෑ, නින්දෙන් අවදිවෙනවා.නමුත් නින්ද යන්නේ නැති පුද්ගලයාට රාත්‍රිය ගෙවෙන්න බොහෝ කාලයක් යනවා වගේ තේරෙන්නේ. ඒ නිසයි බුදුරජාණන් වහසේ දේශනා කළේ ” දීඝා ජාගරතො රත්ති” නින්ද යන්නේ නැති පුද්ගලයාට රාත්‍රිය දිගයි කියලා.
“දීඝං සන්තස්ස යොජනං” වෙහෙස වෙලා වෙහෙසවෙලා ගමන් කරලා පීඩාවට පත්වුණු කෙනාට යොදුන දිගයි. කොච්චර ගියත් මේක ඉවර වෙන්නේ නෑ, තවත් යන්න තියනවානේ කියන අදහස ඇතිවන්නේ,යනවා යනවා නිමක් වන්නේ නෑ, මොකද ගමන් වෙහෙසට පත්වෙලා තියන නිසා, ඔහුට යොදුන දිගයි. ඒ වගේම ” දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානතං. ” සද්ධර්මය නොදන්නා වූ බාලයාට සංසාරය දිගයි.
ඒකයි ඒ ගාථාවේ තේරුම. එතකොට අර පුද්ගලයා බොහෝ වෙහෙස වෙලා වෙහෙස වෙලා, ගමන් කරපු නිසා ගමන් කරන්නට තියන දුර ප්‍රමාණය දීර්ඝ වශයෙන් ඔහුට දැනෙන්නේ.කොසොල් රජතුමාටත් රාත්‍රිය පුරා නින්ද ගියේ නැති නිසා රාත්‍රිය දීර්ඝ රාත්‍රියක් බවට පත්වුණේ. මෙන්න මේ වගේම තමයි ධර්මය නොදන්නා වූ බාල මෝඩ පුද්ගලයන්ට සංසාරය අතිශයින්ම දීර්ඝයි.
මේ ධර්මය නොදන්නවා කියන්නේ මේ අය හිතන විදියට ධර්මය පාඩම් කරලා ඉගෙන ගෙන සිටින්නේ නැති එක නෙවෙයි. යම්කිසි කෙනෙක් ත්‍රිපිටක ධර්මයම කටපාඩම් කරගෙන සිටියා වුවත්, ත්‍රිපිටක වාගීශ්වර තත්වයට පත්වෙලා හිටියත්, ත්‍රිපිටකාචාර්‍ය විභාග සමත් වෙලා සිටියත් ඔහු ධර්මය දන්න පුද්ගලයෙක් නෙවෙයි.ධර්මය දන්නේ නෑ කියන එකෙන් අදහස් කරන්නේ විශේෂයෙන්ම නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍ය වූ ධර්ම ඔහු ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැහැ කියන එකයි. විශේෂයෙන්ම චතුරාර්‍ය සත්‍යය ධර්මය අත්දැකලා නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන්, ඔහු ධර්මය දැකලා නෑ, එවැනි කෙනකුට මේ සංසාරය අතිශයින්ම දීර්ඝයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.
සම්පූර්ණ දේශනය ශ්‍රවණය කරන්න.