මොහසම්බන්ධනො ලොකො – 1 කොටස

15780877_571957936333492_825433876012247773_n

බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ සිටියා මාගන්දි කියන ඉතාමත්ම රූමත් තරුණිය. බුදුරජාණන් වහන්සේගේ රූප සෝබා සම්පන්න භාවය දැකපු ඇයගේ දෙමව්පියන් , ඒ මාගන්දිය බුදුරජාණන් වහන්සේට විවාහ කර දීම සඳහා කැටුව ගොස් පෙන්නුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා;
“දිස්වාන තණ්හං අරතිං රගංච- නාහෝසි ඡන් දෝ අපි මේථුනස්මිං
කිමේවිදං මුත්ත කරීස පුණ්ණං -පාදාපි නං ඵුසිතම්පි ඉච්ඡේ. ” කියන ගාථාව.
“තණ්හා, රතී, රඟා වැනි අය දැකලත් මගේ සිත තුළ රාගයක් ඇති වුණේ නැති කළ මේ අසූචි, මූත්‍රා ආදිය පිරිච්චි මේ ශරීරය ගැන කවර කතාවක්ද, පයින්වත් මම පාගන්නට කැමති නෑ” කියලා.

මෙන්න මෙම හේතුව නිසා මාගන්දි කියන ඒ තරුණ කාන්තාව පුදුම විදියට බුදු හාමුදුරුවෝ කෙරෙහි වෛරයක් ඇතිකර ගත්තා. ඇය උදේනි රජ්ජුරුවන්ගේ බිසව වුණා. ඒ උදේනි රජ්ජුරුවන්ගේම තවත් බිසවක් තමයි සාමාවති ඇතුළු ඒ පන්සිය දෙනා. බුදුරජාණන් වහන්සේ දැකීමට හෝ උන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කිරීමට යන්නට ඒ අයට අවකාශයක් ලැබුන් නැහැ.ඒ අයගේ හිටපු ඛුජ්ජුත්තරා කියලා සේවිකාවක්, බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් බණ අහලා ඒ බණ ඒ ආකාරයෙන්ම අවුත් සාමාවති ඇතුළු ඒ පිරිසට නිතර නිතර ප්‍රකාශ කළා. ඒක නිසා එහි සිටි සෑම කෙනෙක්ම මාර්ගඵලයක් ලැබුවා. බුදුහාමුදුරුවෝ නොදැකම මේ සාමාවති ඇතුළු ඒ පිරිස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය , ශ්‍රද්ධාව ඇති කරගෙන සිටිය නිසා; අර මාගන්දි කියන කාන්තාව (උදේනි රජ්ජුරුවන්ගේ අග බිසවක් වශයෙන් ඒ වන විට හිටියේ) ; ඇය කෙරෙහි වෛරයක් ඇති කරගෙන සාමාවති ඇතුළු පිරිස හිටපු මාළිගාව වටේටම දොරවල වහලා ඒකට ගින්දර තියලා ඒ පන්සිය දෙනාම ගින්නෙන් පුච්චලා මැරෙව්වා.
මෙන්න මේ කතාව බුදුරජාණන් වහන්සේට භික්ෂු පිරිස ප්‍රකාශ කළාට පස්සේ , බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වඳාළා, “සෝවාන් වෙච්ච උපාසිකාවොත් ඒ පන්සිය දෙනා අතර සිටියා. සකදාගාමි තත්වයට පත්වෙච්ච අයත් හිටියා. අනාගාමි තත්වයට පත්වෙච්ච අයත් ඒ පන්සිය දෙනා අතර හිටියා. ඒ හිටපු පන්සිය දෙනාම නිෂ්ඵල විදියට මැරුණේ නැහැ ඔක්කොම මාර්ගඵල ලාභී අය” යැයි ප්‍රකාශ කරමින් තමයි මෙලෙස උදාන ගාථාවක් ප්‍රකාශ කළේ.

‘‘මොහසම්බන්ධනො ලොකො, භබ්බරූපොව දිස්සති;
උපධිසම්බන්ධනො ලෝකෝ, තමසා පරිවාරිතො;
සස්සති විය ඛායති, පස්සතො නත්ථි කිඤ්චනන්ති”

මෝහයෙන් බැඳී සිටින මේ ලෝක සත්වයාට පංචස්කන්ධ ධර්මයන් භව්‍ය වශයෙන් ඉතාම හොඳ දේවල්ය, ඉශ්ඨ දේවල්ය, මනාප දේවල්ය වටිනා දේවල්ය, සාරවත් හරයක් ඇති දෙයක්ය ආදී වශයෙන් තමයි දර්ශනය වන්නේ. අවිද්‍යා අඳුරෙන් වැසී සිටින, උපධි වලින් බැඳී සිටින සත්වයාටත්, මේ පංචස්කන්ධ ධර්මයන්, එලෙසින්ම තමයි දර්ශනය වන්නේ, ඊටත් අමතරව ඒවා ස්ථිර වශයෙන්, පවත්වාගෙන යායුතු ධර්ම වශයෙන් ඒවාට ඇලුම් කළ යුතු ධර්ම වශයෙන් තමයි එවැනි අයගේ සිත තුළ ඒ පංචස්කන්ධ ධර්මයන් දර්ශනය වන්නේ.
යථා භූත ඥාන දර්ශනයක් තුළින් සත්‍යය දකින කෙනාගේ සිත තුළ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව කිසිම බැඳීමක් නෑ. රාග, දෝස, මෝහ ආදී ඒ බැඳීම කිසිවක් නැතිවී යනවා. ඒක තමයි ඒ ගාථාවේ සරල අදහස.

‘‘මොහසම්බන්ධනො ලොකො, භබ්බරූපොව දිස්සති”
මෝහයෙන් බැඳිච්ච පුද්ගලයෝ මේ පංචස්කන්ධ ධර්මයන් නිත්‍ය වශයෙන් සිතනවා. මේක සුභයි කියලා සිතනවා. මේක සුඛ දෙයක්ය, සැපවත් දෙයක්ය කියලා හිතනවා. මේක මමය, මගේ ආත්මයක්ය, ආත්මයට අයත් දෙයක්ය කියලා කල්පනා කරනවා. ඒ වගේම ඒ මෝහය නිසාම මේ පංචස්කන්ධ ධර්ම දිගින් දිගට පවත්වා ගෙන යා යුතුයි, මේවා තුළින් ආශ්වාදයක් ගෙන දෙන නිසා මේවා කෙරෙහි ඇලිය යුතුයි කියන අදහස තිබෙනවා ඒ අයගේ සිත් තුළ. ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි කළකිරීමක් නෙවෙයි බැඳීමක් තිබෙන්නේ. මේ ආදී ලෙසින් කටයුතු කරන ඒ මෝහයෙන් බැඳුණු ලෝක සත්වයාට පංචස්කන්ධ ධර්මයන් මහා වටිනා දේවල් වශයෙන් තමයි පෙනී යන්නේ. ඒකයි ඒ පළවෙනි පදයේ තේරුම.

“උපධිසම්බන්ධනො ලෝකෝ”
උපධි වර්ග හතරක් පොත්වල දක්වා තිබෙනවා. කාමො උපධි, ක්ලේශ උපධි, සංඛාර උපධි, කන්ධ උපධි කියලා. උපධි කියන එකෙන් අදහස් කරන්නේ තණ්හාවෙන් යුතුව අල්ලාගෙන සිටින එකට. තණ්හාවෙන් යුතුව යම්කිසි බැඳීමක් තියෙනවා නම් ඒකට තමයි සාමාන්‍යයෙන් උපධි කියන වචනය පාවිච්චි කරන්නේ. කාම උපධි : කාමයන් තුළින් ලැබෙන ආශ්වාදය අල්ලාගෙන සිටිනවා සාමාන්‍ය ලෝක සත්වයා. කන්ධ උපධි: තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් අල්ලාගෙන සිටිනවා මමය, මාගේය කියලා හිතාගෙන. ඇලීගෙන බැඳීගෙන ආරක්ෂා කරගෙන, තව තවත් මේක තබාගත යුතුයි කියන හැඟීමේ පිහිටලා, ඒවා අල්ලාගෙන සිටින්නේ. සිතින් ඒවා කෙරෙහි තණ්හාවෙන් බැඳී සිටින්නේ. ඊළඟට ක්ලේශ උපධි: ක්ලේශයනුත් ඒ ආකාරයෙන් අල්ලාගෙන සිටිනවා. සමහර කෙලෙස් තුළින් තමාට ආශ්වාදයකුත් ලබාදෙනවා, ඒ නිසාත් ඒ ක්ලේශ ධර්ම අල්ලනවා. එසේ නොවූවත් අවිද්‍යාව තිබෙන නිසා ක්ලේශ ධර්මත් උපාධාන කරගෙන උපධි වලින් බැඳිලා තමයි සාමාන්‍ය සත්වයා කටයුතු කරන්නේ.
ඊළඟට අභිසංස්කාර උපධි: අභිසංස්කරණය කියන්නේ රැස් කරනවා. රැස් කිරීමත් අල්ලාගෙන සිටින්නේ. මේ රැස් කරන්නේ පංචකන්ධ ධර්මම බව මේ අයට අප කලින් කියා දීල තිබෙනවා. කුමක් රැස් කළත් රැස් කරන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්මයි. ඉතින් කර්ම සංස්කාර රැස් කරනවා, කුසල්-අකුසල් රැස් කරනවා, බොහෝවිට පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි තියන ඇලීම සහ බැඳීම නිසා. අනාගත භව වලදීත් ඒ ආකාරයෙන්ම පංචස්කන්ධ ධර්මයන් සුඛිතව තබා ගැනීමට හේතු වන ආකාරයේ කුසල කර්ම රැස් කරනවා. මේ ජීවිතයේත් එම පංචස්කන්ධ ධර්ම සුඛිතව තබා ගැනීමට කුසල කර්ම කරනවා, සමහර විට අකුසල කර්ම පවා සිදු කරනවා. ආශ්වාදය සොය සොයා තමයි ඒ ආකාරයෙන් කර්ම සංස්කාර රැස් කරන්නේ. ඒවා කෙරෙහිත් ඇලිලා බැඳිලා සිටින්නේ.ඒ කර්ම සංස්කාර අභිසංස්කරණය කිරීම මහා ලොකු දෙයක්, ඒක කළ යුතු දෙයක් ආදී වශයෙන් තමයි ඒ අයගේ සිත තුළ ඒවා පිළිබඳ හැඟීමක් තිබෙන්නේ.

“තමසා පරිවාරිතො”
අඳුරකින් මුළු පංචස්කන්ධ ලෝකයම වැසී ගොස් තිබෙන්නේ. නැත්නම් අඳුර පිරිවරාගෙන සිටින්නේ. මේ අඳුර කියන එක, අවිද්‍යා අන්ධකාරයයි එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. “අඳුරකින් මුළු ලෝකයම වැහිලා”, “අන්ධභූතෝ අයං ලෝකෝ- අඳුරෙන් අන්ධ වෙලා” , ආදී වශයෙන් බුදු රජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළ තැන්, සූත්‍ර තිබෙනවා. “අන්ධභූත” කියලා සූත්‍රයක “සබ්බං භික්ඛවේ අන්ධභූතෝ” මේ ලෝකේ සෑම දෙයක්ම, මේ මෝහ නැමැති අඳුරෙන් වැසිලා තියෙන්නේ; මෝහය නැමැති අඳුර විසින් මැඩගෙන සිටින්නේ. අන්ධභූතෝ කියන එකේ අර්ථයයි ඒ. එතකොට “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං ” මොනවද මේ අඳුර විසින් මැඩගෙන සිටින්නේ , නැත්තම් අඳුර විසින් වස්සගෙන සිටින්නේ ? “චක්ඛුං භික්ඛවේ අන්ධභූතං, රූපා අන්ධභූතා, චක්ඛුවිඤ්ඤාණං අන්ධභූතං, චක්ඛුසම්ඵස්සෝ අන්ධභූතෝ, …(පාලි පාඨය..).. ” ඇස මේ ආකාරයකින් අඳුරකින් වැසී ගොස් තිබෙන්නේ, රූප මෝහ අන්ධකාරයෙන් වැසීගොස් තිබෙන්නේ, මැඬගෙන තිබෙන්නේ, චක්ඛු විඤ්ඤාණය චක්ඛු සම්ඵස්සය, ඒ වගේම චක්ඛු සම්ඵස්සය නිසා යම්කිසි සැප හෝ දුක් හෝ මැදහත් වේදනාවක් ඇති වෙනවානම් මේ සියළුම වේදනාවන්, මේ කියපු ධර්මතාවයන් ඔක්කොම මෝහ අන්ධකාරයෙන් වැසිලා අඳුරකින් ඉන්න කෙනෙක් වගේ වසාගෙන සිටින්නේ.

මේ විදියටම කන, නාසය, දිව, ශරීරය, මනස සහ ඒවාට හමුවන අරමුණුත් ඒ නිසා පහළ වන සියළුම චිත්ත සංස්කාර ධර්මත් සම්පූර්ණයෙන්ම මේ මෝහයෙන් වැසී අන්ධභූත තත්වයට පත්වී සිටින ආකාරයයි බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරලා තියෙන්නේ. මේ තත්වය තමයි සාමාන්‍ය ලෝක සත්වයාගේ , පෘථග්ජන ලෝක සත්වයාගේ ස්වරූපය. මේ තත්වය සම්පූර්ණයෙන්ම නැතිවන්නේ රහත් වූවොත් පමණයි. පහළ පහළ මාර්ගඵල ලබා සිටින අයගේ සිත තුළ පවා මේ තත්වයන් අඩු වැඩි මට්ටම් වලින් පවතිනවා. පහළම පහළම මට්ටමේ සිට, ඉහළට ඉහළට යනකොට ඔය තත්වයන් අඩුවී අඩුවී යන්නේ.

එතකොට මේ අයට මේ දක්වාම නිවන් සුව අත්දකින්නට නොහැකිවෙලා තියනවා නම්, නොහැකිවෙලා තියෙන්නේ මේ කියන ලද ආකාරයෙන් මේ අඳුරෙන් තමා වැසී සිටින නිසා. එම නිසා ඒ අඳුර අයින් කරන්නට නම්, “පස්සතො නත්ථි කිඤ්චනන්”; යථාභූත ඥාන දර්ශනයකින් මේ පංචස්කන්ධ ලෝකය දකින්නට ඕන, අවබෝධකරගන්නට ඕන. එතකොට තමයි කිඤ්චන භාවයන් නැතිවි යන්නේ. කිඤ්චන කියන්නේ බැඳීම කියන එක. ඒ බැඳීම් ස්වරූපයන් නැතිවී යන්නේ. පංචස්කන්ධ කෙරෙහි තිබෙන බැඳීම තිබෙන තාක් කල් නිවන් අවබෝධ කරගන්නට බැහැ, ඒ නිවන් අවබෝධ වෙන අවස්ථාවේදී පංචස්කන්ධ ධර්ම සහිත සියළුම සංස්කාර ධර්මයන් සිතින් ගිළිහී යන්නට ඕන. ඒවා කෙරෙහි තියෙන ඇලීම එක බිඳක්වත් නැතුව සම්පූර්ණයෙන්ම සංස්කාර ධර්ම සිතින් නිරුද්ධ වී යායුතු අවස්ථාවක් තිබෙනවා. අන්න එවැනි අවස්ථාවකදී තමයි නිවන් ලැබීමට සුදුසුම මට්ටමට අනිකුත් ධර්මයනුත් පරිපූර්ණය වෙලා තියෙනවා නම්, නිවන් අවබෝධ කරගත හැකිවන්නේ.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.