“ඒහි ඵස්සික” ගුණය – 3 කොටස

15665516_568556936673592_6783306415651658783_n

ඊට අමතරව බුදු රජාණන් වහන්සේ දක්වලා තියෙනවා ඡන්ද සමාධිය, චිත්ත සමාධිය, වීරිය සමාධිය, වීමංසා සමාධි වැනි සමාධි වර්ග. මේවා ඇවිල්ලා බලන්නටය කියලා අපිට කෙනෙකුට කතා කරලා පෙන්නුම් කර අහන්නට පුළුවන්; කියන්නට පුළුවන්.
ඒ වගේම තියනවා බුදු රජාණන් වහන්සේ දේශනා කොට වඳාළ වෙනත් ආගම් වල නොදක්නා අනිමිත්ත සමාධී. අප්පණීත සමාධී, ශුන්නත සමාධී. මේවා දියුණු කරගත්ත කෙනෙකුට බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ තියන ඒහි ඵස්සික ගුණය අත්දකින්නට පුළුවන් මේ බලන්න අනිමිත්ත සමාධිය, මේ බලන්න අප්පණීත සමාධිය, මේ බලන්න ශුන්නත සමාධිය.
මේක කොච්චර සත්‍යයක්ද කියලා. විශේෂයෙන්ම ඔය ශුන්නත සමාධි වැනි, අනිමිත්ත සමාධි වැනි, අප්පණීත සමාධි වැනි ඒ සමාධින් උපදවා ගන්නට නම් විදර්ශනා භාවනාවක නියැලෙන්නට වෙනවා. විදර්ශනා භාවනාව තුළින් උපදවා ගන්නා සමාධි මට්ටම්, ධ්‍යාන මට්ටම් අන්‍යය ආගම් වල නැහැ. බුදු රජාණන් වහන්සේගේ ධර්මයේම පමණයි විදර්ශනා භාවනාවක් උගන්වන්නේ. ඒක නිසා ඒ සමාධිය දකින්නට පුළුවන් මේ ආකාරයෙන් තමන්ගේ ප්‍රඥාව හා සමාධිය දියුණු වෙලා ඇති මට්ටමට අනුව.

තව සමාධි වර්ග තියනවා, ලෝකෝත්තර සමාධි තියෙනවා. මේ ලෝකෝත්තර සමාධි නම් මේ අන්‍යය ආගම් කිසි කෙනෙකුට අත්දකින්නට පුළුවන් දෙයක් නෙමෙයි. බුදු රජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කොට වඳාළා;
“ඉදේව පඨමෝ සමණෝ, ඉදේව දුතියෝ සමණෝ, ඉදේව තතියෝ සමණ, ඉදේව චතුත්තෝ සමණෝ.” කියලා. “මෙහිමයි සෝවාන් මාර්ගය සාක්ෂාත් කරපු භික්ෂූන් වහන්සේලා, ශ්‍රමණයන් සිටින්නේ”. මෙයින් අදහස් කරන්නේ භික්ෂු – භික්ෂූණී, උපාසක – උපාසිකා කියන කොටස් හතර. මෙහිමයි සකදාගාමි වෙච්ච පුද්ගලයෝ දක්නට ලැබෙන්නේ. මේ බුද්ධ ශාසනයේමයි අනාගාමි පුද්ගලයෝ දක්නට ලැබෙන්නේ. මේ බුද්ධ ශාසනයේමයි රහත් වූ පුද්ගලයන් දකින්නට ලැබෙන්නේ. වෙනත් ආගම් වල ඒවා දක්නට ලැබෙන්නේ නැහැ. ඒ ලෝකෝත්තර සමාධි මේ ඇවිල්ලා බලන්නටය කියලා බොරුද ඇත්තද කියලා දකින්නටය කියලා පෙන්නුම් කරන්නට පුළුවන් සමාධි.

ඒ වගේම ඵල සමාපත්තින් තියනවා, නිරෝධ සමාපත්තීන් තියනවා. අන්‍යය ආගම් වල ඔය නිරෝධ සමාපත්ති වැනි දේවල් බොහෝ විට උගන්වන දේවල් නෙමෙයි. ඒවා සත්‍යයද කියලා අපට කියන්නට පුළුවන් ඇවිල්ලා බලන්නට කියලා.
ඊට අමතරව ප්‍රඥාවෙන් දැකිය යුතු කරුණු රාශියක් තියෙනවා. ඒවා කියනවනම් පැය දහයක් පහළොවක් නෙමෙයි දවස් දහයක් පහළොවක් එක දිගට කීවත් නිම නොවන කරුණු ගොඩක්. ඒකයි මා කලින්ම කීවේ බුදු රජාණන් වහන්සේගෙ ධර්මය යම්තාක් දුරට දකිනවද යම්තාක් දුරට බුදු රජාණන් වහන්සේගේ ධර්මය අත්දැකලා තියනවද ඒ තාක් දුරටයි මේ ධර්මයේ තියන ඒහි ඵස්සික ගුණය අත්දකින්නට පුළුවන් වන්නේ. එහි තියෙන සත්‍යයතාවය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ කියන කරුණ. මෙහිදී ඒ ප්‍රඥාව තුළින් බුදු රජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේදි දක්වනවා සම්මා සති, සම්මා සමාධි, සම්මා දිට්ඨි ආදී අංග.
එහිදී මේ සම්මා දිට්ඨියෙන් දක්වන්නේ කෙළින්ම ප්‍රඥාව, ඒ තුළින් තමයි නිර්වාණ ධාතුව අවබෝධ කරගත හැකිවන්නේ. එහිදී ඒ සම්මා දිට්ඨියෙන් දත යුතු ධම්ම රාශියක් තිබෙනවා, එකක් දෙකක් නෙමෙයි. ඒ අතුරින් කෙටියෙන් වචන කීපයක් පමණක් ප්‍රකාශ කරනවානම් , බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කොට වඳාළා, නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් සිටිනවානම් තමන්ගේ ඇඟේ සහ සිතේ නියම තත්වය නියම ආකාරයෙන් අවබෝධ කරගන්නට ඕන. මේ ඇඟේ සහ සිතේ ඒ නාම රූප ධර්මයන් එක්කෝ, පන්චස්කන්ධ ධර්මයන් වශයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ වශයෙන් දකින්නට ඕන. නැත්තම් ආයතන වශයෙන් චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජිව්හායතන, කායයතන, මනායතන වශයෙන් දකින්නට පුළුවන්.

නැත්තම් ධාතු වශයෙන් දකින්නට පුළුවන්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු , ආකාස ධාතු, විඥ්ඥාණ ධාතු වශයෙන්. නැත්තම් ඉන්ද්‍රීය ධර්ම වශයෙන්ම දකින්නට පුළුවන්, චක්ඛු ඉන්ද්‍රීය, සෝත ඉන්ද්‍රීය, ආදී විවිධාකාරයෙන්. එතකොට මේවා ඇත්තද නැත්තද, බොරුද කියලා ඇවිල්ලා බලන්නටය කියලා පෙන්නුම් කරන්නට පුළුවන්. මේ බලන්න පන්චස්කන්ධ ධර්මයන් තියනවා. මේ බලන්න මේ පන්චස්කන්ධ ධර්ම ඇතිවන්නේ මේ ආකාරයට. මේ බලන්න මේ පන්චස්කන්ධ ධර්ම නිරුද්ධ වී යන්නේ මෙලෙසින්. මේ බලන්න මේ පන්චස්කන්ධ ධර්ම නිරුද්ධ කිරීමේ මාර්ගය මේකයි, මේ මාර්ගයේ ගමන් කිරීම තුළින් මේ පන්චස්කන්ධ ධර්ම නිරුද්ධ කරන්නට පුළුවන්. මේ බලන්න පන්චස්කන්ධයෙන් ලැබෙන සුළු ආශ්වාදය කොතෙක් තිබුණත්, සුළු ආශ්වාදයක් තිබුණත් මේකේ ලැබෙන ආදීනවය කොච්චරද කියලා බලන්න මේවා බොරුද ඇත්තද කියලා තමාම අත්දකින්න. මේ බලන්න මේ පන්චස්කන්ධ ධර්මයන් කෙරෙහි තියන ඇලීම බැඳීම ඡන්දය රාගය වැනි දේවල් අත් හැරියාට පස්සේ ඇතිවන නිදහස විමුක්තිය මොකද්ද කියලා. ඒ වගේම මේ විදියටම ධාතු වලටත් කියන්නට පුළුවන්, ආයතන වලටත් කියන්නට පුළුවන්, ඉන්ද්‍රිය ධර්ම වලටත් කියන්නට පුළුවන්.

බුදු රජාණන් වහන්සේ දේශනා කොට වඳාරණවා, ” සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා” ආදී වශයෙන්. මේ ලෝකේ යම්තාක් සංස්කාර ධර්ම තිබෙනවානම් ඒ ඔක්කෝම අනිත්‍යයි. ඕනෑම කෙනෙකුට අපිට අභියෝග කරලා කතා කරලා අහන්නට පුළුවන් බලන්න මේ සංස්කාර ධර්ම අනිත්‍යය නොවෙයිද? නිත්‍යය වන සංස්කාර ධර්මයක් ලෝකේ කොතනද පවතින්නේ? කියලා. ඒක අභියෝගාත්මකව කියන්නට පුළුවන් කරුණක්. මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්ම විශේෂයෙන්ම තමන්ගේ ඇඟ සහ සිත පන්චස්කන්ධ ධර්ම ඒකාන්ත වශයෙන්ම දුකක් දුක්ඛ පිණ්ඩයක්. මේක දුකක් නෙවෙයිද කියලා පෙන්නුම් කරලා ඇවිල්ලා බලන්නටය කියලා අපිට පෙන්නුම් කරන්නට පුළුවන්. මේ පන්චස්කන්ධ ධර්ම ඒකාන්ත වශයෙන්ම මම කියලා හිතුවට මගේ කියලා හිතුවට, ආත්මයක් ඇත කියලා හිතුවට, මේවා ආත්ම නොවෙයි. ඒ ආත්ම නොවෙයි කියන කරුණ ඇත්තද නැත්තද බොරුද කියලා තමාම ප්‍රත්‍යක්ෂ කරලා අත්දැකලා බලන්නටය කියලා අභියෝග කරලා අපිට කියන්නට පුළුවන්.

ප්‍රඥාව තියන කෙනෙකුට “එන්න මේ විදියට කටයුතු කරන්න, කටයුතු කළාට පසුව මේ පන්චස්කන්ධ ධර්ම මේ ඇඟ සහ සිත තුළ ආත්මයක් නැති බව දකින්න”. ආත්මයක් කියලා දෙයක් මේ තුළ ගන්නට කිසිවක් ශේෂ නොවන ආකාරය අවබෝධ කරගත්තු කෙනෙකුට බුදු රජාණන් වහන්සේ කියපු ඒ ධර්මයේ තියන ඒහි පස්සික ගුණය මෙහි ඇවිල්ලා බලන්නට පුළුවන් කියන ගුණය අත්දකින්නට පුළුවන්. ඒ පන්චස්කන්ධ ධර්ම අසුභයි. මේවා ඒ වගේම හිස් වූ සාරවත් ධර්ම නෙවෙයි. ශූන්ය වූ ධර්ම. මේවත් අත්දකින කෙනෙකුට ඒ බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ කියන ධර්මයේ තියන ඒ ගුණය අපට අත්දකින්නට පුළුවන් කම ලැබෙනවා.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ දෙශනාවක් ඇසුරෙනි.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.