අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..
සතර සම්මප්පධාන : සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දක්වා ඇති සම්මා වායාමය පිළිබඳ කරුණුම යි සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නෙත්.
සතර ඍධිපාද : නිවන් දැකීම අනුව කියනවා නම් ඍධිපාද ධර්ම කියන්නේ ධ්‍යාන මාර්ගඵල හා නිවන අවබෝධ කිරීමට අනිවාර්යයෙන් ම ඇතිකර ගත යුතු ධර්ම වලට.
ඒවා ඡන්ද ඍධිපාද, චිත්ත ඍධිපාද, විරිය ඍධිපාද, වීමසා ඍධිපාද කියා හතරක් තිබෙනවා. මේවා අතුරෙන් අඩුවශයෙන් එකක්වත් අනිවාර්යයෙන් ම ඇතිකරගත යුතු ම යි. මේවා ඍධිපාද ධර්ම වීමට නම්, ‘කවර බාධකයක් ආවත්, මොන-මොන පීඩා ආවත්, ඒ සෑම එකක්ම මැඩගෙන මම බලාපොරොත්තුවන දෙය ලබාගෙන මිස නවතින්නේ නැහැ, නො වරදවාම ඒ ප්‍රාර්ථනය ඉෂ්ට වන තෙක් ම මම මේ භාවනාව කරන එක කරනවා ම යි’ ආදී වශයෙන් ඉතා දැඩි සේ, බහානොතබන ලද ඡන්ද ආදී ඍද්ධිපාද ධර්මයන් ඇතිකර ගන්නට ඕනෑ. එහෙම නැතිව එක පාරට ම ඡන්දයක්, සිතක්, වීර්යයක්, ප්‍රඥාවක් ඇති වූ පමණින් ඒවා ඍද්ධිපාද වන්නේ නැහැ.
ඡන්ද ඍද්ධිපාද : ඡන්ද කියන්නේ තමන් ප්‍රාර්ථනා කරන, බලාපොරොත්තු වන ධ්‍යාන, සෝවාන් ආදී මාර්ග ඵල, හා නිවන කොහොම හරි ලබා ගැනීමට ඇති කැමත්තට.
චිත්ත ඍද්ධිපාද : ධ්‍යාන මාරගඵල නිර්වාණය අත්දැකීමට ඇතිකර ගත යුතු බලවත් සිතක් ඇතිකර ගැනීමට යි චිත්ත කියා කියන්නේ.
විරිය ඍද්ධිපාද : ඍද්ධිපාද ධර්මයක් සේ ඇතිකර ගත යුතු වීර්යයක් නිවන් දැකීමට අනිවාර්යයෙන් ම තිබිය යුතු ම යි.
වීමංසා ඍද්ධිපාද : වීමංසා කියන්නේ ප්‍රඥාවට; සසරේ විඳින ලද දුකත්, සසරෙහි රැඳී සිටීමේ ඇති භයානකකමත්, නිවන් අවබෝධ කිරීමේ ඇති වටිනාකමත් ආදී කරුණු නුවණින් අවබෝධවීම නිසා ඇතිවන ප්‍රඥාවට.
පඤ්චින්ද්‍රිය : ශ්‍රද්ධා-විරිය- සති- සමාධි-ප්‍රඥා කියා ඉන්ද්‍රිය ධර්ම 5ක් තිබෙනවා. මෙම ඉන්ද්‍රිය 5 සම්පූර්ණයෙන් ම දියුණු කළහොත් රහත් විය හැකි බවත්, ඊට වඩා අඩුවෙන් දියුණු කළොත් අනාගාමී විය හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළොත් සකදාගාමී විය හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළහොත් සෝවන් වීමටත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළොත් ධම්මනුසාරී කෙනකු වීමට හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළ කෙනකුට සද්ධානුසාරී පුද්ගලයකු විය හැකි බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා. එම නිසා මෙම ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීමේ ඇති වටිනාකම තේරුම් ගන්න.
අනෙක් අයට වඩා අධිපති බවක්, ඉසුරු බවක් යම් ස්ථානයක අධිපතියෙක් උසුලනවා වගේ, වෙනත් කරුණු අභිබවා ශ්‍රද්ධා ආදී ධර්ම අධිපති බවක් උසුලන නිසයි ඉන්ද්‍රිය කියන්නේ.
උදාහරණ වශයෙන් ශ්‍රද්ධාව විනාශ වී යන කරුණු එන අවස්ථාවක හරි ශ්‍රද්ධාව නො සැලී පවතිනවා නම් ඒක ඉන්ද්‍රිය ධර්මයක්. ශාරීරික අසනීපගති හරි, වෙනත් නොයෙකුත් කරුණු නිසා හරි ශරීරයේ වීර්යය නැතිවී ගියත්, සිතේ වීර්යය පවතිනවා නම් ඒකත් ඉන්ද්‍රිය ධර්මයක්. සම්මා සතිය නැතිවී යන රාගය තරහව ආදී කෙලෙස් පැනනගින වේලවක වුණත් ඒ ක්ලේශ යටකරගෙන සතිය සිහිවී කෙලෙස් වලින් සිත මුදවා ගෙන සම්මා සතියෙන් කටයුතු කරන්නට හැකි නම්, ඒ වගේම සමාධිය පවත්වා ගෙන යා නො හැකි ශබ්ද වලින් පිරුණු විශාල ජනකායක් මැද හරි සමාධියෙන් ඉන්නට පුළුවන් නම් ඒවත් ඉන්ද්‍රිය ධර්ම. ඇසුරු කිරීමට ලැබෙන්නේ ලෞකික දේ වලම පැටලී සිටින, ප්‍රඥාව නැතිවී යන දේම කියන අය මධ්‍යයේ වුණත් විදර්ශනාමය ප්‍රඥාවකින් සිටිය හැකි නම් එයත් ඉන්ද්‍රිය ධර්මයක්.
ශ්‍රද්ධාව : බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ දකිමින්, උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අදහා ගෙන, උන්වහන්සේ කෙරෙහි ඇතිකර ගත යුතු බලවත් ශ්‍රද්ධාවක් නිවන් දැකීමට බලාපොරොත්තු වන කෙනකු විසින් ඇතිකර ගත යුතු ම යි. ධර්මයේ පවත්නා ‘මේ ජීවිතයේදීම අත්දැකිය හැකි සාන්දිට්ඨික’ ආදී ගුණ දකිමින් ධර්මය කෙරෙහි ඇති කර ගනු ලබන ශ්‍රද්ධාවත්, නිර්වාණය අවබෝධ කර ගත් සංඝයා ළඟ පවත්නා සුපටිපන්න ආදී ගුණ දකිමින් සංඝයා කෙරෙහි ඇති කර ගත යුතු ශ්‍රද්ධාවත් තිබීම නිවන අත්දැකීමට අවශ්‍ය දෙයක්.
විර්යය: ආර්ය අෂ්ට්ඨාංගික මාර්ගයේ සම්මා වායාම අංගයේ දක්වා ඇති සතර ආකාරයෙන් ඇතිකර ගත යුතු වීර්යයක් නිවන් දැකීමට අනිවාර්යයෙන්ම තිබිය යුතු යි.
සතිය : සතින්ද්‍රිය කුමක් ද කියා විමසා, බුදුරජාණන් වහන්සේ එය විස්තර කර ඇත්තේ ” බොහෝ ඈත සිදුවූ දෙයක් හෝ කරන ලද හෝ කියන ලද දෙයක් සිහි කිරීමට හැකි බලවත් සිහියකින් යුතුව, කායානුපස්සනා ආදී සතර සතිපට්ඨාන ධර්ම දියුණු කරමින් වාසය කරයි” කියල යි. මේ විධියට සතින්ද්‍රිය දියුණු කිරීමට උත්සාහ ගැනීම කළ හැකි නම් ඒක ඉතා හොඳ යි. එහෙම කරන්නට නො හැකි නම් කලින් සම්මා සතිය දියුණු කිරීමට කියා ඇති ආකාරයෙන් හරි සතිය දියුණු කර ගැනීමට උත්සාහ ගන්න.
සමාධිය : සියල්ල අතහැර ලබන නිර්වාණය අරමුණු කොට, සිතේ එකඟබවක් සමාධියක් ඇතිකරගෙන, 1-2-3-4 රූපාවචර ධ්‍යාන වලට සමවැදී සිටීම සමාධින්ද්‍රිය බව යි බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ. කවර ආකාරයකින් හරි සමාධිය දියුණු කර ගැනීම නිවන් දැකීමට ඉතාමත්ම අවශ්‍ය දෙයක්.
ප්‍රඥාව : පංචස්කන්ධයන් ගේ ඇතිවීම නැතිවීම අත්දැකිය හැකි, නිවනට පත්කරනු ලබන ප්‍රඥාවකින් යුතුව, දුක්ඛ-සමුදය-නිරෝධ-මාර්ග කියන චතුරාර්ය සත්‍යයන් යථා පරිදි අත්දකින ප්‍රඥාව පඤ්ඤින්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.. ඒ විධියට අපි පඤ්ඤින්ද්‍රිය දියුණු කර ගත යුතු ම යි නිවන අත්දැකීමට.
පඤ්චබල : ශ්‍රද්ධා -විරිය-සති-සමාධි-ප්‍රඥා කියන කොටස් 5 ම බල ධර්ම වශයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවන් තිබෙනවා. හරියට බලවන්තයෙක් දුබලයන් යටකරගෙන නැගී සිටිනවා වගේ. අශ්‍රද්ධාව මතුවී එන බොහෝ කරුණු මධ්‍යයේ වුණත්, ශ්‍රද්ධාව නො සැලී තිබෙනවා නම් ඒක ශ්‍රද්ධා බලයක්. මේ වගේම අනෙත් බල ධර්ම 4ත් තේරුම් ගන්න.
සත්ත බොජ්ඣඞ්ග හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය : මීට කලින් මේවා විස්තර කර තිබෙන නිසා නැවත ඒ ගැන විස්තරයක් අවශ්‍ය වන්නේ නැහැ.
මේ දක්වා කීවේ නිවන් දැකීමට දියුණු කර ගත යුතු ත්‍රිශික්‍ෂාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම කියන කරුණු පිළිබඳව කෙටි විස්තරයක් පමණ යි.
බුදුසරණ (ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 12 වනදා සෙනසුරාදා)
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..