අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..
සත්ත බොජ්ඣංග භාවනාව :
1. සති සම්බොජ්ඣංගය – සති සම්බොජ්ඣංගය කියන්නේ ආර්ය අෂ්ඨංගික මාර්ගයේ දැක්වූ සම්මා සතියම යි.
2. ධම්මවිචය සම්බොජ්ඣංගය – නිවන් දැකීමට අවශ්‍ය ධර්ම කරුණු නුවණින් විමස-විමසා මැනවින් දැකීම. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට මෙය සම්මා දිට්ඨිය යි.
3. විරිය සම්බොජ්ඣංගය – ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දැක්වෙන සම්මා වායාමය යි මෙයින් දැක්වෙන්නේ.
4. පීති සම්බොජ්ඣංගය – හාවනාවේ දී ශරීරය පිනා යන බව හා සිත සතුටට පත්වීම්. ප්‍රීතිය නිසා සතුට ඇතිවන බවත්, සතුට නිසා කයේ සහ සිතේ සැහැල්ලු බවක් (පස්සද්ධිය) ඇතිවන බවත්, එයින් සිත සමාධියට පත්වන බවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙනවා.
5. පස්සද්ධි සම්බොජ්ඣංගය – භාවනා කරන විට කයේ සහ සිතේ දැඩි ඕලාරික බව නැති වී සැහැල්ලු වී සන්සිඳී යන බව.
6. සමාධි සම්බොජ්ඣංගය – සිත සමාධියට පත්වීම. (පීති, පස්සද්ධි, සමාධි කියන බොජ්ඣඞ්ග 3 ම ආර්ය අෂ්ට්ඨාංගික මාර්ගයට අනුව බලන විට සම්මා සමාධියට යි අයත් වන්නේ.)
7. උපෙක්ඛා සම්බොජ්ඣංගය – තමාගේ අනුන්ගේ සහ සියළුම ජීවී අජීවී සංස්කාර කෙරෙහි ඇලෙන්නේත් නැතිව, ගැටෙන්නේත් නැතිව සිත මැදහත්ව පැවැතීම. මෙය ඉතා ප්‍රකටව දැනෙන්නේ විදර්ශනා භාවනා කරන විට සංස්කාර උපෙක්ඛා ඥාන අවස්ථාවේ දි යි. මෙය දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍යයට වැටෙන නිසා , ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට යි මෙය අයත් වන්නේ.
බොජ්ඣඞ්ග ධර්ම භාවනා කරන විට, ඒ ඒ බොජ්ඣඞ්ග ධර්මයන් තමාගේ සිත තුළ ඇති විට ඇති බවත්, නැති විට නැති බවත්, නූපන් බොජ්ඣඞ්ග ධර්ම ඇති වූ විට ඒ බවත්, යම් කලෙක උපන් බොජ්ඣඞ්ග ධර්ම භාවනාවෙන් සර්ව සම්පූර්ණත්වයට පත් වූ විට ඒ බවත් දැකිය යුතු වනවා.
චතුරාර්ය සත්‍ය භාවනාව : චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන්ට ම ප්‍රත්‍යක්‍ෂ වන සේ දකිමින් කරනු ලබන භාවනාව යි මෙයින් අදහස් කරන්නේ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය ගැන පොත්පත් කියවා, ධර්ම දේශනා අසලා, මතක තබාගෙන තිබුණත්, අන් අයට ඒ පිළිබඳ කරුණු කියා දෙන්නට හැකියාව තිබුණත්, ප්‍රත්‍යක්‍ෂ ලෙස මෙම සත්‍යයන් නො දන්නා කෙනකුට නිවන් අවබෝධ කරන්නට බැහැ.
අතීත සංසාරයේ කියන්නට බැරි තරම් කල්ප ගණන් අපි සසර අනන්තවත් දුක් වින්දා. මෙවැනි කුඩා ලිපියකින් ඒවා කෙටියෙන් හෝ දැක්විමට බැහැ. ඒ දුක ගැන කල්පනා කර බලමින් තරමක හෝ අවබෝධයක් ඒ ගැන ඇතිකර ගන්න. මේ දක්වා මේ භවයේ දී කොච්චර දුක් අපි අත්දැකලා තිබෙනවා ද , මැරෙන තෙක් තව කොච්චර නම් ජරා ව්‍යාධි මරන දුක් විඳින්නට වෙයි ද, සෝවාන්වත් නො වුණොත් අනාගත භව වල දී තව කොච්චර නම් දුකකට පත් වෙනව ද කියලා තරමක හෝ හැඟීමක්වත් ඇතිකර ගන්නට බලන්න. මේ පංචස්කන්ධයන්ගේ පැවතීමයි දුක,මේක ම යි දුක්ඛ සත්‍යය , මේක ම යි දුක් ලබදෙන දුක්ඛ සමුදය සත්‍යය, මේක තිබෙන තාක් කල් දුකෙන් ගැළවෙන්නට බැහැ, සසර එක මොහොතක්වත් රැඳී නො සිටිය යුතු යි කියන අවබෝධය ඇතිවනවා ඒක නිවන් දැකීමට ඉතාමත් ම ප්‍රයෝජනවත් වෙනවා.
දුක්ඛ සමුදය සත්‍යය එදිනෙදා ජීවිතයේ දී ක්‍රියාත්මක වෙන ආකාරය දකින්න. ඇස කණ නාසය ආදී ඉන්ද්‍රියයන්ට රූප ශබ්ද ආදී අරමුණු ලැබෙන විට ඒ හමුවෙන අරමුණු කෙරෙහි ඇලෙමින්, ගැටෙමින්, ඊර්‍ෂ්‍යා කරමින්, විවිධ අකුශල විතර්ක ඇතිකර ගනිමින්, පාපයන් රැස් කර ගනිමින් කොච්චර නම් දුක් ලබා දෙන දෙයක් ද සිදුකරන්නේ. ඒ වගේම තමයි මෛත්‍රි, කරුණා ආදී කුශලුත්. ඒවාත් නැවත නැවත ඉපැදීමට හේතු වන කරුණු. ඒ කුශල් දුක්ඛ සමුදයක් බව තේරුම් නො ගත්තත් අකුශල විතර්ක වලින්වත් වළකින්නට බලන්න. ජීවිතය පුරාම සිදුවන්නේ දුක්ඛ සමුදය රැස්වීමක් බව තේරෙනවා නම් ඒ අවබොධය නිවන් දැකීමට බෙහෙවින් ඉවහල් වනවා.
දුක්ඛ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ ලෙස දැකිය හැකි වන්නේ සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ වීමෙන් පමණ යි.
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය තමයි ත්‍රිශික්‍ෂාව, ආර්ය අෂ්ට්ඨාංගික මාර්ගය, සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම කියන්නේ. ඒවා අතුරෙන් තමන්ට වැඩීමට හැකි කවර හරි කොටසක් ප්‍රගුණ කරන්නට මහන්සි ගන්නට ඕනෑ.
ධම්මානුපස්සනාවේ දැක්වෙන සෑම භාවනා කොටසක්ම කරන විට නීවරණ-පංචස්කන්ධ- ආයතන-බොජ්ඣංග-ආර්ය සත්‍යය ධර්ම ආදී වශයෙන් දක්වන සෑම එකක්ම පංචස්කන්ධයේම පැවැත්මක් හැර වෙන දෙයක් නො වන බව දැකීම නිවන් දැකීමට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනවා.
නිවන් දැකීමට නම්, මේ කියන ලද නීවරණ, පංචස්කන්ධ, ආයතන, සත්ත බොජ්ඣඞ්ග, චතුරාර්ය සත්‍ය ආදී ධර්ම කරුණු හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම බව ධම්මානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .
ඒ වගේම, පංචස්කන් ධයේ (1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම – නැතිවිම කියන කොටස් දෙකම දැකීමත් (2) පංචස්කන්ධයේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්, (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.
පංචස්කන්ධය නිරන්තරයෙන්ම අනිත්‍යයට යන හැටිත්, අනිත්‍යයට යාම නිසාම නිරුද්ධ වී යන හැටිත්, නිරුද්ධ වී ගිය කිසිම දෙයක ආත්මයක්, මමෙක්, මගේ බවක් ඉතිරි නො වන හැටිත් ප්‍රත්‍යක්‍ෂ ලෙසම භාවනාවෙන් පෙනී ගියහොත් මේ ජීවිතයේදීම නිවන අත්දකින්නට පුළුවන්.
මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..