නිවන් දැකීමට නම් (4 කොටස)

15542440_568175233378429_6793840426914546140_n

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..

සතර සතිපට්ඨානය
නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනෙකුට නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා.

සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම

සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් දැන් අපි ඉතා කෙටියෙන් හඳුනා ගන්නට බලමු. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම කියන්නේ නිවන් ලබා දීමට හේතුවන කරුණු 37කට.

එම 37 තුළ–
4 බැගින් වූ කොටස් 3ක් තිබෙනවා- සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන, සතර ඍද්ධිපාද කියලා. (12)
5 බැගින් වූ කොටස් 2ක් තිබෙනවා- පංචඉන්ද්‍රිය සහ පංචබල කියලා. (10)
කරුණු 7ක් අන්තර්ගත කොටසක් තිබෙනවා. සත්ත බොජ්ඣංග (7)
තව කරුණු 8ක් තිබෙනවා, ඒ තමයි කලින් කියූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය (8)

සතර සතිපට්ඨාන : නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනකුට නැවත-නැවත ප්‍රගුණ කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ.
කායානුපස්සනා-වේදනානුපස්සනා- චිත්තානුපස්සනා-ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට සතර සතිපට්ඨාන ධර්ම වශයෙන් දක්වන්නේ සම්මා සතිය යි.

සතිපට්ඨාන සහ සතිපට්ඨාන-භාවනාව කියා කොටස් දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරමින් ඒ දෙක උන්වහන්සේ විස්තර කර ඇත්තේ මේ විදිියට ;
“සතිපට්ඨාන ධර්ම කියන්නේ කායානුපස්සනා-වේදනානුපස්සනා- චිත්තානුපස්සනා-ධම්මානුපස්සනා කියන කොටස් හතරට.
සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒ ඒ සතිපට්ඨාන ධර්මයන් ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම – නැතිවිම කියන කොටස් දෙකම දැකීමත් (2) කාය-වේදනා-චිත්ත-ධර්ම කියන ධර්මයන් ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්, (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කිරීමට. මෙ ය සතිපට්ඨාන භාවනා සෑම කොටසක් අවසානයේ දී ම බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙනවා. එම නිසා, කායානුපස්සනාවේ දැක්වෙන සෑම කොටසක් අවසානයේදීත්, වේදනානුපස්සනාව අවසානයේදීත්, චිත්තානුපස්සනාව අවසානයේදීත්, ධම්මානුපස්සනාවේ එකිනෙක සෑම කොටසක් අවසානයේදීත් එය කළ යුතු යි.

කායානුපස්සනාවට භාවනා ක්‍රම 14ක් ඇතුළත්. (1) ආනාපාන සති භාවනාව (2) සක්මන් භාවනාව වැනි ඉරියව් පවත්වාගෙන යාමේ භාවනාව (3) සිහිනුවණින් යුතුව කටයුතු කිරීමේ භාවනාව (4) අසුභ භාවනාව (5) පඨවි-ආපෝ-තේජෝ-වායෝ කියන ධාතු කොටස් 4 අරමුණු කර ගනිමින් කරනු ලබන ධාතුමනසිකාර භාවනාව සහ (6) – (14) මැරුණාට පසුව ශරීරයට සිදුවන අවස්ථා 9ක් අරමුණු කරමින් කරනු ලබන නවසීවථික භාවනාව කියන්නේ ඒ 14ට.

මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේවා හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .
ඒ වගේම, කයේ (1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම – නැතිවිම කියන කොටස් දෙකම දැකීමත් (2) කයේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්, (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.

වේදනානුපස්සනාවට අන්තර්ගත වන්නේ සැප, දුක්, මැදහත් (උපෙක්ඛා) කියන වේදනා 3 ත් , එම වේදනාවන් සාමිස සුඛ වේදනා සහ නිරාමිස සුඛ වේදනා , සාමිස දුක්ඛ වේදනා සහ නිරාමිස දුක්ඛ වේදනා, සාමිස උපෙක්ඛා වේදනා සහ නිරාමිස උපෙක්ඛා වේදනා කියන වේදනා කොටස් 6 ත්. මෙම වේදනාවන් අරමුණු කරමින් කරනු ලබන භාවනාව තමයි වේදනානුපස්සනාව.
සාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය හා මනස කියන ඉන්ද්‍රියයන්ට රූප ශබ්ද ආදී අරමුණු හමුවූ පසු පංචකාම වස්‍තූන් ඇසුරු කර ගෙන ඇතිවන වේදනාවන්ට. නිරාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ පංචකාම වස්‍තූ වලින් තොරව ඇතිවන වෙදනාවන්ට.
භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නො ලැබෙන විට, කවදා නම් ප්‍රථිඵලයක් ලැබේදැ යි සිතන විට, ධ්‍යාන සමවත්, ඵල සමවත් සුව විඳින විට මේ ආදී විවිධ අවස්ථාවන්හි දී ඇතිවන වේදනාවන් නිරාමිස වේදනාවන්ට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන්.
මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේ වේදනා හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .
ඒ වගේම, මේ ආකාර විවිධ වේදනාවන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම – නැතිවිම කියන කොටස් දෙකම දැකීමත් (2) වේදනාවන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්, (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.

චිත්තානුපස්සනාව කියන්නේ සිතේ ඇතිවිය හැකි 16 ආකාර විවිධ සිත් වර්ග දකිමින් කරනු ලබන භාවනාවට.
1-2-3-රාගයෙන් යුතු සිත්, ද්වේෂයෙන් යුතු සිත්, මෝහයෙන් යුතු සිත් (සරාගී සිත්, සදෝස සිත්, සමෝහ සිත්)

4-5-6 රාගය ප්‍රහීණ කළ සිත්, ද්වේෂය ප්‍රහීණ කළ සිත්, මෝහය ප්‍රහීණ කළ සිත් (වීතරාග-වීත දෝස-වීත මෝහ සිත්)
7. නිදිමතින්, ථීනමිද්ධයෙන් හැකිලී ගිය සිත් (සඞ්ඛිත්ත සිත්)
8. භාවනා අරමුණින් පිට යන සිත් (වික්ඛිත්ත සිත්)
9. ධ්‍යාන සිත් (මහග්ගත සිත්)
10 ධ්‍යාන වලට පත් නොවූ සිත් (අමහග්ගත සිත්)
11 සෝවාන්, සකදාගාමී, අනාගාමී මාර්ග හා එම ඵල සිත් (සඋත්තර සිත්). පොත්වල දැක්වෙන්නේ සඋත්තර සිත් කියන්නේ අරූපාවචර ධ්‍යාන සිත් බව යි.
12 අනුත්තර සිත් (රහත් මාර්ග හා රහත් ඵල සිත්)
13 ධ්‍යාන වලට පෙර ඇතිවන, සිත නො විසිරී පවත්නා උපචාර සමාධි සිත් (සමාහිත සිත්)
14 සමාහිත බවක් නැති අසමාහිත සිත්
15 වෙනත් සිතුවිලි නො සිතන විට රහත් වූ අයට ඇතිවන විමුක්ත සිත් (විමුත්ත සිත්)
16 විමුක්ත භාවයට පත් නොවූ අවිමුත්ත සිත්
නිවන් දැකීමට නම්, මේ සිතුවිලි හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම බව චිත්තානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .
ඒ වගේම, මේ ආකාර විවිධ චිත්ත ධර්මයන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම – නැතිවිම කියන කොටස් දෙකම දැකීමත් (2) චිත්ත ධර්මයන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්, (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්, (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්, (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්, (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගන්නට ඕනෑ..

ධම්මානුපස්සනා
ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම 5ක් තිබෙනවා.
1 කාමච්ඡන් ද -ව්‍යාපාද-ථීනමිද්ධ-උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන නීවරණ ධර්ම අරමුණු කර ගෙන කරනු ලබන භාවනාව
2 රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පංචස්කන් ධ පිළිබඳ භාවනාව
3 ඇස කන නාසය දිව ශරීරය හා මනස කියන ඉන්ද්‍රියයන් ද, ඒවාට අරමුණු වන රූප ශබ්ද ආදී අරමුණු ද නිසා ඇතිවන සංයෝජන ධර්මයන් ද අළලා කරන භාවනාව
4 සත්ත බොජ්ඣංග භාවනාව
5 දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය සහ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍යය යන චතුරාර්ය සත්‍යයන් පිළිබඳ භාවනාව

නීවරණ භාවනාව : කාමච්ඡන්දය කියා කියන්නේ රූප-ශබ්ද-ගන්ධ රස-ඵොට්ඨබ්බ (කායික ස්පර්ශයන්ට අරමුණු වන දේවල්) කියන අරමුණු වලටත්, ඒවා නිසා ඇතිවන ආශ්වාදයන් විඳීමටත් ඇති කැමැත්තට. තමාගේ සිතේ කාමච්ඡන්දය ඇතිනම් ඒ බවත්, කාමච්ඡන්දය සිතේ නැත්නම් ඒ බවත්, නූපන් කාමච්ඡන්දය ඉපදුණු කල ඒ බවත්, උපන් කාමච්ඡන්දය නැතිවූ විට ඒ බවත්, නැතිවූ කාමච්ඡන්දය නැවත නූපදින ආකාරයෙන් ම නිරුද්ධ වූ කල ඒ බවත් දැන ගැනීම කියන ඒ කරුණුවල යථා තත්ත්වය අවබෝධ කර ගනිමින් භාවනා කිරීම යි මෙයින් අදහස් කරන්නේ. මේවා මොනවාද, මේවා ඇතිවන හේතු මොනවාද , මේවා නිසා ඇතිවන ආදීනව මොනවාද, මේවා නිරුද්ධ කරන්නේ කොහොම ද, මේවා අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, දුක්ඛ සත්‍යක් හා සමුදය සත්‍යයක් බව, මේවා කෙරෙහි කලකිරිය යුතු බව, නො ඇලිය යුතු බව ආදී කරුණු තමා විසින්ම දැක අවබෝධ කර ගැනීම යි ‘යථා පරිදි දකිනවා’ කියන්නේ.

ව්‍යාපාදය: තරහව, ක්‍රෝධය‍ , නුරුස්නා ගතිය, අමනාපය, නො සතුට ආදිය ව්‍යාපාද නීවරණයට ඇතුළත්. තමාගේ සිතේ ව්‍යාපාදය ඇතිනම් ඒ බවත්, සිතේ ව්‍යාපාදය නැත්නම් ඒ බවත්, නූපන් ව්‍යාපාදය ඉපදුණු කල ඒ බවත්, උපන් ව්‍යාපාදය නැතිවූ විට ඒ බවත්, නැතිවූ ව්‍යාපාදය නැවත නූපදින ආකාරයෙන් ම නිරුද්ධ වූ කල ඒ බවත් දැන ගැනීම පිළිබඳව ඒ ඒ කරුණුවල යථා තත්ත්වය අවබෝධ කර ගනිමින් භාවනා කිරීම යි මෙයින් අදහස් කරන්නේ.

ථීන මිද්ධය: ථීන මිද්ධය කියන්නේ සිතේ මැලි බව, අලස බව, නිදිමත ගතිය ආදියට. මේවා සිතේ ඇති බව , නැති බව, ඇතිවූ විට ඒ බව, ඉපදුණු ථීනමිද්ධය නැතිවූ විට ඒ බව, නැති වූ ථීනමිද්ධය නැවත නූපදින ආකාරයෙන් ම නිරුද්ධ වූ විට ඒ බව යථා පරිදි දකිමින් හා අවබෝධ කරමින් භාවනා කළ යුතු වනවා.

උද්ධච්ච කුක්කුච්ච: සිත නොයෙක් අරමුණු කරා දුවමින් විසිරෙන ගතිය උද්ධච්චය යි, තමා විසින් මේ දක්වා කර ඇති අකුශලශ හා කර නො මැති කුශල් ගැන සිත-සිතා පසුතැවීම කුක්කුච්චය යි. මේවා සිතේ ඇති විට ඒ බවත්, නැති විට ඒ බවත්, සිතේ නො තිබුණු මේවා ඇති වූ විට ඒ බවත්, ඇති වූ මේවා නැති වී ගිය විට ඒ බවත්, නැති වූ මේවා නැවත නූපදින ලෙසම නිරුද්ධ වී ගිය විට ඒ බවත් යථා පරිදි දැකීම මින් අදහස් කරනු ලබන භාවනාව යි.

විචිකිච්ඡා : බුද්ධ, ධර්ම, සංඝ ත්‍රිවිධ රත්නය, පෙර පැවැති භව, පසුව ඇතිවන භව, පෙර සහ පසු භව, (සම්මුති වශයෙන් භව කියා කියන වචනයට අප කියන්නේ පෙර ආත්මය ආදී වශයෙන් ආත්මය කියලා.) පටිච්චසමුප්පාද ධර්ම, සහ ශීල-සමාධි-ප්‍රඥා කියන ත්‍රිශික්‍ෂාව ගැන ඇතිවන සැක 8මෙයට ඇතුළත්. මෙවැනි සැක කිසිදා නැවත නූපදින ලෙස සම්පූර්ණයෙන් ම දුරුවන්නේ සෝවාන් වූවාට පසුව පමණ යි. මේවා ගැනත් ඇති බව , නැති බව ආදී කරුණු කලින් නීවරණ වලට කියා ඇති කරුණු ආකාරයෙන් ම අවබෝධ කර ගත යුතු වනවා.

පංචස්කන්ධ භාවනාව : රූප-වේදනා-සංඥා-සංස්කාර- විඥාන කියන පංචස්කන්ධ මොනවාදැයි ඒවායේ නියම යථා තත්ත්වය දැකීමත්, ඒ ස්කන්ධ ඇතිවීමේ හේතු දැකීමත්, ඒ ස්කන්ධ නිරුද්ධ වී යාම දැකීමත් පංචස්කන්ධ භාවනාවට ඇතුළත්.

ආයතන භාවනාව : ඇසත්- ඇසට අරමුණු වන රූපත්, කණත්- කණට අරමුණු වන ශබ්දත්, නාසයත්- නාසයට අරමුණු වන ගන්ධයත්, දිවත්- දිවට අරමුණු වන රසත්, ශරීරයත්- ශරීරයට අරමුණු වන ස්පර්ශයනුත්, මනසත්- මනසට අරමුණු වන දේවලුත් (ධම්මාරම්මණත්) යථා පරිදි දැකීමත්, මේවා නිසා යම් සංයෝජන ධර්මයක් ඇතිවූයේ නම් (සංයෝජන කියන්නේ සසරෙහි බැඳ තැබීමට හේතුවන කාමච්ඡන්ද ව්‍යාපාද ආදියට.) ඒ බවත්, උපන් සංයෝජන නැතිවූ විට ඒ බවත්, නැති වූ සංයෝජන නැවත ඇති නො වන ආකාරයෙන් ම නැති වූ විට ඒ බවත් යථා පරිදි දකිමින් හා අවබෝධ කරමින් කරනු ලබන භාවනාව යි මින් අදහස් කරනු ලබන්නේ.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.