“ඒහි ඵස්සික” ගුණය – 7 කොටස

15622488_568563413339611_4936859852595177669_n

ඊට අමතරව බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළා, මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය ආදී චේතෝ විමුක්තීන්. මේ චේතෝ විමුක්තීන් හරියට අවබෝධ කරගත්තාට පසුව ඒවායේ තියන ශාන්තිය, නිවීම, ප්‍රණීත බාවය දකින්නටය කියලා පෙන්නුම් කරන්නටත් පුළුවන්. ඒ වගේම බුදු රජාණන් වහන්සේ විවිධ සූත්‍ර වල, විවිධ ආකාරයෙන් මේ ධර්මය අත්දකින ආකාර පෙන්නුම් කොට වඳාරළා තියෙනවා. ඒවා ඇත්තද නැත්තද කියලා දකින්නට පුළුවන්; ප්‍රඥාව තියන, විදර්ශනා භාවනාව දියුණු කරලා තියන කෙනෙකුට පමණක්.

එතකොට මේ ආකාරයෙන් මේ ධර්මයේ තියනවා ඒහි ඵස්සික ගුණයක්; මෙහි ඇවිල්ලා බලන්නටය කියලා කියන්නට පුළුවන් ගුණයක්.
මේ ඒහි ඵස්සික ගුණයෙන් යුතු ධර්මයන් අත්දැකිය හැකි ආකාරය බුදු හාමුදුරුවෝ ඉතා මැනවින් පෙන්නුම් කොට වඳාළා. ඒක ධර්මයේ තියන ස්වාක්ඛාත ගුණයක්. එහි කිසිම අඩුවක් නැහැ, කිසිම වැඩි බාවයක් නැහැ. මේක වැඩියි, මේක නුසුදුසුයි කියලා අත් හරින්නට දෙයක් ඒ ධර්මයේ නැහැ. ඒක අර්ථ සහිතයි. සම්පූර්ණයෙන්ම ඒකෙන් ප්‍රතිඵල ගෙනදෙන එකක්. ස්වක්ඛාත වූ ධර්මයක්. මේ ධර්මයේ තියන ස්වාක්ඛාත ගුණය දකින්න. බොරුද ඇත්තද කියලා අපට කියන්නට පුළුවන්.

ඒ වගේම සාන්දිට්ඨික ගුණයක් ධර්මයේ තියනවා. සාන්දිට්ඨික කියන්නේ මේ ජීවිතයේදීම අත්දකින ගුණයක්. කලින් රාගයෙන් සිත දැවි දැවි තිබුණා; බලන්න රාගය නැතිවෙලා, සිත සන්සුන් වෙලා, නිවිලා සිත ශාන්ත වෙලා තියන ආකාරය. කලින් ද්වේෂයෙන් සිත දැවුණා, බලන්න මගේ සිත තුළ ද්වේෂය නැතිවී ගිය ආකාරය. නැතිවී ගියේ නැතත් අඩු වශයෙන් යටපත් වී ගිය ආකාරය දකින්න. මෝහයෙන් මා මුලා වෙලා හිටියා. බලන්න මෝහය නැතිවී ගිය ආකාරය. මේ විදියට ධර්මයේ තියනවා සාන්දිට්ඨික ගුණයක්; මේ ජීවිතයේම අත්දකින්නට පුළුවන් ගුණයක්. අර කලින් කියපු ඒහි ඵස්සික ගුණ ඔක්කොම මේ ජීවිතයේදි අත්දකින්නට පුළුවන් එකක්, සාන්දිට්ඨික ධර්මයක්, බලන්න මේ සාන්දිට්ඨික ගුණය ඇත්තද නැත්තද කියලා.

අකාලික ගුණයක් ධර්මයේ තියනවා. වෙන ධර්ම වල ගුණ තියෙන්නේ මා කලින් කිව්වා මරණෙන් පස්සේ දේවල් කියලා. යටත් පිරිසෙන් සෝවාන් මාර්ගයවත් යම්කිසි කෙනෙක් උපදවා ගත්තා නම්, ඒ සෝවාන් ඵල සිත ඒ ජීවිතේ මරණයට පෙර ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා. එකෙන් ලැබෙන ප්‍රතිඵලය,ඵලය, ඒ ජීවිතයේම ඔහු අත්දකිනවා; කල් යන්නේ නෑ. කල්ප ගණන් කල් යන්නෑ; ලබන ආත්මයට කල් යන්නේ නෑ. සකදාගාමි සිත ඇතිකරගත්තත් එහෙමයි. ඒ වගේම අනාගාමි සිත ඇති කරගත්තත් එහෙමයි. අරහත් සිත ඇති කරගත්තත් එහෙමයි. ඒවා කල් නොගොස් පල දෙන දේවල්.

සිත තුළ තියන ක්ලේශ ධර්ම සම්පූර්ණයෙන් සන්සිඳී ගියාට පසුව සිත තුළ තියන නිවීම සීතල වීම “සීතිභූතෝ නිබ්බුතෝ” ආදී වශයෙන් වඳාළ පාඨ තියනවා. සීතල බාවයට පත්වෙලා නිවිලා ගිය ආකාරය මේ ජීවිතයේදීම අත්දකින්නට පුළුවන් ගුණයක්.
එතකොට ඒ විදියට ඒ සාන්දිට්ඨික ගුණය තියනවා ධර්මය තුළ, ස්වාක්ඛාථ ගුණය ධර්මය තුළ තියනවා. ඒහි ඵස්සික ගුණය ධර්මය තුළ තියනවා. ඕපනයික ගුණයකුත් ධර්මයේ තියනවා. මේ ධර්මය අවබෝධ කරගත යුතුයි, කියන එකයි ඕපනයික කියන එකේ අදහස. මේ බලන්න මේ ධර්මය අවබෝධ කරගැනීමෙන් ඇතිවන ශාන්තිය; මේ බලන්න මේ ධර්මය අනුව පිළිපැඳීම තුළින් සංසාර දුක නැතිවෙලා නිවනට පත්වන ආකාරය; මේ නිවන ඒකාන්ත වශයෙන්ම ඇතිකරගත්තේ නැත්තම් සසර දුකට නැවත නැවත පත්වෙලා ජාති, ජරා දුක් විඳින්නට වෙනවා. මේ දුක නැති කරන්න වෙන මාර්ගයක්. අන්කිසිම මාර්ගයක් නෑ, මේකමයි මාර්ගය. මේ මාර්ගයේ ගමන් කරලා මේකෙන්ම මේ ධර්මය අවබෝධ කරගත යුතුයි කියන හැඟීම තියන කෙනෙක් තමයි මාර්ග ඵල ලැබීම සඳහා විදර්ශනා භාවනාවක නියැළෙන්නේ.

ඒ විදර්ශනා භාවනාවක නියැළුණාට පසුව උපරිම වශයෙන් රහත් ඵලයට පත්වුනා නම් එහෙම යම්කිසි කෙනෙක් ඔහුට පේනවා මෙතෙක් කල් සංසාරය පුරා මොන මොන ආගම් වල මොන මොන තත්ව වලට තමා සිත පත් කරගෙන සිටියත්, අහසින් යන්නට පුළුවන් තත්වයට සිත පත් කරගෙන සිටියත්, නැත්තම් රූප කය මෙහේ තියලා මනෝමය කයෙන් බ්‍රහ්ම ලෝක වලට යන්නට පුළුවන් කම තිබුණත්, මහා සෘෂිවරයෙක් වශයෙන් හිටියත් , නැත්තම් වෙන වෙන ආගම් වල කෙළවරටම පැමිණ ඒවා ඉගෙනගෙන හිටියත්, කවදාවත් දුක කෙළවර කරන්නට පුළුවන්කම ලැබුන් නෑ. මේ මාර්ගයේ ගමන් කිරීමෙන්මයි සසර දුක සම්පූර්ණයෙන්ම නිම කරන්නට පුළුවන් වන්නේ. මේක උපනයනය කරගත යුතු ධර්මයක්. ඒක තමාගේ සිත තුළ ඇති කරගතයුතු ධර්මයක්. ඒ වගේම සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය ආදී තමාගේ සිත තුළ ඇති කරගත යුතු ධර්මයක්. ඒකත් ධර්මයේ තියන ඒහි ඵස්සික ගුණයක්. මේ බලන්න කියලා පෙන්නුම් කරන්නට පුළුවන්.

“පච්ඡත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී” තමාගේ නුවණින්, නුවණේ ප්‍රමාණයටයි මේ ධර්මය දතහැකි වන්නේ. ඒ ඒ පුද්ගලයාගේ ප්‍රඥාවේ මට්ටමට මේක දකින්නට පුළුවන්. ඔබට මෙච්චරයි මෙයින් එහා මේ කරුණු දකින්නට පුළුවන් ඔයිට වඩා ගැඹුරු ධර්ම අවබෝධ කළ හැකි අය සිටිනවා; ඊටත් වඩා ගැඹුරු ධර්ම අවබෝධ කරගත හැකි අය සිටිනවා; මේ විදියට තමාගේ නුවණේ ප්‍රමාණයට මට්ටමට අනුව මේ ධර්මය දකින්නට පුළුවන්. ඒක බොරුද ඇත්තද කියලා පෙන්නුම් කරන්නට පුළුවන්. ඒහි ඵස්සිකයි ඒ ගුණයත්.

මේ විදියට ඒ ධර්මයේ තියන එක ගුණයන් සිහිපත් කළත් ඒ සිහිපත් කිරීම තුළින් ඒ ධර්මය තුළ අන්තර්ගත වන සෙසු ගුණ සියල්ලම මතුවි මතුවී සිත තුළින් එනවා. මේවා ධම්මානුපස්සනා භාවනාවක්. ඒ විදියට ඒ ධම්මානුපස්සනා භාවනාව තුළින් හරියට අත්දැකීම් ලැබීමට නම් විදර්ශනා භාවනාව දියුණු කරලා තියෙන්නට ඕන. සමථ විදරශනා දියුණු වීමෙන් ලබපු ප්‍රතිඵල ලබා සිටින්නට ඕන . එවැනි කෙනෙකුට තමයි ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ භාවනාව හරියට අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ.

ඒ විදියට කටයුතු කරන කෙනෙකුට මේ ධර්මයේ තියන සත්‍යතාවය මොකක්ද කියලා පෙන්නුම් කරන්නට පුළුවන්. බුදු හාමුදුරුවෝ එක් අවස්ථාවකදී දක්වනවා, “මහණෙනි මෙම සංසාර දුකින් මිදීම සඳහා , නැති කිරීම සඳහා මම ධර්මයක් දේශනා කළා නම්, මාර්ගයක් ප්‍රතිපදාවක් පෙන්නුම් කළා නම්, ඒ මාර්ගය අනුගමනය කිරීම තුළින්, ඒ ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින් ඔබ කියන ඔය සසර දුක නිමකිරීමක් සිදුවන්නේ නැහැ කියලා කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට , ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට මේ ලෝකයේ කිසිම කෙනෙකුට හේතු සහිතව සාධාරණ සහිතව කටයුතු කරලා පෙන්නුම් කරන්නට බැහැ” කියන කරුණ බුදු හාමුදුරුවෝ පෙන්නුම් කොට වඳාළා. මේවා බුදු හාමුදුරුවන් තුළ තියන වේසාරද ඥාණයක්. මේ ධර්මයේ ඒ තරම් සාන්දිට්ඨික ගුණයක් තියෙනවා. ඒ තරම් ඒහි ඵස්සික ගුණයක් තියෙනවා.

බුදු රජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කරනවා, ” සනිදානං භික්ඛවේ ධම්මං දේසයිස්සාමි නෝ අනිදානං සප්පටිහාරියං ධම්මං දේසයිස්සාමි නෝ අප්පටිහාරියං..” ආදී වශයෙන් පාඨයක්. “මහණෙනි මම හේතු සහිතවමයි මේ ධර්මය දේශනා කරන්නේ. ඒවගේම ප්‍රාතිහාර්ය සහිතවමයි මේ ධර්මය දේශනා කරන්නේ. මේ හේතු සහිතවම ධර්මය දේශනා කරන විට, හේතු රහිතව ධර්මය දේශනා නොකරන විට, ඒ ධර්මය තුළින් මේ මේ විදියට ප්‍රාතිහාර්ය සහිත ප්‍රතිඵල ලබාදෙන මාර්ගයක් දේශනා කරනවිට; එසේ එවැනි ප්‍රාතිහාර්ය ලබා දෙන නොවන ආකාරයේ ධර්මයක් දේශනා නොකරන විට; ඔබලාට සුදුසුයි මේ ධර්මය ස්වාක්ඛාතයි කියලා පිළිගැනීමට. ඔබලාට සුදුසුයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කියලා දැනගැනීමට. ඔබලාට සුදුසුයි අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නය ඒකාන්තයෙන්ම සුපටිපන්නයි කියලා දැනගැනීමට” කියලා එහෙම ප්‍රකාශ කොට වඳාළ පාඨයක් තියෙනවා.
ඒ පාඨය විස්තර කරන කොට දස දහසක් ලෝක ධාතූන් කම්පා වුණා කියලා ඒ සූත්‍රයේ දැක්වෙනවා. මොකද ඒ බුද්ධ වචන දස දහසක් සක්වළට උසුලන්නට බැරුව ගියා.

ඒ විදියට මේ ධර්මයේ තියනවා පුදුම පුදුම ගුණයක්. ඒ ධර්මය යම්තාක් දුරට අත්දකින්නට පුළුවන් නම්, ඒ තාක් දුරට තමයි මේ ධර්මයේ තියන සත්‍යතාවය දකින්නට පුළුවන් වන්නේ. වෙනත් ආගම් වල වාගේ වෙනත් දුෂ්ඨි වල වාගේ දේවල් නෙවෙයි. මැණික් ගලක් පොළොවෙන් ගත්තාට පස්සේ ඒකේ කිසිම දීප්තියක් නැහැ. ඔපමට්ටම් කරලා, පොලිෂ් කරලා ඒ මැණික් ගල කප කපා කප කපා ඔපමට්ටම් කරන්න කරන්න තව තවත් දීප්තිමත්ව බැබළෙන්නා සේ මේ ධර්මය දෙසට නැවත නැවත යන්නට යන්නට බලන්නට බලන්නට මේ ධර්මය බැබළෙනවා තමාගේ සිත තුළ. ඒ ධර්මයේ තියන පරම ගම්භීරත්වය හරියට මහා සාගරයකට ඇතුල් වෙන පුද්ගලයෙක් වගේ. යන්නට යන්නට ගැඹුරුයි; යන්නට යන්නට මහා සාගරය පළල් වන්නා සේ මේ ධර්මය ඒ තරම්ම පළල්; ඒ තරම්ම ගැඹුරුයි; ඒ තරම්ම සත්‍යයයි කියලා දකින්නට පුළුවන්. මෙවැනි ධර්මයක් තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ.

ඒ ධර්මයේ එක් ගුණයක් ගැන තමයි අපි මේ කෙටියෙන් පකාශ කළේ. “ඒහි ඵස්සික” ගුණය පිළිබඳව. මේ ගැන දීර්ඝ විස්තරයක් කළා කියලා හිතන්නට එපා. මේ පිළිබඳ කළයුතු සෑම කරුණක්ම කීවා කියල සිතන්නටත් එපා. තව කිවයුතු කරුණු තිබෙනවා මේවාගේ දස දහස් ගුණයක්. අපට මේ ගුණයම ගැන කියනවානම් කියන්නට පුළුවන්, මානයෙන් ඉදිමිලා කියන කතාවක් නෙවෙයි, ඒහි ඵස්සික ගුණයේ තියන බැරෑරුම් බාවය පෙන්නුම් කීම සඳහා; පැය පහළොවක්, විස්සක්, විසිපහක් , තිහකට වැඩි කාලයක් වුණත් අපට මේ කරුණා අළලාම දේශනා පවත්වන්නට ඕන නම් පුළුවන්. ඒවා තේරුම් ගන්නට පුළුවන් මිනිසුන් සිටීද කියන එකයි ප්‍රශ්නය. මේ, මේ අයට තේරුම් ගැනීමට හැකිවන ආකාරයේ සරල ධර්ම කරුණු අන්තර්ගත වූ , ඒ පිළිබඳ සරල ධර්ම කරුණු අන්තර්ගත වූ දේශනාවකුයි ඉදිරිපත් කළේ.

මේ ධර්ම දේශනාව අසා සිටින විට මේ අයගේ සිත තුළ ධර්මය කෙරෙහි යම්කිසි ප්‍රසාදයක්, ශ්‍රද්ධාවක් ඇතිවුණා. ඒ ධර්මය ඒ විදියට හරියට දැක දැකා ඒ ධර්මයේ තියන ගුණ හරියට සිහිපත් කර කරා සිහිපත් කර කරා මේ ධර්මය ඇසුවා නම් එහිදී ධම්මානුපස්සනාවක් වැඩුණේ. මේ අවස්ථාවේදී මේ අයගේ සිත තුළ ක්ලේශ ධර්ම තාවකාලික වශයෙන් යටපත් වුණා. අකුසල ධම්ම තමාගේ සිත තුළ ජනිත වුන් නැහැ. කුසල පාශ්වික සිතිවිලි ධම්ම ජනිත වුණේ. මේ විදියට අති විශාල පුණ්‍ය ශක්තියක් මේ අයට මේ ධර්මය ශ්‍රවණය කරන කාලය තුළදී ඇතිවුණා. මේ කුසල ශක්තිය තුළින් මේ අයටත් මේ ධර්මයේ තියන ඒහි ඵස්සික ගුණය තමාම අත්දැකලා, කවදා හෝ දවසක , නිවනින් සැනසිලා ඒ තියන සත්‍යතාවය දකින්නට වාසනාව, ශක්තිය උදා වේවා කියලා ආශිංශනය කරමින් අපි මේ දේශනාව දැන් නිම කරනවා.

දෙවියන්ට අපි පින්දෙමු; “ආකාසට්ඨාට” කියන පාඨය කියමු. “ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තු සාසනං. ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තු දේසනං. ආකාසට්ඨාච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තු මං පරං තී”
ප්‍රාර්ථනය කරන්න; “ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සඨං සමාගමෝ හෝතු යාවනිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු, සබ්බ දුක්ඛා පමුජ්ජතූ”
මේ කළ කුසල් ශක්තියෙන් මේ අයටත් නිවනින් සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා !
“අභිවාදන සීලස්ස නිච්ඡං වද්දං පචායිනෝ, චත්තාරෝ ධම්මා වඩ්ඩන්තී, ආයු වණ්ණෝ සුඛං බලං , ආයුරා රෝග්‍ය සම්පත්තී, සබ්බ සම්පත් ඉමේවච, අතෝ නිබ්බාණ සම්පත්තී, ඉමිනා තේ සමිජ්ජතූ”
සුවපත් වේවා.. !!! නිවන් සුව ලැබේවා …!!!

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ දෙශනාවක් ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.