මේ විදියට කටයුතු කරන කෙනෙක් පළමුවෙන්ම සෝවාන් මාර්ගයවත් සාක්ෂාත් කළා නම් මේක බලන්න මේ සෝවාන් මාර්ග සිත ඇත්තද බොරුද කියලා; මේ බලන්න සෝවාන් ඵල සිත ඇත්තද නැත්තද කියලා; මේ බලන්න සෝවාන් මාර්ගයට මේ සෝවාන් ඵල සිතට අරමුණු වන නිවන; මේ බලන්න නිවන් සුවයේ ශාන්ත බාවය; නිවි යාම කොයිතරම් දුරට තිබෙනවද කියලා. මේ බලන්න සෝවාන් වන විට සක්කාය දිට්ඨිය ආත්මයක් ඇත කියන දෘෂ්ටිය සම්පූර්ණයෙන් ගැළවී යන ආකාරය. මේ බලන්න විචිකිච්ඡාව ගැළවී ගිය ආකාරය. මේ බලන්න සීලබ්බත පරාමාස ධර්මයන් ගැළවී ගිය ආකාරය කියලා අපට කියන්නට පුළුවන්. එතකොට ඒ අයගේ ප්‍රඥාව තියනවනම් ඒ අය භාවනාවක නියැළුණා නම් මේ ධර්මය අත්දකින විට එහි තියන ඒහි ඵස්සික ගුණය එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන් කම ලැබෙනවා.
ඒ වගේම යම්කිසි කෙනෙක් එයින් එහාට තවදුරටත් භාවනාව කරනවානම් සකදාගාමි මාර්ග ඵලයට සිත පත්වන විට; කාම රාග පටිඝ ධර්මයන් සම්පූර්ණයෙන්ම නැත්තට නැතිවෙන්නේ අනාගාමි මාර්ගයෙන්; කාම රාග පටිඝ ධර්මයන් තුනී වෙනවා සකදාගාමි වෙනකොට සියයට පණහක් හැටක්, හැත්තෑවක් පමණ නැතිවී යනවා. එතකොට ඒ කාම රාග පටිඝ ධර්මයන්ගේ ඕලාරික තත්වයන් නැතිවී ගිය ආකාරය මෙන්න බලන්නටය කියලා අපට පෙන්නුම් කරන්නට පුළුවන්. කාම රාගය නැතිවි ගියා සියයට පණහක්, හැටක්, ඉස්සර මං කාමයෙන් දැවුණා; අසුබ දේවල් ලස්සනයි කියලා අසුබේ සුඛ සංඥා විපල්ලාසයෙන් මුලා වෙලා හිටියා; ඉස්සර සැපක් කියලා හිතාගෙන හිටියා මහා දුකක්; ඉස්සර ලස්සනයි ලස්සනයි කියපු යම් යම් අඟ පසඟ ඇත්ත වශයෙන්ම පිළිකුල් කොටස් කියලා දැන් වැටහෙනවා. තමාගේ සිත තුළ මුලාව මේ ආකාරයෙන් තිබුණා දැන් මගේ සිත තුළ කාම රාගය මේ තරම් දුරට අඩුවෙලා නේද; පටිඝය මේ තරම් දුරට අඩුවෙලා නේද කියලා දකින්නට පුළුවන්.
ඒ වගේම කාම රාග පටිඝ ඒ සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන්ම අනාගාමි මාර්ගයෙන් නැතිවී ගියාට පසුව ඒ අනාගාමි තත්වයට පත්වූ කෙනෙකුට පුළුවන් දකින්න තමාගේ සිත තුළ මොනම හේතුවකටවත් කාම රාගය ඇති නොවන ආකාරය. මොනම හේතුවකටවත් පටිඝය ඇති නොවන ආකාරය අත්දකින්නට පුළුවන්. මේවත් ඕනම කෙනෙකුට පෙන්නුම් කරන්නට පුළුවන් ධර්ම. මේවා ඇත්තද නැත්තද කියලා ඇවිල්ලා බලන්න. එතකොට සෝවාන් වෙච්ච පුද්ගලයෙක් , සකදාගාමි පුද්ගලයෙක්, අනාගාමි පුද්ගලයෙක් ලබන නිවන මේකයි කියලා දකින්න. ඒ නිවනේ තියන ශාන්ත බාවය, නිවීම මේකයි කියලා දකින්න.
ඒ වගේම රහත් වුණාට පස්සේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ඡ , අවිජ්ජා, වැනි සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන්ම ක්ෂය වී යනවා. මේ බලන්න රූප රාගය නැතිවී ගිය ආකාරය, අරූප රාගය නැතිවී ගිය ආකාරය, මානය, උද්ධච්ඡය, අවිජ්ජාව නැතිවී ගිය ආකාරය මේ බලන්න මේක බොරුද ඇත්තද කියලා, දකින්න කියලා අපිට කියන්නට පුළුවන්. රහත් වෙනකොට ලෝභය සම්පූර්ණයෙන්ම නැතිවෙනවා; ද්වේෂය සම්පූර්ණයෙන් නැතිවෙනවා; මෝහය සම්පූර්ණයෙන්ම නැතිවෙනවා; සියළුම ක්ලේශ ධර්ම නැවත නූපදින ආකාරයෙන්ම සිත තුළින් ගිළිහී ගිහිල්ලා; සිත අති පරිශුද්ධ තත්වයකට සිත පත්වෙනවා. ඒ අතිපරිශුද්ධ තත්වයට පත් වුණාවු; නික්ලේශි බාවයට පත්වුණාවු සිත දෙස බලන්න.
මේ මාර්ගයේ ගමන් කිරීම තුළින් මේ විදියට සම්පූර්ණයෙන්ම පාරිශුද්ධත්වයකට සිත පත්වනවා නේද කියන කරුණත් අපට කියන්නට පුළුවන් දෙයක්. එසේ රහත් මාර්ග ඵල ලබපු කෙනෙකුට ඵල සමවත් වලට සමවදින්නට පුළුවන්; නිවන් සුව අත්දකින්නට පුළුවන්. ඊට අමතරව චේතෝ විමුක්තියට සමවදින්නට පුළුවන්, පඥ්ඥා විමුක්තියට සමවදින්නට පුළුවන්. බලන්න මේ චේතෝ විමුක්තිය දෙස; බලන්න මේ පඥ්ඥා විමුක්තිය දෙස. මේවාගේ තියන සත්‍යතාවය තමාම අත්දකින්නය කියලා කෙනෙකුට කියන්නට පුළුවන්. මේ විදියට රහත් මාර්ග ඵල ලබපු කෙනෙක් නැවත උපදින්නේ නෑ. බලන්න මගේ ජාතිය ක්ෂය වී යන ආකාරය; බලන්න මේ රහත් ඵලයට සිත පත්වුණාට පසුව උපාදාන සියළුම අල්ලාගැනීම් සිතින් ගිළිහී යන ආකාරය; බලන්න අවිද්‍යාව නිරුද්ධ වී ගිය ආකාරය; බලන්න ඒ තුළින් සිතිවිලි ගලන ආකාරය නැතිවී යන ආකාරය. බලන්න නැවත ඉපදීම සිදු නොවන්නේ මේ ආකාරයෙන්; මෙතනින්ම දුක කෙළවර කරනවාය; කෙළවර වන්නේ මෙලෙසින්ය කියලා දකින්නය කියලා පෙන්නුම් කරන්නට පුළුවන්.
මේවා ධර්මයේ තියන ඒහි ඵස්සික ගුණයන්. ඒ ධර්මය ඒ ආකාරයෙන්, අවබෝධ කරගත්තේ යම් ආකාරයකින් නම්, ඒ මට්ටමට අනුව ඒ ආකාරයට අනුවයි ඒහි ඵස්සික ගුණයේ තියන ඒ සත්‍යතාවය කෙනෙකුට අත්දකින්නට පුළුවන් වන්නේ.
මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ දෙශනාවක් ඇසුරෙනි.