“ඒහි ඵස්සික” ගුණය – 5 කොටස

15697949_568560443339908_3449952453664103050_n

“අනිච්ඡානුපස්සනං භාවෙන්තු නිච්ඡ සංඥං පජහති” ආදී වශයෙන් ඒ පාඨ දැක්වෙනවා. අනිත්‍යය අනිත්‍යය අනිත්‍යය වශයෙන් අනිත්තානුපස්සනාව වඩ වඩා වඩ වඩා සිටින කෙනෙකුට ඒ අනිත්‍යයානුපස්සනාව නිවැරදි ආකාරයෙන් තමාටම අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා අර උදයබ්බය භංග වැනි ඥාණ අත්දැක්කාට පසුව පැහැඳිළිවම තේරෙනවා මේවා ඒකාන්ත වශයෙන්ම නිත්ය නොවන ධර්මය, අනිත්ය ධර්මය කියලා.මේ අනිත්‍යයානුපස්සනාව වැඩීම තුළින් තමාගේ සිත තුළ තියන නිත්‍ය සංඥාව දුරුවෙනවද නැද්ද කියලා ඇවිල්ලා බලන්න කියලා අපට කියන්නට පුළුවන්.

“දුක්ඛානුපස්සනං භාවෙන්තු සුඛ සංඥං පජහති” මේ දුකක් වශයෙන් භාවනා කරනවා දුක්ඛානුපස්සනාව වඩ වඩා යම්කිසි කෙනෙක් විදර්ශනා භාවනාවක නියැලෙන විට මේ පන්චස්කන්ධ ධර්මයන්ගේ පැවතීම සැපක් සැපක් සැපක් වශයෙන් සිතාගෙන සිටින ඒ මෝහය දුරුවෙලා මේක ඒකාන්ත වශයෙන් දුකක්ය දුක්ඛ සත්‍යයක්ය දුක්ඛ සමුදය සත්‍යයක්ය කියන අවබෝධය තුළින් තමාගේ සිත තුළ තියන ඒ වැරදි සුඛ සංඥාව දුරු වී යනවා , දුක්ඛානුපස්සනාව වැඩීම තුළින්. මේකත් ඇත්තද නැත්තද කියලා ඇවිල්ලා බලන්නටය කියලා අපට කියන්නට පුළුවන්. ප්‍රඥාව තියන කෙනෙකුටයි මේවා කරන්නට පුළුවන්. මෝඩයෙකුට මේවා කිව්වට තේරෙන්නේ නැහැ, ඒක වෙනම දෙයක්. නමුත් බුදු රජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ “පඤ්ඤාවන්තස්සායං ධම්මෝ, නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” – ” මාගේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටමයි, “නායං ධම්මෝ දුප්පඥ්ඥස්ස” ප්‍රඥාව මඳ පුද්ගලයන්ට නෙමෙයි මේ ධර්මය මම දේශනා කරලා තියෙන්නේ. තනිකරම ප්‍රඥාවෙන් දත යුතු ධර්ම ප්‍රඥාව නැති කෙනෙකුට කොහෙත්ම දකින්නට බැහැ.

“අනත්තානුපස්සනං භාවෙන්තු ” අනාත්මයක්ය , ආත්මයක් නැත කියලා අනාත්මය හරියට දකින කෙනෙකුට ඒ නාමරූප ධර්මයන් නිරුද්ධ වී ගියාට පසුව එහි ආත්මයක් වශයෙන් ගන්නට කිසිවක් ශේෂ නොවන ආකාරය ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැක්කොත් එහෙම එයාගේ සිත තුළ ආත්ම සංඥාව දුරු වී යනවා. මෙතෙක් කල් සංසාරයේ පහළ වෙච්ච දවසේ සිට අති දීර්ඝ කාලයක් පුරාම මේ ආත්මයක් ඇත ඇත ඇත කියන හැඟීම සිත තුළ කා වැදී තිබුණේ නමුත් මේ අනාත්ම සංඥාව හරියට දැක තිබුණාට පස්සේ අනත්තානුපස්සනාවක් හැටියට වඩලා ප්‍රථිඵල ලැබුවාට පස්සේ මේ ආත්මයක් ඇත කියන සංඥාව දුරු වී යනවා මෙන්න බලන්න මේක දුරුවෙන එක ඇත්තද බොරුද කියලා අපට කියන්නට පුළුවන්. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්නටය කියලා අහන්නට පුළුවන්.

ඒ වගේම නිබ්බිදානුපස්සනාව භාවිතා කරන කෙනෙකුට කළකිරීම නිබ්බිදාව කියන්නේ, “නන්දිං පජහති”, මේවා කෙරෙහි තියන ඇලීම දුරුවෙනවා, මේක බලන්නටය. විරාගානුපස්සනාව භාවිතා කරනවනම්, ඒ කියන්නේ රාගය කියන්නේ බැඳීම , විරාගය කියන්නේ නොඇල්ම . මේ නොඇල්ම ඇතිකරගනු ලබන භාවනාව හරියට ප්‍රගුණ කරනවානම් මේ රාගය දුරුවන ආකාරය දකින්න. නිරෝධානුපස්සනාව භාවිතා කරන්නෙක් තුළ නිරෝධය නිරෝධය නැතිවි නැතිවී යාම දකින තුළ සමුදය වය, ඇතිවීමේ හේතු නැතිවෙන ආකාරය දකින්න.

පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ අල්ලා ගන්න එක අත හරින එක. සියල්ල සම්පූර්ණයෙන් සිතින් අත හරින එක පටිනිස්සග්ගානුපස්සනාව වැඩීම තුළින් සිතින් උපාදාන කරන එක ගිළිහී යන ආකාරය දකින්න. ඒ වගේම ඒ ඒ විදර්ශනා ක්‍රම අනුගමනය කිරීම තුළින්, නැතිවී යන ප්‍රත්‍යවේඛ ධර්ම ඒ කියන්නේ ඒවාට ප්‍රති විරුද්ධ ධර්ම නැතිවී යන ආකාරය දකින්නට පුළුවන්.

අනිමිත්තානුපස්සනාව නිමිති වශයෙන් දකින නැත්තම් නිමිති කියන්නේ සිතට වැටහෙන සටහන්, අපි රූපයක් දැක්කාට පස්සේ ඒ රූපය දෙස ඇසින් නොබැලුවත් සිතින් බලනකොට ඒක සිතට පේනවා සටහනක් වශයෙන්. මේවා නිමිති, සිතට වැටහී යන නිමිති. මේ නිමිති සියල්ලම නිරුද්ධ කරන භාවනාවක් තියනවා අනිමිත්තානුපස්සනාව මේක භාවිතා කිරීම තුළින් මේ සියළුම නිමිති නැතිවී යනවා. ඒවා ඇත්තද නැත්තද කියලා බලන්නටය කියන්නට පුළුවන් ධර්ම.

ඒ වගේම “අප්පණිත්තානුපස්සනං භාවෙන්තු පණිදිං පජහති” ප්‍රණිදිය කියන්නේ ප්‍රාර්ථනය කරනවා ආසාවකුත් ඇතිව. තෘප්තියකුත් තියනවා, ආසාවකුත් තියනවා, සතුටකුත් කැවිලා තියනවා,ප්‍රාර්ථනයකුත් තියනවා. ඒකට තමයි ප්‍රණිදිය කියන්නේ. මේවා ප්‍රාර්ථනය නොකළ යුතු ධර්මය; මේවා සම්පූර්ණයෙන් නිවිය යුතු ධර්මය; කියලා මේ පන්චස්කන්ධ ධර්ම දෙස හරි අවබෝධයකින් බල බලා භාවනා කරන කෙනෙකුට මේ ප්‍රණිදිය සම්පූර්ණයෙන් දුරු වී යනවා.

“ශුන්නතානුපස්සනං භාවෙන්තු අභිනිවේශං පජහති” කියලා දැක්වෙනවා. මේවා ශූන්ය වශයෙන් දකින්නට පුළුවන්; හිස් වූ ධර්ම වශයෙන් දකින්නට පුළුවන්; විදර්ශනා භාවනාවක නියැළෙන පුද්ගලයෙකුට. තමන්ගේ කය නොපෙනී ගොස් සම්පූර්ණයෙන්ම හිස් සෙවණැල්ලක් සේ, අහස සේ දිස් වන අවස්ථාවක් උද්ගත වුවහොත් , කය සම්පූර්ණයෙන්ම හිස් වූ ධර්මයක් වශයෙන් , මනසට නොවැටහෙන ධර්මයක් වශයෙන් වැටහෙන නිසා එතැන හිස් බාවයක් දකිනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී මනසේ තියන ඔක්කෝම චිත්ත සංස්කාර ධර්ම තාවකාලික වශයෙන් යටපත් වී ඇති නිසා ඒ නාම ධර්ම වල හිස් බාවයත් දකිනවා. ඒ ශූන්‍යතා දර්ශනයක් හරියට අත්දකින කෙනෙකුට මේ ශූන්‍යතාවයත් ආත්ම නොවෙයි කියලා හරියට අවබෝධ වුණොත් එහෙම ආත්මයක් ඇත කියන අභිනිවේශය ග්‍රාහණය කරගන්නවා, ඒක තදින් සිතින් අල්ලාගෙන ඒකෙම බැඳී සිටින එක, ඒකයි අභිනිවේශ කියන්නේ, අල්ලා ගන්නවා, එකේම ගිළගෙන බැසගෙන සිටිනවා. ඒකට කියන්නේ අභිනිවේශ කියලා. මේ අභිනිවේශය, ආත්මයක් ඇත කියන අභිනිවේශය දුරුවන ආකාරය දකින්නට පුළුවන්.

“අධිපඤ්ඤා ධම්මානුපස්සනං භාවෙන්තු සාරාඳාභිනිවේශං පජහති” කියලා දැක්වෙනවා. අධිපඥ්ඥා කියන්නේ අතිශයින් දියුණු ප්‍රඥාවක් සාමාන්ය ප්‍රඥාවක් නෙවෙයි ඒ ප්‍රඥාව තුළින් මේ පන්චස්කන්ධ ලෝකාදී ධර්මයන් විදසුන් ඇසින් විමස විමසා දකින කෙනෙකුට ඒ අධිපඥ්ඥා ධම්මානුපස්සනාව වඩන කෙනෙකුට මේ පන්චස්කන්ධ ධම්ම සංඛ්‍යාත මුළු විශ්වයම සාරවත් දෙයක්ය හරවත් දෙයක්ය කියන හැඟීම සම්පූර්ණයෙන්ම දුරුවෙනවාය, සාරයක් වශයෙන් ගනු ලබන අභිනිවේශය දුරුවෙන ආකාරය දකින්නට පුළුවන්.

“යථාභූත ඤාණ දස්සනානූපස්සනං භාවෙන්තු ” ඇත්ත ඇති සැටියෙන් දකිනා නුවණ , ඇතිකරගනිමින් භාවනා කරන කෙනෙකුට මේ පන්චස්කන්ධ ධර්මයන්ගේ ඇඟේ සිතේ තියන ඇත්ත ඇති සැටියෙන් නෙවෙයි බොහෝ දෙනා දකින්නේ මතුපිටින් තියන තත්වයෙන් රැවටිලා මුලාවෙලා ඇත්ත නොදකින ලෝකයකයි අපි මේ සිටින්නේ. එවැනි ලෝකයක සිටින අප හරියට විදර්ශනා භාවනාවක නියැළිලා මේ පන්චස්කන්ධ ධර්මයන්ගේ ඇත්ත; අනිත්‍යය බව; දුක් බව; අනාත්ම බව; අසුබ බව; අසාර බව; මේවා ප්‍රහාණය කළ යුතු බව; මේවා කෙරෙහි කළකිරිය යුතු බව; මේවා කෙරෙහි නොබැඳිය යුතු බව; මේවා අත් හළ යුතු බව; ආදී ඒ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වන විට මෙතෙක් කල් මුලා වෙලා මේවා අභිනිවේශ කරපු එක, සම්මෝහ අභිනිවේශය දුරුවෙනවා.

“ආදීනවානුපස්සනං භාවෙන්තු ආලයාභිනිවේශං පජහති” කියලා දක්වනවා. ආදීනවයන් වශයෙන් දැක දැකා, මේ ඇඟ සහ සිත තියන තාක් කල් කොයිතරම් දුක් විඳින්නට වෙනවද මේවා පෝෂණය කරන්නට නඩත්තු කරන්නට ආරක්ෂා කරන්නට සතුටු කරන්නට පිනවන්නට මේ ආදී විවිධාකාරයෙන් කටයුතු කරන විට නොයෙක් ආකාර දුක් ගැහැට විඳින්නට සිදුවෙනවා, මේවා නිරන්තරයෙන් අනිත්‍යයට යනවා, ජරාවට යනවා, ව්‍යාධි, මරණ ආදිය ඇතිවෙනවා. මේ ආදී විවිධාකාර ආදීනව තියනවා. ඒක ගැනම කියනවා නම් පැය පහක් හයක් විස්තර කරත් මදි. ඒ ආදීනවයන් ගැන හරියට දකින කෙනෙකුට, ඒවා හරියට අත්දැකපු කෙනෙකුට පැහැඳිළිවම තමාගේ සිත තුළ තියන, ආලයෙන් අභිනිවේශ කරන එක අයින් කරගන්නට පුළුවන්.

ඒ වගේම “පටිසංඛානුපස්සනං භාවෙන්තු අප්පටිසංඛං පජහති” කියලා දැක්වූ පාඨයක් තියනවා. නිවන් මඟ ගමන් කරන්නට යා යුත්තේ මේකයි, අනිත්‍යය , දුක්ඛ , අනාත්ම ආදී ත්‍රී ලක්ෂණ ධර්මයන්ගේ යථා තත්වයන් අවබෝධ කරගැනීම , චතුරාර්‍යය සත්‍යය ධර්මයන් දැකීම ආදී කරුණු පටිසංඛය නම්, ඒ නිවන් ලැබීමට ප්‍රතිවිරුද්ධ වූ ධර්ම , මිථ්‍යා අදහස් සම්පූර්ණයෙන්ම තමාගේ සිත තුළ මෙතෙක් කල් තිබුණා මේවා දුරු වෙලා ගියාය කියලා දකින්නට පුළුවන්. වැරදි මාර්ග වලින් නිවන් යන ක්‍රම, වැරදි මාර්ග වලින් විශුද්ධිය ලබන ක්‍රම ආදීය සම්පූර්ණයෙන්ම ගිළිහී යනවා. එවැනි කෙනෙකුගේ සිත තුළ සප්ත විශුද්ධීන් දකින්නට පුළුවන්. මේක තමයි ශීල විශුද්ධිය, මේක තමයි චිත්ත විශුද්ධිය, මේක තමයි දිට්ඨි විශුද්ධිය, ආදී වශයෙන්. ශීල විශුද්ධි, චිත්ත විශුද්ධි, දිට්ඨි විශුද්ධි, සංඛා විපරණ විශුද්ධි, මග්ගා මග්ග ඥාණ දර්ශන විශුද්ධි, ඥාණ දර්ශන විශුද්ධි, පටිපදා ඥාණ දර්ශන විශුද්ධි ආදී විශුද්ධි තියනවා. මේවා ඇත්තද නැත්තද කියලා පෙන්නුම් කරන්නට පුළුවන් ධම්ම.

“විවට්ටානුපස්සනං භාවෙන්තු සංයෝග අභිනිවේශං පජහති” මේ සංසාර ප්‍රවෘථිය ඉක්මවා යමින් නිවනට පත්වන ආකාරයෙන් භාවනාව දියුණු වන අවස්ථාවේදී විවට්ටානුපස්සනාව වැඩෙන්නේ. ඒ විවට්ටානුපස්සනාව වැඩෙන විට සංයෝගයන් ගිළිහී යනවා. සංයෝග අභිනිවේශය ගැළවී යනවා. මේක ඇත්තද නැත්තද කියලා බලන්නට පුළුවන්. මේ විදියට කටයුතු කරන කෙනෙකුට අනිමිත්ත විමෝක්ෂයත් , ශුඤ්ඤත විමෝක්ෂයත්, අප්පණිත විමෝක්ෂයත් යන විමෝක්ෂ ධර්ම තුන අතුරින් කවරකකින් හරි නිවන අත්දකින්නට පුළුවන් වෙනවා.මේ බලන්න අනිමිත්ත විමෝක්ෂය, මේ බලන්න අප්පණිත විමෝක්ෂය, මේ බලන්න ශුඤ්ඤත විමෝක්ෂය කියලා කෙනෙකුට අපට කියන්නට පුළුවන්, කතා කරලා කියන්නට පුළුවන් මේ ඇවිල්ලා බලන්න මේක ඇත්තද බොරුද කියලා.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ දෙශනාවක් ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.