“ඒහි ඵස්සික” ගුණය – 4 කොටස

15665421_568559030006716_2883978823917288563_n

ඒ වගේම බුදු රජාණන් වහන්සේ දක්වනවා මේ පන්චස්කන්ධ ධර්ම නැවත නැවත ඇතිවි ඇතිවී නැතිවි නැතිවී යන ආකාරය සහ මේ පන්චස්කන්ධ ධර්ම සම්පූර්ණයෙන්ම නිවී යන ආකාරය. ඒ කියන්නේ සංසාරයේ නැවත නැවත ඉපදි ඉපදී යන ආකාරය හා සංසාර ගමන නවත්වන ආකාරය. ඒකට පටිච්ච සමුප්පාද ධර්මයන් කියලා ප්‍රකාශ කොට වඳාරන්නේ.

අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවාය, සංස්කාර නිසා විඥ්ඥාණය ඇතිවෙනවාය, විඥ්ඥාණය නිසා නාමරූප ඇතිවෙනවාය ආදී වශයෙන් ඒ පටිච්ච සමුප්පාද ධර්මයන් බුදු රජාණන් වහන්සේ ප්රකාශ කොට වඳාරළා තිබෙන්නේ. මේවා ඕනෑම කෙනෙකුට ප්‍රඥාව තියන කෙනෙකුට ඇවිල්ලා බලන්නට පුළුවන් බොරුද ඇත්තද කියලා. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙන ආකාරය මෙන්න මෙහෙමයි. මේක බොරුද කියලා දකින්න.
ඒ සංස්කාර නිසා නැවත නැවත උපදින ප්‍රතිසන්ධි විඥ්ඥාණ සංඛ්‍යාත විඥ්ඥාණ ස්කන්ධය ජනිත වෙනවා මේක ඇත්තද බොරුද කියලා දකින්න. විඥ්ඥාණය නිසා නාමරූප ඇතිවන්නේ මෙහෙමයි, නාමරූප නිසා සළායතන ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස ආදී ආයතන පහළවෙනවා. මේ ආයතන නිසා ස්පර්ශ, ස්පර්ශ නිසා වේදනා ඇතිවෙනවා, වේදනාව නිසා තණ්හාවත්, තණ්හාව නිසා නැවත නැවත අල්ලා ගන්නා උපාදානත්; ඒ උපාදාන නිසා කායික, වාචික, මානසික ක්‍රියා කරන කර්ම භව රැස්වීමත් ඒ කර්ම භව රැස්වීම නිසා ඒවා උපාදාන කිරීම නිසා ඒවා මරණ මොහොතේ සිහිපත් වීමෙන් නැවත නැවත ඉපදීමත් මේ සංසාර චක්‍රය මෙලෙසින් කැරකි කැරකී යාමත් සිදුවෙනවාය කියලා බුදු හාමුදුරුවෝ පෙන්නුම් කොට වඳාළා.
ප්‍රඥාව තියන කෙනෙකුට ඇවිල්ලා මේක ඇත්තද නැත්තද කියලා බලන්නට පුළුවන්. බුදු හාමුදුරුවෝ කිව්වට නෙවෙයි තමාගේම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් දකින්නට පුළුවන්. ශ්රද්ධාවෙන් පිළිගන්නා දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අත්දැකලා තමාම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැකලා ප්‍රඥාවෙන් යුතුව පිළිගත යුතු ධර්මයක්.

එතකොට ඒ “අවිද්‍යා පච්චයා සංඛාරා” ආදී වශයෙන් දැක්වූ පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම පැත්ත හෙවත් ඒක නැතිවී යන පැත්තත් බුදු හාමුදුරුවෝ ප්‍රකාශ කොට වඳාළා. “අවිද්‍යා නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ” ආදී වශයෙන්. මේවත් අත්දකින්නට පුළුවන් කෙනෙකුට කියන්නට පුළුවන් තවත් කෙනෙකුට, ඒව අත්දකින්නට පුළුවන් නම් මේ විදියට කටයුතු කරන්න. මේ විදියට කටයුතු කිරීම තුළින් අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ වී ගිය ආකාරය දකින්න. සංස්කාර නිරුද්ධ වී ගියාට පසුව නැවත නැවත ඉපදීම ගෙනදෙන ප්‍රතිසන්ධි විඥ්ඥාණය නැතිවන ආකාරය දකින්න. මේ නැතිවන ප්‍රතිසන්ධි විඥ්ඥාණය නැතිවුණාට පස්සේ දුක කෙළවර වන ආකාරය දකින්නටය කියලා අපට කතා කරලා පෙන්නුම් කරලා ඒ විදියට කටයුතු කරන්නටය කියලා ඉල්ලා සිටින්නට පුළුවන්. එහෙම කරපු කෙනෙකුට මේ ධර්මයේ තියන ඒ ඒහි ඵස්සික මෙහි ඇවිල්ලා බලන්නටය කියන්නට තරම් සුදුසු ගුණය එවැනි කෙනෙකුට අත්දක්න්නට පුළුවන් කම ලැබෙනවා .

බුදු රජාණන් වහන්සේ දක්වනවා මේවා තමයි කාමාශ්‍රව මේවා තමයි භවාශ්‍රව, මේවා තමයි දිට්ඨාශ්‍රව, මේවා තමයි අවිද්‍යාශ්‍රව. මේවා තමයි ආශ්‍රවයන් ඇතිවීමේ හේතුව, මේක තමයි ආශ්‍රවයන් නිරුද්ධ කිරීම, මේක තමයි ආශ්‍රව නිරෝධ ගාමිණී පටිපදාව කියලා. ප්‍රඥාව ඇති කෙනෙකුට මේවා දකින්නට පුළුවන් කාමයන්ගෙන් නැවත නැවත තමාගේ සිත තුළ ඒ කාමාස්වාදයන් විඳීමට තිබෙන කැමැත්ත නිසා සංසාරයේ ඉපදි ඉපදී යනවා. මේවා තමාගේ සිත තුළ ඕනෑම මොහොතකදී ඇතිවිය හැකි ධර්මයක් වශයෙන් අනුෂය ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වනවා. භවයේ රැඳී සිටීමේ ආශාව ඒක ක්‍රියාත්මක වෙනවා, කාමාශ්‍රවය, භවාශ්‍රවය. ඒ වගේම නොදත්කම, මම මගේය කෙනෙක් කියලා සිතාගෙන සිටින එක, චතුරාර්‍යය සත්‍යය නොදත්කම ආදී ඒ කරුණු නිසා ඇතිවන අවිද්‍යාව කෙනෙක්ගේ සිත තුළ බොහෝ කාලයක් තිස්සේ පැළපදියන් වී තිබෙන ධර්මයක්.
ඒ වගේම වැරදි ආකාර දිට්ඨීන් පිළිබඳව විශේෂයෙන්ම ආත්මයක් ඇත කියන දෘෂ්ඨිය පිළිබඳ අදහස සිත තුළ කා වැදී තිබෙනවා.
සෝවාන් නොවිච්චි කෙනෙකුගේ සිත තුළ ඒ අදහස කා වැදී තිබෙනවා බෞද්ධ වුණත් අබෞද්ධ වුණත්. එතකොට මේ කාමාශ්‍රව ආදී ධර්මයන් ඇත්තද බොරුද කියලා අපට පෙන්නුම් කරන්නට පුළුවන්. අහන්නට පුළුවන් පෙන්නලා දෙන්නට පුළුවන් මේවා ඇත්තද බලන්න බොරුද බලන්න. මේවා ඇතිවෙන හේතු බුදු රජාණන් වහන්සේ දැක්වූවා. මේ හේතූන් දෙස බලන්න ඒ හේතූන් තියනකොට මේ කාමාශ්‍රව ආදී ධර්මයන් ඇතිවන ආකාරය දකින්න. මේවා නිරුද්ධ කරන්නේ මේ විදියට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් මෙහෙම ගමන් කිරීමෙන් මේවා නිරුද්ධ වී යන ආකාරය දකින්න. මේ ආදී වශයෙන් ඒවා පවා අපට පෙන්නුම් කරන්නට පුළුවන් ඒහි ඵස්සික ගුණය ඒවායේ අන්තර්ගතවන ඒහි ඵස්සික ගුණය මතු කරමින් මතු කරමින්.

ඊළඟට බුදු රජාණන් වහන්සේ දක්වනවා ” යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං ” මේ ලෝකයේ යම්කිසි හේතූන්ගෙන් හටගත් ධම්ම තිබෙනවනම් මේ සියල්ලම නිවිලා යන නිරුද්ධ වී නැතිවී යන ධම්මය කියලා බුදු රජාණන් වහන්සේ පෙන්නුම්කොට වඳාළා.මේකත් ඕනෑම ප්‍රඥාව තියන කෙනෙකුට දකින්නට පුළුවන් දෙයක්. හේතුවෙන් හටගත් දේවල් තියෙනවානම් ඒ හේතුන් නැතිවෙනකොට ඒ හේතුවෙන් හටගත් දේවලුත් නැතිවී යන විදිය. මේ විදියට බුදු රජාණන් වහන්සේ විසින් පෙන්නුම් කළ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය වඩන පුද්ගලයෙක් විසින් කටයුතු කරනකොට විදර්ශනා ඥාණය එවැනි කෙනෙක්ගේ සිත තුළ ජනිත වෙනවා. විදර්ශනා ඥාණ දාසයක් තියනවා; උදයබ්බය, භංග, භයතුපට්ටාන, ආදීනව, නිබ්බිදා, මුච්ඡිත කම්මිතා, පටිසංඛා, සංඛාර උපේක්ඛා, අනුලෝම, ගෝත්‍රභූ, මග්ග, ඵල, පච්ඡේඛන ආදී ඥාණ. නාමරූප පරිච්ඡේද ඥාණය, සම්මස්සන ඥාණය, ආදී ඥාණ මුලදි මුලදි ඇතිවෙන ඒවා. ඉතින් ප්‍රඥාව තියෙන කෙනෙකුට නම්, සමාධිය දියුණු කෙනෙකුට නම්, විදර්ශනා භාවනාවක ඔහු නියැලී සිටිනවානම්, මේ උදයබ්බය ඥාණය ඇතිවෙන එක, ඇතිවීම් නැතිවීම දක්නා නුවණ ඇතිවුණාට පස්සේ දකින්නට පුළුවන් මේ පන්චස්කන්ධ ධම්ම ඇතිවෙන ආකාරය නැතිවෙන ආකාරය.
උදයබ්බය ඥාණය බොරුද ඇත්තද කියලා බලන්නටය කියලා අපට කියන්නට පුළුවන්. භංග ඥාණයටත් එහෙම කියන්නට පුළුවන්. භයතුපට්ටාන වලට, ආදීනව ඥාණ වලට, නිබ්බිදා ආදී සියළුම විදර්ශනා ඥාණ බලන්න ඇවිල්ලා ඇත්තද නැත්තද කියලා පෙන්නුම් කරන්නට පුළුවන් ඥාණ. මේ විදර්ශනා ඥාණත් ඇතිකර ගනිමින් භාවනා කරන පුද්ගලයෙකු සිටිනවා නම්, එවැනි කෙනෙකුට වැරදි සංඥා තමාගේ සිත තුළ මෙතෙක් කල් පැවතුනත් ඒ සංඥා නිරුද්ධ වී යනවා.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ දෙශනාවක් ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.