“ඒහි ඵස්සික” ගුණය – 2 කොටස

15697816_568554493340503_8277091457720534033_n

මේ දුක්ඛ සත්‍යය නැවත නැවත ඇතිවෙන හේතුන් බුදු රජාණන් වහන්සේ වඳාළා දුක්ඛ සමුදය සත්‍යය වශයෙන්. මේ දුක්ඛ සමුදය සත්‍යය වදාරණ විට බොහෝ විට බුදු රජාණන් වහන්සේ පෙන්නුම් කොට වඳාරළා තිබෙන්නේ තණ්හාව දුක්ඛ සමුදය සත්‍යය වශයෙන්. තණහාව නිසා දුක ඇතිවෙනවද නැතිවෙනවද කියලා මෙහි ඇවිල්ලා බලන්නටය කියලා පෙන්නුම් කරන්නට පුළුවන්.

ඇසට රූප පෙනිලා, කණට ශබ්ද ඇසිලා, නාසයට ගඳ සුවඳ දැනිලා, දිවට රස ගෑවුණාට පසුව; ඒවගේම කයට ස්පර්ශ ගෑවුණාට පසුව, මනසට විවිධ ධම්මාරම්මණ හෙවත් මනසට හමුවුණ අරමුණු සිහිපත් වූවාට පසුව ඒ තුළින් යම්කිසි ඒ අරමුණු කෙරෙහි ඇලීමක් බැඳීමක් ඇති වුණා නම් තමාට විශාල දුකකට මුහුණ පාන්නට සිදු වෙනවා. සමහර කෙනෙකුට මේ දුක බොහෝ විට තේරුම් ගන්නට බැහැ. ඒක සැපක් වශයෙන් පෙන්නුම් කරලා මුලා කරන නිසා. නමුත් ප්‍රඥාවන්ත කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙනවා මේ තණ්හාව නිසා දුකමයි ගෙනදෙන්නේ කියන කරුණ.

තණ්හාව කියන එක හරියට පිපාසයට ලුණු වතුර බොනවා වගේ වැඩක්. කොච්චර ලුණු වතුර බීවත් ඒ පිපාසය සන්සිඳවා ගන්නට කෙනෙක් සමත් වන්නේ නැහැ. ඒ ලුණු වතුර බොන්නට බොන්නට තව තවත් පිපාසය වැඩි වෙනවා. එලෙසින්ම මේ තණ්හාව තෘප්තිමත් කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. තව තවත් තව තවත් තණ්හාව ලියල ලියලා වැඩෙනවා. තණ්හාව නිසාම ජාති දුක්, ජරා දුක් ආදී සසර දුක් විඳින්නටත් සිදු වෙනවා. මේක සාමාන්‍ය කෙනෙකුට මෙහි ඇවිල්ලා බලන්නටය කියලා පෙන්වන්නට පුළුවන් ධර්මයක් වුවත් ඒක අවබෝධ කරගන්නට බැහැ. ප්‍රඥාව තිබෙන්නට ඕන නැවත ඉපදීම සිදුවන්නේ මෙලෙසින් යැයි කියලා දකින්නට පුළුවන් ප්‍රඥාවක් තියෙන කෙනෙකුට තණ්හාව නිසා මේ දුක නැවත නැවත ඉපදෙනවා කියන එක කොයිතරම් නම් සත්‍යයක් ද කියලා අවබෝධ කරගන්නට පුළුවන්.

තණ්හාව ඇතිවෙනකොටම තමාගේ සිත තුළ නොදත් කම හෙවත් මෝඩකම පවතිනවා ඒකට බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අවිද්‍යා කියන වචනය. ඒ අවිද්‍යා ව තිබෙන නිසා ලෝක සත්වයා නොයෙක් ආකාර කර්ම සංස්කාර රැස් කරගෙන කුසල් අකුසල් ආදිය රැස් කර කරා තණ්හාවෙන් යුතුව කටයුතු කරලා මම මගේ කියලා හිතාගෙන තමාගේ ජීවිතයත් බාහිර ලෝකයේ ජීවිතත් බාහිර සංස්කාර ධර්මත් උපාදාන කරගෙන භවයේ රැඳී සිටීමේ ආශාව තබාගෙන සිටින විට නැවත නැවත මරණෙන් පස්සේ ඉපදි ඉපදී යනවා. මේ නැවත ඉපදෙන හේතුව මෙන්න මේකයි කියලා බුදු රජාණන් වහන්සේ පෙන්නුම් කොට වඳාළා මේක ඇත්තද නැත්තද කියලා ඇවිල්ලා බලන්නටය කියලා අභියෝග කරලා කෙනෙකුට කියන්නට පුළුවන් අපිට. මේ ධර්මයේ තියන ඒ ගුණය ඒහි ඵස්සික ගුණය බලන්නටය කියලා. ඒ විදියට දුක්ඛ සත්‍යය සහ සමුදය සත්‍යය ගැන ඉතා කෙටියෙන් අපි මේ වචනයක් දෙකක් ප්‍රකාශ කළේ. විස්තර වශයෙන් නෙමෙයි. ඒහි ඵස්සික ගුණය එහි අන්තර්ගත වන බව මේ අයට තේරුම් ගන්නට පුළුවන්.
ඒ වගේම මාර්ග සත්‍යයත් බුදු රජාණන් වහන්සේ පෙන්නුම් කළා. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්යය සත්‍යයක්. දුකක් තිබෙනව නම් දුක නැති කිරීමක් තිබෙන්නට ඕන අනිවාර්යෙන්ම. එතකොට දුක නැති කිරීමක් තියනවා නම්, දුක නැති කිරීමේ මාර්ගයකුත් තිබෙන්නට ඕන. මේ දුක නැති කිරීමේ මාර්ගය සම්මා සම්බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ප්‍රකාශ කරන තාක් කල්ම කෙනෙකුට අවබෝධ කරගන්නට බැහැ. පසේ බුදු කෙනෙක් හැර අන් කිසිවෙකුට අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ.

එතකොට ඒ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍යය වශයෙන් බුදු හාමුදුරුවෝ දේශනා කළ ශීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රි ශික්ෂා ධර්මයන් හරි ආර්ය අෂ්ඨාංගික මාර්ග ධර්මයන් හරි, සත්තිෂ් බෝධි පාර්ශික ධර්මයන් හරි වැඩීම තුළින් මේ දුක නැති වෙන්නේ නැද්ද, නැතිවෙනවාද කියන කරුණ මෙහි ඇවිල්ලා බලන්න, මේක කරලා බලන්නටය කියලා අපට කියන්නට පුළුවන්.

විශේෂයෙන්ම ශීලය ආරක්ෂා කරන කෙනෙකුට කය සංවර කරගැනීමෙන්, සිත සංවර කර ගැනීමෙන්, වචනය සංවර කර ගැනීමෙන් ඇතිවෙන ඒ ශාන්ත නිවීම සිතේ ඇතිවෙන ශාන්ත බාවය මේ ජීවීතයේදීම අත්දකින්නට පුළුවන් එකක්. බුදු රජාණන් වහන්සේ කය සංවර කරගැනීම, වචනය සංවර කරගැනීම සහ සිත සංවර කර ගැනීම අනිවාර්යෙන්ම තිබිය යුතු අංගයක් වශයෙන් වදාරන්නේ නිවන් අවබෝධ කිරීමට බලාපොරොත්තුවක් තිබෙන කෙනෙකු විසින් ඒ විදියට ඒ කය, සිත, වචනය කියන තුන් දොර සංවර කරගන්නට ඕන. කාය සංවරයෙන් යුතුව කටයුතු කරන කෙනාට බොහෝ විට ඇතිවිය හැකි දුක්ඛ පරිලාශයන්ගෙන් සිත මුදාගෙන සිතට සුවයක් සැනසීමක් උදාකර ගන්නට පුළුවන්.
වචනය සංවර කරගත්තු පුද්ගලයාට ඇතිවන මානසික සන්තාප පරිලාහ ආදිය දුරු කරගෙන මනසේ ඇතිවෙන දුක නැතිකරගෙන කටයුතු කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ වගේම සිත සංවර කරගත්තා වගේම, වචනය සංවර කරගත්තා වගේම, කය සංවර කරගත්තාට පසුව මේ තුන්දොර සංවර කරගැනීම තුළින් ඇතිවෙන ඒ ශාන්ත දාන්ත බාවය , ඒකෙන් ඇතිවෙන ශාන්තිය, මේ ජීවිතයේදීම කෙනෙකුට අත් දකින්නට පුළුවන්. මේක බොරුද ඇත්තද කියලා අපට කෙනෙකුට කියන්නට පුළුවන් ඇවිල්ල බලන්නටය කියලා. ඒක ඇවිල්ලා බලන්නටය කියලා කෙනෙකුට අපට කියන්නට පුළුවන් සත්‍යයක් තියන ධර්මයක්.
ඒ ශීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රී ශික්ෂා ධර්මයන් අතුරෙන් ඇති ශීලය කියන එක; මේ ශීලයම තමයි ආර්යය අෂ්ඨාංගික මාර්ගයේදී විස්තර කරන්නේ සම්ම සංකප්ප, සම්ම වාචා , සම්ම කම්මන්ත, සම්මා ආජීව ආදී පද වලින්. ඒ සම්ම සංකප්ප කියන්නේ වැරදි සංකල්පනා වලින් තොර වෙලා නිවැරදි සංකල්පනාවන් ඇති කරගැනීම. වැරදි සංකල්පනා තමයි කාම සංකල්පනාවන්, ව්‍යාපාද සංකල්පනාවන්, වීහිංසා සංකල්පනාවන්. මේකට ප්‍රතිවිරුද්ධ සංකල්පනාවන් තමයි නිවැරදි සංකල්පනා අදහස් කියන්නේ. කෙනෙකුට අපට කියන්නට පුළුවන් බලන්න කාම සංකල්පනා ඇතිවුණාට පස්සේ දුකක් ඇතිවෙනවද නැද්ද කියලා. කාම සංකල්පනා වලින් තොර වෙලා, නෙක්ඛම්ම සංකල්පනා ඇති කරගත්තාට පසුව ඇතිවෙන ශාන්තිය ඇවිල්ලා බලන්න. කාම සංකල්පනා ඇතිවුනාට පසුව සිත, කය දැවෙන ආකාරය දකින්න. මේකට ප්‍රතිවිරුද්ධ වශයෙන් අතිකරගනු ලබන නෙක්ඛම්ම සංකල්පය නැත්තම්, අසුබ සංඥාව ආදිය ඇතිවීම තුළින් ඇතිවෙන ඒ ශාන්ත නිවීයාම මේ බලන්න බොරුද ඇත්තද කියලා.

ව්‍යාපාද සංකල්පනා, තරහා සිතිවිලි ඇති කරගත්තාට පසුව කෙනෙක් කායික වශයෙන් දැවෙනවා, මානසික වශයෙන් දැවෙනවා. අකුසල් කරගෙන ඒ තුළින් සංසාර දුක ඇතිවෙන එක පසෙක තැබුවත් මේ ජීවීතයේදීම ඒ තරහ සිත ගිය අවස්ථාවේදීම කෙනෙක් දැවෙනවා. සිතට මහා දුකක්. කයටත් ඒක දුකක්. කය නොසන්සුන් බාවයට පත්වෙනවා, ඕලාරික බාවයට පත්වෙනවා, රළු බාවයට පත්වෙනවා. මේ සියල්ලම ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ වූ අව්‍යාපාද සංකල්පනාවන් හෙවත් මෛත්‍රී සංකල්පනාවන් ඇති කරගත්තාට පස්සේ ගින්නට වතුර දැම්මට පස්සේ , ගින්න නිවී යන්නා සේ මේවා නිවී යන එක දකින්නට පුළුවන්. යම්කිසි කෙනෙක් මෛත්‍රීය ඇතිකරගනිමින් මෛත්‍රී ධ්‍යාන සිතකට සිත පත්කරගත්තා නම් එවැනි කෙනෙකුට තේරෙනවා ව්‍යාපාදයේ තියන දුක සහ මෛත්‍රියේ තියන ඒ නිරාමිස සුවය කුමක්ද කියලා. එවැනි කෙනෙකුට අපිට නිර්භයවම පෙන්නුම් කරන්නට පුළුවන් බලන්න ව්‍යාපාද සංකල්පනාවන්ගෙන් තොර වෙලා අව්‍යාපාද සංකල්පනාවන් ඇති කරගැනීමෙන් ඇතිවෙන ශාන්තිය කොතෙක්ද කියලා, මේ විදියට අපට කියන්නට පුළුවන්.

වීහිංසා සංකල්පනාවනුත් ඒ වගේම සිත කය දවන දේවල්. නොයෙක් ආකාර සිතිවිලි වල පැටළී පැටළී දේශපාලනික වශයෙන් හෝ, සතුරන් වශයෙන් හෝ, යුද්ධ කලකෝලාහල වශයෙන් හෝ කවර ආකාරයෙන් හරි, විහිංසා සිතිවිලි ඇතිකරගැනීමෙන් විහිංසාවෙන් යුතුව කටයුතු කරන පුද්ගලයාට හෝ නැත්තම් විහිංසා සිතිවිලි ඇතිකරගත් තැනැත්තාට හෝ විඳින්නට වන්නේ මානසික වශයෙන් දුකක්. ඒකෙන් ඇතිවන අකුසල ගැන අපි කතා නොකළත් ඒ අකුසල් වලින් ඇතිවන විපාක ගැන අපි නොසිතුවත් මේ ජීවීතයේදීම ඒක දුකක් ගෙනදෙන කරුණක් බව තේරුම් ගන්නට පුළුවන්. අවිහිංසාව හෙවත් කරුණාව තමාගේ සිත තුළ ඇතිකරගත්තාට පසුව කරුණාව තුළින් යම්කිසි කෙනෙක් ධ්‍යාන සිතක් උපදවා ගත්තා නම් එහෙම එයාට දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා මේ වීහිංසාවට ප්‍රතිවිරුද්ධ වූ අවිහිංසා සංකල්පනාව ඇති කරගැනීම කොයිතරම් නම් උසස්ද ඒකෙන් කොයිතරම් නම් සැනසීමක් ශාන්ත බාවයක් නිවීමක් ඇතිවෙනවාද කියන කරුණ. එතකොට බුදු රජාණන් වහන්සේ සම්මා සංකප්ප කියන එක නිවන් යාම සඳහා දේශනා කොට වඳාළා නේද මේක කොයි තරම් නම් දුරට සත්‍යයක්ද මේකෙන් වන ශාන්තිය කුමක්ද කියලා අපට පෙන්නුම් කරන්නට පුළුවන්. ඒකත් ධර්මයේ තියන ඒහි ඵස්සික ගුණයක්.

ඒවගේම තමයි සම්ම සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ කරුණු හතරෙන් සම්මා වාචා කියන එක බොරු, කේළාම්, පරුෂ වචන, සම්ප්‍රපලාප දෙඩීම තුළින් ඇතිවෙන අනිෂ්ඨ විපාක; ඒකෙන් ඇතිවෙන මානසික දුක්ඛ පරිලාහයන් කෙනෙකුට අත්දකින්නට අනිවාර්යෙන්ම හැකියාව ලැබෙනවා. ඒවාගෙන් වෙන්වුණාට පසුව ශාන්ත වූ වචන ප්‍රකාශ කරනවානම්, නිවුණු වූ වචන ප්‍රකාශ කරනවානම්, ඉවසීමෙන් යුතුව කටයුතු කරනවානම්, තමාට අත්දකින්නට පුළුවන් කම ලැබෙනවා ඒකෙන් ලැබෙන ශාන්තිය කුමක්ද කියලා. ඒ වගේම කයින් කරන දුෂ්චරිත වලින් ඈත්වෙලා, සම්මා කම්මන්තයන්ගේ යෙදෙන පුද්ගලයෙක් සිටිනවානම්, ඒ කාය දුෂ්චරිතයන්ගෙන් ඈත්වීම නිසා ඇතිවන ශාන්තිය තමාට අත් වූ ලෞකික වශයෙන් නොවූවත් ආධ්‍යාත්මික වශයෙන් ඇතිවූ ගුණ වගාව දකින විට ඇතිවන සතුට තුළින් ඒකෙන් ඇතිවන ශාන්තිය අත්දකින්නට පුළුවන්.

එතකොට සම්මා සමාධිය තව කොටසක්. ශීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුන අතුරින්. ඒ සමාධිය, විශේෂයෙන් ඔය හිංදු ආගමේ වාගේ ආගම් වලත් තිබෙනවා. අරූපාවචර ධ්‍යාන පවා හිංදු ආගම් වල යෝගීන් උපදවාගෙන සිටිනවා. නමුත් බුදු රජාණන් වහන්සේ විසින් වඳාළ සම්මා සමාධිය සර්වප්‍රකාරයෙන්ම ඒ අයට අත්දකින්නට පුළුවන් කමක් නැහැ. බුදු රජාණන් වහන්සේ විවිධ කර්මස්ථාන තුළින් ඒ සම්මා සමාධිය උපදවා ගත හැකි ආකාර දක්වලා තියෙනවා. කර්මස්ථාන බොහෝ රාශියක් තිබෙනවා විවිධ සූත්‍ර වල විවිධාකාරයෙන් දේශනා කොට වඳාළ. මේ කර්මස්ථාන වලින් පළවෙනි ධ්‍යානය උපදවා ගන්නට පුළුවන්; දෙවෙනි ධ්‍යානය; තුන්වන ධ්‍යානය, හතරවන ධ්‍යානය උපදවා ගන්නට පුළුවන් කර්මස්ථාන තිබෙනවා. අරූපාවචර ධ්‍යාන එක, දෙක, තුන, හතර උපදවා ගන්නට පුළුවන් කර්මස්ථාන තිබෙනවා. මේවා ඇවිල්ලා බලන්න මේ විදියට කටයුතු කිරීම තුළින් මේ ධ්‍යාන සිත් උපදවා ගන්නට පුළුවන්ද බැරිද කියන කරුණ අපට පෙන්නුම් කරන්නට පුළුවන් ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්නටය කියලා.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ දෙශනාවක් ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.