නාමරූප (5 කොටස )

Image may contain: text and water

මේ විදියට නාම රූප වෙන්කර කරා, වෙන්කර කරා බලන්නට ඕන. පංචස්කන්ධයම වුණත් නාමරූප වශයෙන් බලන්නට පුළුවන්. රූපස්කන්ධය මේකයි, ඒක දකින සිත නාමය මේකයි, වේදනාව මේකයි, ඒක දකින සිත නාමය මේකයි, වේදනාව දකින සිත, නාමය,දෙකම නාමයම ඒක ඇතුළේ තියන කොටස් වෙන්කරලා දකින එකක් මෙයින් මම කියන්නේ. වේදනාව දකිනවා, වේදනාව දැනෙන දැනීම දකිනවා, ඒ වේදනාව කියලා හඳුනාගත් සංඥාව දකිනවා එතකොට ඒ වේදනාව කියලා අපි කලින් සාමාන්‍යයෙන් සිතුවට දැන් මේ වේදනාව තුළ තියන සෙසු නාම කොටස් වෙන් කරන්නට පුළුවන් කම ලැබෙනවා. එතකොට සංඥාව කළත් එහෙමයි, සංස්කාර ගත්තත් එහෙමයි. මේ විදියට ඒවා වෙන් කරලා වෙන් කරලා බලන කොට පංචස්කන්ධය වෙන් වශයෙන් දකින්නට පුළුවන්.රූපය වෙනම දෙයක්ය, වේදනාව තවත් දෙයක්ය, සංඥාව තවත් දෙයක්ය, සංස්කාර වෙනම ධර්මයක්ය, විඤ්ඤාණය තවත් ධර්මයක්ය කියලා, මේ කොටස් පහ තමාට පැහැඳිළිවම අත්දකින්නට පුළුවන්.

මේ පැහැඳිළිව අත්දැක්කාට පස්සේ දැන් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන එක සිත නාම ධර්මයක් කියලා තමන්ට තේරෙනවා. රූපස්කන්ධය කියන්නේ මොකද්ද කියලා බලන්න. රූපස්කන්ධය කියන්නේ තමන්ගේ සිතට පේනවා රූප, නැත්නම් සිත ගිහිල්ලා ස්පර්ශ කරනවා , ඵස්ස කියලා අර සිත/නාමය විස්තර කරන කොට ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියද්දී, ඵස්ස කියලා කිව්වනේ. ඒ ඵස්ස කියලා ස්පර්ශ කිරීමක් ඇතිවෙනවා. ඒ ස්පර්ශ කළේ නැත්නම් රූපය අපට සිතට පෙනෙන් නෑ. කියන්නේ සිතින් ගිහිල්ලා රූපය ස්පර්ශ කළේ නැත්නම් රූපය අපට අරමුණක් වන්නේ නැහැ.

ඒක නිසා මේක හරියටම පැහැඳිළිවම පේනකොට තමන්ට තේරෙන්නට ඕන රූපස්කන්ධය කියන්නෙත් නාම ධර්මයක්ය කියලා. නාමරූප වල ගැඹුරු අවස්ථාවක් ඒ අපි කතා කළේ. සෑම රූපස්කන්ධයක්ම නාම ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ සිත ගිහිල්ලා ස්පර්ශ කළේ නැත්නම් කිසිම රූප කොටසක් අපේ සිත තුළ පෙනෙන්නේ නෑ. රූප පැත්තක ඔහේ පාඩුවේ පවතිනවා. ඒක වෙනම දෙයක්. අපේ සිතට අරමුණක් වුණේ නැති රූප කිසිම ආකාරයකින් අපි අනුව බලනකොට වැදගත් බාවයක් නැහැ. දැන් මේ ලෝකයේ කොයිතරම් නම් ශබ්ද අරමුණු මේ අවස්ථාවේ තියනවද? ඉතා ප්‍රියජනක ශබ්ද අරමුණු ඇති. නමුත් ඒ එකක්වත් අපිට අරමුණු වෙලා නෑ. ඒ නිසා බාහිර ලෝකයේ තියන ශබ්දාරම්මණ අපිට දැන් අරමුණක් වෙලා නෑ, මොකද අපේ මනස ගිහිල්ලා ස්පර්ශ වෙලා ඒ පිළිබඳ සිතිවිලි ඇතිවෙලා නැති නිසා. මේ ලෝකයේ ඉතාම ප්‍රිය රූප ඇති අනන්තවත්. නමුත් ඒ එකක්වත් අපේ සිතට අරමුණු වෙලා නෑ, ඒකනිසා එකක්වත් ඒ රූප අපේ ලෝකය අනුව බලනකොට , තමන්ගේ ලෝකය අනුව බලනකොට රූපාරම්මණ නෙවෙයි.

ශබ්ද තියනවා, ගඳ සුවඳ තියනවා, රස තියනවා, ඕවා එකක්වත් දැන් මේ අවස්ථාවේදී මේ අයගේ සිත තුළ අරමුණු නොවෙයි. ඒ අරමුණු බාහිර වශයෙන් ලෝකයේ පවතිනවා නමුත් මේ අයගේ සන්තාණය තුළ ඒ අරමුණු නෑ. අරමුණු විද්‍යමාන වන්නට නම් සිත ගිහිල්ලා ස්පර්ශ කරන්නට ඕන, ඵස්සය ඇතිවන්නට ඕන, සිත ස්පර්ශ කළේ නැත්නම් කිසිම අරමුණක් ලෝකයේ නෑ. එතකොට තමන්ගේ රූපස්කන්ධය දෙස මනසින් බලනකොට තමන්ට තේරෙන්නට ඕනෑ, මේ රූපය කියන්නේ මොකක්ද කියල කියනකොටම පැහැඳිළිවම තමන්ට තේරෙන්නට ඕන, රූපය මොකද්ද කියලා බලනකොටම තමනට පේන්න ඕන මෙතන තියෙන්නේ නාමයක්නේ කියලා.

මේක හරියටම දැක්කොත් එහෙම රූපය සම්පූර්ණයෙන් ඝන කළුවරක් වැටුණා වාගේ නිවිලම යනවා. ඒ කියන්නේ හෙව්වත් හොයන්නට බැරි තරමටම නිවිලම යනවා. තනිකරම රූප නිරෝධයක් අත්දකින්නට පුළුවන්, රූපයත් නාමයත් කියන අවබෝධය ඇතිවෙලා ඒක හරියට ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකින එක. මේක අත්දැක්කොත් එහෙම තමන්ට තේරෙන්නට ඕන තමන්ගේ සිතිවිලි ඇතිවීමක් හැර ලෝකයක් නැහැ කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳ සිතිවිලි ඇතිවුණොත් විතරයි තමන්ගේ සන්තානය තුළ බාහිර ලෝකයක් හරි, අභ්‍යන්තර ලෝකයක් හරි විද්‍යමාන වන්නේ. තමන්ගේ රූපස්කන්ධයත් දැන් මෙතන නොපෙනී ගියා සිතට. ඊටපස්සේ තමන්ට තේරෙනවා මේ රූපය කියන එක තනිකරම නාමධර්මයක්. ඒකයි මේ නොපෙනී ගියේ. එතකොට තමන්ගේ පුතා කිව්වත්, දුව කිව්වත් , ගෙවල් දොරවල්, යාන වාහන කිව්වත් ඔක්කෝම සිතින් ගිහිල්ලා ස්පර්ශ කළොත් විතරයි ඒවා විද්‍යමාන වන්නේ. සිත නිරුද්ධ වූවා නම් ඒවාගෙන් ඒවා පැත්තක තියන හුදුලෝක ධම්ම පමණයි; ස්කන්ධ ධර්ම පමණයි. තමන්ගේ සිතට ඒවා කිසිම අරමුණක් වන්නේ නැහැ.දෙවියෙක් ගත්තත් එකයි, බ්‍රහ්මයෙක් ගත්තත් එකයි, මාරයෙක් ගත්තත් එකයි, අමනුෂ්‍යයෙක් ගත්තත් එකයි, මේ ඔක්කොම දේවල් ගැන සිතනකොට අපේ සිත තුළ සිතිවිලි ටිකක් ඇතිවීමක් හැර මෙතන වෙන දෙයක් නෑ. මේකෙන් අදහස් කරන්නේ නෑ, දෙවිවරු නෑ, බ්‍රහ්මයෝ නෑ, මාරයෝ නෑ, අමනුෂ්‍යයෝ නෑ කියලා. අපි පරමාර්ථ වශයෙන් නාමරූප ධර්මයන් දකිනකොට දකින්නට ඕනෑ, තමන්ගේ සිත තුළ මේ නාම ධර්මයන් ඇතිවීමක් හැර මෙතන වෙන දෙයක් නැහැ නේද කියන කරුණ. ඕනම දෙයක් පිළිබඳ ඒකයි.සත්‍යය ඒකයි.

එතකොට ඒ නාම ධර්ම වල ස්වරූපය මොකක්ද? ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා.-ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා.. වේගයෙන් ඇතිවි ඇතිවී, පැවති පැවතී, නැතිවි නැතිවී යනවා. එහෙම වේගයෙන් ඇති ඇතිවී, පැවති පැවතී, නැතිවි නැතිවී යන මේ නාම ධර්මයන් මම කියලා ගන්නවනම්, මගේ කියලා ගන්නවනම්, මගේ ආත්මයක් කියලා ගන්නවා නම් , මේක සුඛයි, මේක සුබයි, මෙක හොඳයි, කියලා ගන්නවා නම් මේවා ප්‍රාර්ථනය කරනවා නම් ,භවයේ රැඳී සිටීමට කැමැත්තක් තියනවා නම්, මේ ඔක්කොම නාම ධර්ම. ඒවාගේ ස්වරූපය මොකක්ද. ඒවත් ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා. මේ ඇතිවෙන, පවතින, නැතිවී යන මේ නාම ධර්මයන්ගේ ශේෂ වන කිසිවක් නෑ. ඔක්කොම පහන් නිවුණා සේ නිවී ගියා. අපි හිතමු පහන් පහක් දැල්වෙනවා. මේ පහන් පහ අපි සම්පූර්ණයෙන් නිවනවා. නිවුවාට පස්සේ, පහන් පහක් දැල්වි දැල්වී තිබුණා නමුත් ඒ තිබිච්චි දැල්ලවල්, ඒ ආලෝකවල් ,ඒ ගින්දර, ඒ තේජෝ ධාතු මොකක්වත් නෑ. නැවත දල්වන එක වෙනම දෙයක්. දැල්වූවට පස්සේ වෙනම ආලෝකවල් පහක් තියෙන්නට පුළුවන්. නමුත් අර කලින් තිබුණ ඒවා නැත්තටම නැහැ. කොච්චර අලුතෙන් ඇතිවුණත්, නැතිවෙච්ච දේ, නැතිවුණා, නිරුද්ධ වුණා කියන්නේ ඒකයි. අනිත්‍යයට වඩා නිරුද්ධ වීම ගැඹුරු දර්ශනයක්.

එතකොට මේ විදියට තමන්ගේ නාම ධර්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා නම් මෙතන මම කියලා ගන්නට, ආත්මය කියලා ගන්නට කිසිවක්ම ඉතුරු වන්නේ නැහැ. සියල්ලම හිස්. ඒ හිස් බාවයකට හිත පත්වුණා නම් ඒ හිස් භාවය පවා නාම ධර්මයක්. ඒ හිස් භාවයට අරමුණු වන්නේ ආකාශය නම්; අභ්‍යවකාශය නම්, අභ්‍යවකාශය කියන එක ආකාශ ධාතුවට අයත් එකක්. ඒකත් රූප ධර්මයක්. ඒ රූප ධර්මය කියන්නෙත් තමන්ගේ සිත ගිහිල්ලා ඒක ස්පර්ශ කිරීම නිසා වැටහෙන එකක්. එතන තියෙන්නෙත් නාම ධර්මයක්. ඒ කියන්නේ සිතයි, අරමුණයි දෙකම නාම ධර්මයක් බවට පත්වන්නට ඕන. ඒ නාම ධර්මයත් ඇතිවෙනවා-පවතිනවා-නැතිවෙනවා. එසේ වූ කල මොකක්වත් ඉතිරි වන්නේ නැහැ මම මගේ කියලා ගන්නට කියන පැහැඳිළි අවබෝධය තමන්ට අත්දකින්නට පුළුවන් වනවා. ඒ නාම රූප ගැන පැහැඳිළි අවබෝධයක් තුළින් ඒ ආකාරයෙන් කටයුතු කරලා, ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් ආකාරයක් අපි ප්‍රකාශ කළේ. මෙහෙම හරි අත්දැකීමක් ලැබුවොත් අපට තේරෙනවා, බුදු හාමුදුරුවෝ කියපු පාඨයක සම්පූර්ණ සත්‍යතාවය.

“එත්තාවතාකො ආනන්ද …(පාලි පාඨය )..” කියන එක තමන්ටම පැහැඳිළිව පේනවා. බුදු හාමුදුරුවෝ දේශනා කරපු එක තමන් අත්දකිනවා. ඒ කියන්නේ “මේ ලෝකයේ යම්කිසි ආකාරයකින් අපි උපදිනවාය; ජරාවට පත්වෙනවාය; මිය යනවය; චුත වෙනවය; නැවත තැනක උපදිනවය; ආදී වශයෙන් අපි ප්‍රකාශ කරනවනම් , නැත්නම් මෙයා හොඳ කෙනෙක්ය, නරක කෙනෙක්ය, උගතෙක්ය, නූගතෙක්ය, ලේකඛයෙක්ය; පණ්ඩිතයෙක්ය ආදී ව්‍යවහාර කරනවා නම්, නැත්නම් මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා පංචස්කන්ධ ධර්මයක්ය කියලා අපි කියනව නම්; මේ ආදී විවිධාකාරයෙන් කතා කරනවා නම්; නැත්නම් මේ සංසාරය කියලා අපි කියනවා නම් ; ඒ ඔක්කෝම කියන්නේ මොකටද දන්නවද .. අන් කිසිවකට නෙවෙයි, නාම රූප දෙක ප්‍රත්සන්ධි විඤ්ඤාණය සමඟ එක්ව එකිනෙකට උපකාර වෙමින් පවත්නා වූ ක්‍රියාදාමයකට කියන වෙනත් වචනයක්.

මේක හරියටම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕන. ඒ කියන්නේ අපි විවිධ නම් වලින්, සංඥා වලින් හඳුනා ගන්නවා. අපි ලෝකයේ නොයෙක් දේවල් වලට සම්මුති දාගන්නවා. ඒ නම් ඔක්කොම සම්මුති. “එය හොඳයි, ලස්සනයි, කැතයි, මහතයි, කළුයි, සුදුයි” ඔක්කොම සම්මුති. නැත්තම් “මෙයා අසවලා, අසවලා” ආදී ඔක්කොම සම්මුති. නැත්තම් “මේවා රූප- වේදනා- සංඥා- සංඛාර- විඤ්ඤාණ , නාමරූප, හේතු ඵල” ඔක්කොම ප්‍රඥාවෙන් අපි අපේ භාවනා පැත්තට අනුව බලනකොට දකිනවා නම් යම්තාක් දේවල්, නැත්තම් මේ සංසාර වෘථය පැනවීම සඳහා මේ මේ දේවල් කියලා අපි පනවනව නම්; මේවා ඔක්කෝම සිතේ පවත්නා වූ නාම රූපය සහ විඤ්ඤාණය කියන දෙක , ඒ කියන්නේ නාම රූප දෙකයි, ප්‍රතිසන්ධි විඤ්ඤාණයයි ඒ දිගින් දිගට පැවැත්මයි කියන කාරණා දෙකේ දිගින් දිගට ගමන් කිරීමේ ක්‍රියාදාමයට කියන වෙනත් වචනයක්. උපදිනවා, මැරෙනවා, දිරනවා, නැවත උපදිනවා, මේ ඔක්කොම ඒ සඳහා කියන දෙයක්. එතකොට පැහැඳිළිවම තමන්ට තේරෙනවා මෙතන නාමරූප ධර්මයන් මේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙවී යනවා. මේ මේ හේතූන් අනුව මේ මේ නාම රූප ධර්මයන් මේ විදියට ඇතිවී ඇතිවී -නැතිවී නැතිවී යනවා මේවා කෙරෙහි පැහැඳිළි අවබෝධයක් නැති මුලාව නිසා අනනුබෝධය නිසා, ඒ අවිද්‍යාවෙන් බරවෙච්චි නිසා, මේවා සත්වයෝ වශයෙන් , පුද්ගලයෝ වශයෙන්, ආත්ම වශයෙන් අරගෙන ග්‍රාහණය කරගෙන උපාදාන කරගෙන, මේවා පවත්වාගෙන යෑමට ආශාවෙන් බරිත වෙලා, භව ආශාවෙන් බැඳිලා, අවිද්‍යාවෙන් මුලා වෙලා දිගින් දිගට-දිගින් දිගින් දිගට-දිගින් දිගට සංසාරය පුරා මේ විදියට පැවතගෙන-පැවතගෙන-පැවතගෙන ආවා. ඉදිරියටත් මෙලෙසින්ම පැවතගෙන යනවා.

මේ මුලාව තියන තාක් කල් කියලා ඒ කරුණ අපට ඕන නම් දකින්නට පුළුවන්. මේ විදියට මේවායින් ඇතිවන ගැඹුරු ගැඹුරු අවබෝධ; තව විශාල අවබෝධ රාශියක් තිබෙනවා. ඒවා මේ දේශනාවට ඇතුළත් කිරීමෙන් කිසිම ඵලක් නෑ. ඒ නිසා මේ නාමරූප ගැන පැහැඳිළි අවබෝධයක් ඇතිකර ගත යුතුයි. එසේ ඇතිකර ගැනීම තුළින් විශිෂ්ඨ ප්‍රතිපල ලබන්න පුළුවන්.
“මේ සියළුම නාමරූප ධර්මයන් කෙරෙහි කෙනකුගේ සිත තුළ මමායනයක් නැත්තම් , මම කියන හැඟීමක් , මගේ කියන හැඟීමක් නැත්තම්, මේවා කැඩෙන විට, බිඳෙන විට, නැතිවෙන විට ශෝක කරන්නේ නැත්තම් , එවැනි කෙනා ඒකාන්ත වශයෙන්ම භික්ෂුවක් යැයි ප්‍රකාශ කරනවා” කියලා ධම්මපදයේ ගාථාවක් සඳහන් වනවා.

ඒක නිසා මේ නාම රූප ධර්ම නාම රූප ධර්ම වශයෙන්ම දකින්නට ඕන. ඒ දකිනකොට, මේවා කැඩෙනකොට, බිඳෙන කොට, ගිළිහෙන කොට , නැතිවෙන කොට කිසිම හිතට දුකක්, වේදනාවක්, පරිළාහයක්, සංතාපයක් ඇතිවන්නේ නැහැ. මොකද හේතුව “හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම ඇතිවෙනවා. හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම පවතිනවා. හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම නිරුද්ධ වනවා. ඒක හරියට අවබෝධ වුණාට පසුව එහිලා කවර නම් පරිදේවයක්ද? ” එතකොට මේ විදියට එ කරුණු පැහැඳිළි ලෙස අත්දකින්නට පුළුවන් නම් විශිෂ්ඨතම ප්‍රතිපල ලබාගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා.

ඒක නිසා මේ නාම රූප ධර්ම නාම රූප ධර්ම වශයෙන්ම දකින්නට ඕන. ඒ දකිනකොට, මේවා කැඩෙනකොට, බිඳෙන කොට, ගිළිහෙන කොට , නැතිවෙන කොට කිසිම හිතට දුකක්, වේදනාවක්, පරිළාහයක්, සංතාපයක් ඇතිවන්නේ නැහැ. මොකද හේතුව “හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම ඇතිවෙනවා. හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම පවතිනවා. හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම නිරුද්ධ වනවා. ඒක හරියට අවබෝධ වුණාට පසුව එහිලා කවර නම් පරිදේවයක්ද? ” එතකොට මේ විදියට එ කරුණු පැහැඳිළි ලෙස අත්දකින්නට පුළුවන් නම් විශිෂ්ඨතම ප්‍රතිපල ලබාගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාව දැන් නිමකරනවා.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

One thought on “නාමරූප (5 කොටස )

  1. අනේ අපේ දේශකයානන් වහන්සේසටත් මේ ධර්ම දානයට වෙහෙස මහන්මසි වූ පිංවත් ඹබ සැමටත් හැකි ඉක්මනින්ම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේධවා.
    සාදු සාදු සාදු🙏🙏🙏

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.