කවුරුත් සාවධානව හොඳින් අහන්න. අද වැඩිපුර ධර්මය ගැන අවබෝධයක් නැති පිරිසක් සිටින බව පෙනෙන නිසා අප කල්පනා කළා මේ අයට ධර්මයේ තියන “ඒහි ඵස්සික” ගුණය අළලා සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට.
“ඒහි ඵස්සික” කියන එකේ අදහස මෙම ධර්මය මෙහි ඇවිල්ලා බලන්න යැයි කීමට සුදුසුකම් තියනවා. මේ ලෝකයේ වෙනත් ආගම් තියනවා, ඒ වෙනත් ආගම් වල තියන කිසිම ධර්මයක් මෙහි ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්නට පුළුවන් ධර්ම නෙවෙයි. විශේෂයෙන්ම බොහෝ ආගම් වල බුද්ධාගම හැර අනික් සෑම ආගමකම බලාපොරොත්තු වන පරමාර්ථය මරණින් පස්සේ ඇතිවන දෙයක්. උදාහරණ වශයෙන් කිව්වොත් ස්වර්ගය කිව්වොත් එහෙම ඒක මරණින් පස්සේ අත්දැකිය හැකියි කියා හිතා ගන්නා දෙයක්.
බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් එක උපමාවක් වඳාළා. හතරමං හන්දියක මිනිහෙක් ඉණිමඟක් බැඳ බැඳා සිටිනවා. ඥාණවන්ත පුරුෂයෙක් ඇවිල්ලා ඒ පුරුෂයාගෙන් අහනවා; “ඔබ මේ මොකක්ද කරන්නේ ?” “මම මේ ස්වර්ගයට යන්න ඉණිමඟක් අහසට තියන්න හදනවා” “මේ ස්වර්ගය තියෙන්නේ නැගෙනහිර පැත්තෙද ?” “නෑ මං දන්නේ නෑ” “දකුණු පැත්තෙද ?” “ඒත් දන්නේ නැහැ” “බටහිර පැත්තෙද ?” “ඒක දන්නේත් නැහැ” “උතුරු පැත්තෙද?” “ඒක දන්නේත් නැහැ”. මේ පුද්ගලයා උත්තර දෙනවා. “මේ ස්වර්ගයට ගිය කෙනෙක් ඇවිල්ල කිව්වද ඔබට, ‘මම දැන් ස්වර්ගයේ ඉන්නවා’ යැයි කියලා?”. “නෑ, එහෙම කවුරුත් ඇවිල්ලා කියලත් නෑ”. “නැත්තම් ඔබ ස්වර්ගය දැකලා තියනවද?”. “එහෙම මම දැකලත් නැහැ” “ස්වර්ගය දැකපු කෙනෙක් ගැන ඔබ අහලා තියනවද ?”. “එහෙමත් නැහැ”. “එහෙම නම් මොකද්ද ඔබ මේ කරන වැඩේ තේරුම?”
බුදු රජාණන් වහන්සේගේ ධර්මය එහෙම නෙමෙයි. මෙහි ඇවිල්ලා බලන්නට යැයි කියලා පෙන්වන්නට පුළුවන් ධර්මයක්. අපේ අතේ යමක් තියාගෙන අත මිට මොළවාගෙන සිට කෙනෙකුට කියනවා, “මගේ අතේ යමක් තියනවා, වටිනා මැණිකක් හරි කුමක් හරි, මෙන්න මේක ඇවිල්ලා බලන්න” කියලා පෙන්වනකොට, ඇඟිලි දිග හැරලා අපට ඒක පෙන්වන්න පුළුවන්. අතේ යමක් නැති කෙනෙකුට එහෙම දිග හැරලා පෙන්වනකොට කිසිවක් දර්ශනය වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය “විවටෝ විරෝචථි”; “විවෘථ වන්නට වන්නට බැබළෙන ධර්මයක්”. වෙනත් ධර්ම වැසෙන විට වැසෙන විට තමයි බැබළෙන්නේ. ඒ කියන්නේ ඒවාගේ තියන ඇත්ත ඇති සැටියෙන් විමසා විමසා බලන්නට ගියාට පසු ඒවා හිස් වූ ධර්මය, වැරදි ධර්මය කියලා කෙනෙකුට, ප්‍රඥාව තියන කෙනෙකුට, අත් දකින්නට පුළුවන්.
බුදු රජාණන් වහන්සේගේ ධර්මය එහෙම නෙවෙයි. ඥාණවන්ත කෙනෙකු විසින් නැවත නැවත නුවණින් විමස විමසා බලන විට තව තවත් ගැඹුරින් ගැඹුරට මේක සත්‍යයයි කියලා දකින්නට පුළුවන් . ඒ වගේම ඕනෑම ප්‍රඥාවන්ත කෙනෙකුට කතා කරලා කියන්නට පුළුවන්, මෙන්න මේ ධර්මය බොරුද ඇත්තද කියලා ඇවිල්ලා බලන්නටය කියලා. ඒකයි ඒහි ඵස්සික කියන එකේ සරල අදහස. මේ ඒහි ඵස්සික ගුණය විශේෂයෙන්ම නිරෝධ සත්‍යය සහ, මාර්ග සත්‍යයටයි වැඩිපුර අදාළ වන්නේ.
කෙසේ වෙතත් බුදු රජාණන් වහන්සේ යම්තාක් ධර්ම දේශනා කරලා තියනවා නම් සූත්‍ර පිඨකයේ තියෙන බොහෝ දේශනා, සියල්ලම නෙමෙයි, බොහෝ දේශනා ප්‍රඥාව තියෙන කෙනෙකුට භාවනා අත්දැකලා තිබෙන කෙනෙකුට, කොයිතරම් නම් දුරට සත්‍යයද කියලා කියන්නට පුළුවන්. ඒ ධර්මයට අපට නිර්භයවම ප්‍රකාශ කරන්නට පුළුවන් මේක ඇවිල්ලා බලන්න බොරුද ඇත්තද කියලා. එහෙම අපට කියන්නට පුළුවන්. එතකොට ඒ මුළු ධර්මයම යම්තාක් දුරට යම්කිසි කෙනෙක් දන්නවා නම්; ඒ වගේම යම්කිසි කෙනෙක් ඒ ධර්මය අවබෝධ කරගෙන තමාගේම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ඒ ධර්මය දකිනවා නම්; ඒ තාක් දුරට තමයි මේ ධර්මයේ තියන ඒහි ඵස්සික ගුණය අත්දකින්නට පුළුවන් වන්නේ. අන් අයට ඒක අත් දකින්නට බැහැ. විශේෂයෙන්ම නුවණ නැති කෙනෙකුට මේ ඒහි ඵස්සික ගුණය කුමක්ද කියලා දැනගන්නට බැහැ.
බුදු රජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වන්නේ චතුරාර්‍ය සත්‍යය ධර්මයන් මතුකරලා ලෝක සත්වයා සසර දුකෙන් මුදවීම සඳහා. මේ චතුරාර්‍ය සත්‍යය ධර්මයන් අතුරෙන් දුක්ඛ සත්‍යය බුදු කෙනෙක් ලෝකයේ පහළ වුණත් නොවුණත් ලෝකයේ පවතින ධර්මයක්. නමුත් ඒ දුක්ඛ සත්‍යය බොහෝ දෙනෙකුට අවබෝධ කරගන්නට නොහැකි කම තමයි තියන ප්‍රශ්නය. බුදු රජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය යම් ආකාරයෙන් ප්‍රකාශ කළා නම් ඒ දුක්ඛ සත්‍යය “කථමේතං අවිතථ මේතං අනන්ඤත මේතං” . ඒක එහෙම්මමයි. වෙනස් ආකාරයකට ඒ දුක්ඛ සත්‍යය විස්තර කරන්නට හැකිකමක් නැහැ. වෙනත් ආකාරයකින් තවත් කෙනෙකුට ඇවිල්ලා මේක වැරදියි කියලා පෙන්වන්නට පුළුවන් කමක් නැහැ.
බුදු රජාණන් වහන්සේ ජාතිය දුකක් කියලා පෙන්නුම් කොට වඳාළා. ප්‍රඥාවන්ත කෙනෙකුට අපට කියන්නට පුළුවන් නිර්භයවම මේ ජාතිය දුකක් නෙවෙයිද කියලා ඇවිල්ලා බලන්න. මේ ජාතිය නිසා කොයිතරම් නම් දුක් ඇතිවෙනවද කියලා අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගත්තාට පසුව තමන්ටම තේරේවී ජාතිය කියන්නේ දුකක් කියලා මම කීවේ කුමක් නිසාද කියන කරුණ. ජරාව දුකක් කියන එක ඕනෑම කෙනෙකුට ඇවිල්ලා, මෙහෙ ඇවිල්ලා මේ ජරා දුක නැද්ද කියලා බලන්නැයි කියලා කියන්නට පුළුවන්. පෙන්වන්නට පුළුවන්. ව්‍යාධි දුක එලෙසින්ම පෙන්වන්නට පුළුවන් දුකක්. මරණ දුකත් එලෙසින්ම අපට පෙන්වන්නට පුළුවන්. මේ මරණ දුක කියලා දෙයක් නැද්ද, තියනවද නැද්ද කියලා යම්කිසි කෙනෙකුට සැකයක් නැතිවෙන විදියටම මරණ දුක ඒකාන්ත වශයෙන්ම පවතිනවායැයි කියලා පෙන්වන්නට පුළුවන්. ශෝක කිරීමේ දුක් තියනවා; පරිදේව කිරීමේ දුක් තියනවා; කායික දුක් තිබෙනවා; මානසික දුක් තියෙනවා; නොයෙක් ආකාරයෙන් වෙහෙස වීම් නිසා ඇතිවන ආයාසයන් නිසා ඇතිවන උපායාස දුක් තිබෙනවා. මේ දුක් සම්පූර්ණ වශයෙන්ම තිබෙන බව සත්ය බව ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්. අප්‍රියයන් හා එක්වීම නිසා ඇතිවෙන දුක් තිබෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙන දුක් තිබෙනවා. ඒ වගේම තමා කැමති නැති දේවල් ලැබීමේ දුක තිබෙනවා. කැමති දේවල් නොලැබීමේ දුක පවතිනවා.
මේ ආදී සියළුම දුක් සත්‍යය වශයෙන්ම පවතින බව කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්. බුදු රජාණන් වහන්සේ අවබෝධ කළ ඒ දුක්ඛ සත්‍යය ඇත්තද නැත්තද කියලා මෙහි ඇවිල්ලා බලන්නටය කියලා ඕනෑම කෙනෙකුට අභියෝග කරලා පෙන්වන්නට පුළුවන් සත්‍යයක්. ” සංඛිත්තියේන පන්ච උපාදානස්කන්ධා දුක්ඛා ” කියලා දුක්ඛ සත්‍යය විස්තර කරන විට බුදු හාමුදුරුවෝ වඳාළා. දුක්ඛ සත්‍යය කියන්නේ කෙටියෙන් කියනවානම් මේ ඇඟේ සහ සිතේ නැත්තම් මේ නාමරූප ධර්මයන්ගේ, මේ පන්චස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මමයි කියලා බුදුරජාණන් වහන්සේ එලෙසින් වඳාළා. එතකොට මේ පන්චස්කන්ධ ධර්මයන්ගේ පැවැතීමම ඒකාන්ත වශයෙන්ම දුකක්ය; මේ පන්චස්කන්ධ ධර්ම පවතින තාක් කල්ම දුක නැවත නැවත ඇතිවෙනවාය කියලා බුදු රජාණන් වහන්සේ පෙන්නුම් කළ ඒ ධර්මය ඇත්තද බොරුද කියලා ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්නටය කියලා අපට අභියෝග කරලා කියන්නට පුළුවන්. ඒක ඒහි ඵස්සික ගුණයක්.
මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ දෙශනාවක් ඇසුරෙනි.