නාමරූප (4 කොටස )

No automatic alt text available.

ඒ වගේම මේ නාමස්කන්ධය අනාත්මයි කියන එක අවබෝධ කරගත යුතුයි. මේ නාමස්කන්ධය නිසා තමයි , මමය කියලා හිතන්නේ, මගේය කියල හිතන්නේ. මම, මගේ කියලා හිතන එකත් නාම ධර්මයක්. වෙන දෙයක් නෙවෙයි. මේකේ ආත්මයක් තියනවා, මෙත ස්ත්‍රියක් ඉන්නවා, පුරුෂයෙක් සිටිනවා ආදී වශයෙන් යම්කිසි කෙනකුගේ සංකල්පනාවක්, සංඥාවක් ආදී දේවල් තියනවා, ඒ ඔක්කොම නාමස්කන්ධයට අයත් ධර්ම. ඒවා ඒ ඒ අයගේ, පුද්ගලයන්ගේ සිත තුළ පවත්නාවූ සිතිවිලි, නාම ධර්ම පමණයි. වෙනදෙයක් නෙවෙයි. තමන්ගේ ඇඟ අරගෙන මේ මගේ ඇඟ කියලා හිතනවනම්, ඒක තමන්ගේ සිතිවිලි ධර්මයක් පමණයි. නාම ධර්මයක් පමණයි. වෙන දෙයක් නෙවෙයි. ඉතින් නාම ධර්ම ඇතිවි ඇතිවී – නැතිවි නැතිවී යාමක් හැර මෙතන සත්‍ය වශයෙන් වෙනත් දෙයක් නැහැ. ඒක නිසා තමන්ට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන මේ නාමස්කන්ධය ඒකාන්තයෙන්ම අනාත්මයි කියලා.

මෙහි තිබෙන ආත්ම ස්වරූපයට බොහෝ දෙනා මුලා වෙනවා. මොකද සිතේ ස්වරූපය අවබෝධ කරගන්නට නොහැකි නිසා. රහත් වන තෙක්ම ඒ මුලාව පවතිනවා කෙනෙක්ගේ සිත තුළ. එම නිසා නාමස්කන්ධය ඔක්කොම අනාත්මයි කියලා තේරුම් ගන්නට ඕන. අනාත්මයි කියලා තේරුම් ගැනීමට මේ නාමස්කන්ධයේ ඇතිවීමේ හේතුව දකින්නට ඕන, සමුදය. මේ මේ හේතුන් නිසා මේ නාමය ඇතිවෙනවා යැයි කියලා.අර වේදනා, සංඥා, සංඛාරා කියන තුනම ඇතිවීමේ හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ඵස්සය.
ඒ වගේම විඤ්ඤාණය ඇතිවීමේ හේතු වශයෙන් උන්වහන්සේ දක්වලා තියෙන්නේ නාමරූප. ඉතින් මේ එකම හේතුව නෙවෙයි, ප්‍රධාන හේතුව දක්වා තිබෙන්නේ. ඕවා ගැන දීර්ඝ වශයෙන් මෙවැනි දේශනාවකදී ඉදිරිපත් කරන්නට බැහැ. ඒවා දීර්ඝ වශයෙන් විස්තර කරනකොට, විස්තර වශයෙන් අවබෝධ වෙනකොට, ඒ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ ප්‍රධාන හේතුව පමණයි, තවත් හේතු රාශියක් මේ නාමස්කන්ධයන් ඇතිවීම සඳහා ප්‍රත්‍ය වන බව තමන්ට තේරෙනවා.

එතකොට ඒ නාමධර්මයන් ඇතිවීමට යම් යම් ප්‍රත්‍ය වන හේතු වන කරුණු තියෙන්නට ඕන. ඒ හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයන් හැර මෙතන වෙන දෙයක් නැහැ කියන කරුණු අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි. වේදනාව ගත්තත්, තමන් වේදනා විඳිනවා, මගේ වේදනාවක් නෙවෙයි. තමන් වේදනා විඳිනවා නෙවෙයි. හේතුන් නිසා හටගත් ඵලයක්. සංඥාවක් වුණත් හේතුන් නිසා හටගත් ඵලයක්. සංස්කාර කියන එකත් එහෙමයි, විඤ්ඤාණය කියන එකත් හේතුන් නිසා හටගත් ඵල ධර්මයන්. තමන්ට ඕන විදියට ඇතිකරගන්නටත් බැහැ, තමන්ට ඕන විදියට නැතිකරගන්නටත් බැහැ. හේතුන් තියනකොට ඇතිවෙනවා, හේතුන් ගිළිහී යනකොට නැතිවී යනවා.
ඒකයි ඒකේ ස්වරූපය. මේ අනාත්ම ස්වරූපය තේරුම්ගත යුතුයි.

ඊට අමතරව මේ නාමස්කන්ධය දුක්ඛ ධර්මයක් කියලා අවබෝධ කරගන්නට ඕන. යම්තාක් දුක් අපි අත්දකිනවා නම් අපි අත්දකින්නේ, නාමස්කන්ධයේ පැවැත්ම පවතින තාක් පමණයි. අපි දැන් මෙතන ඔක්කෝම සිහිනැති කළා නම් එහෙම දවස් තුන හතරකට සම්පූර්ණයෙන්ම, ඒ දවස් තුන හතරක කාල පරිච්ඡේදය තුළඳීම අපිට කිසිම වේදනාවක් දැනෙන්නේ නෑ. සැපක්වත්, දුකක්වත්, මැදහත් බවක්වත් මොනම එකක්වත් නෑ, හිත නැත්නම් කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට මේ සිතේ ක්‍රියාදාමය පවතින නිසා තමයි යම්තාක් දුක් අපිට අත්දකින්නට පුළුවන් වනෙනේ. රූපස්කන්ධය තුළින් ඇතිවන දුක් පවා, කායික දුක්ඛ වේදනා පවා අපිට දැනෙන්නේ මනසට. කයේ ඇතිවුණාට. ඒක නිසා මේ සියළුම නාමස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දකින්නට ඕන. දුක් උපදවා දෙන සමුදය වන්නෙත් නාමස්කන්ධය. දුක වන්නෙත් නාමස්කන්ධය. මේ විදියට දුකක් සහ දුක්ඛ සමුදයක් වශයෙන් මේ නාමස්කන්ධය පැහැඳිළිව අවබෝධ කරගත යුතු වෙනවා. මෙන්න මේ විදියට නාම කියන එකයි, රූප කියන එකයි පිළිබඳව, මම මේ ඉතාම සරලව කෙටියෙන් කිව්වේ, විස්තර වශයෙන් කතා කළා නෙවෙයි, ගැඹුරින් කතා කළා නෙවෙයි. එතකොට ඒ දෙක පැහැඳිළිව අවබෝධ කරගන්නට ඕන. මෙතන නාමයක් තියෙනවා, මෙතන රූපයක් තියෙනවා යැයි කියලා. මේ දෙක අවබෝධ කරගත්තාට පස්සේ භාවනා කරන විට නාම රූප වෙන් වශයෙන් දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා.

ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාණය කියලා. නාම රූප වෙන් වශයෙන් දකින්නට පුළුවන් නුවණ කියන එකයි එහි අර්ථය. එතකොට අපි උදාහරණ වශයෙන් කතා කරනවා නම්, ධාතු මනසිකාර භාවනාව කියලා හිතමු, පඨවි, ආපෝ, තෙජෝ, වායෝ කියලා දකිනවා යැයි කියලා. ඒ පඨවි කියලා දකින්නේ අපි සිතින්. පඨවි ධාතුව රූප කොටසක් , පඨවි ධාතුව කියලා හඳුනාගත්තේ සිතින්, ඒක නාමයක්. එතනත් නාම රූප දෙකක් තිබෙනවා. නැත්නම් තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආදී වශයෙන් හඳුනාගත්තේ සිතින්. ඒවගේම හඳුනාගැනීමට බඳුන් වූ තේජෝ , වායෝ ආදී කොටස් රූප. මේ විදියට නාම රූප වශයෙන් ඒවා හඳුනා ගන්නට පුළුවන් වන්නට ඕන. නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස කියලා භාවනා කරනවා නම් – ආනාපාන සති භාවනාව කරනව නම්, ආශ්වාස ප්‍රාශ්වාස සහ මුළු කයම අරගෙන සබ්බකාය පටිසංවේදි භාවනා කරනවානම් , මුළු කයම අරගෙන භාවනා කරන විට , ආශ්වාස ප්‍රාශ්වාසත්, මුළු කයත් දෙකම රූපස්කන්ධයට අයත් ධර්මයන්, ඒවා දකින සිත නාමස්කන්ධය.මේ සිත කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන කොටස් හතරටම පොදු වචනයක් වශයෙන් ඒක අපි භාවිතා කළේ. එතකොට ඒ විදියට පිම්ඹීම් හැකිළීම් භාවනාව කරනවා නම්, පිම්බෙන හැකිළෙන උදර කොටස නැත්නම් ශරීරයම පිම්ඹෙනවා හැකිළෙනවා, මුළු ශරීරයම. ඒ පිම්ඹෙන හැකිළෙන වායෝ ධාතුව සහිත මුළු ශරීරයේම රූප, ඒක දකින සිත නාමය.

මේ විදියට නාම රූප වශයෙන් හඳුනා ගන්නට පුළුවන් වන්නට ඕන. අපි භාවනා කරන විට ශබ්දයක් ඇහෙනවිට, “ඇහෙනවා, ඇහෙනවා” කියලා මෙනෙහි කරන්නට කියලා, මුල් අවධිවල කියලා දීලා තියනවා. එතකොට ඒ “ශබ්දයක්, ශබ්දයක්” කියලා මෙනෙහි කරනකොට අපි එතන තියන නාම රූපත් දකින්නට ඕන. කන රූපයක්, කනට ඇහෙන ශබ්දය රූපයක්. මේ ශබ්දය ඇසුණට පස්සේ සෝත විඤ්ඤාණය, අපිට ඒක හඳුනාගන්නට බැරි වුණත් දැනීමක් පහළ වෙනවා. මේ දැනීම, මේ සිත නාමයක්. මේ විදියට නාම රූප වශයෙන්. වේදනාවක් දැනෙනවා නම්, උදාහරණ වශයෙන් දුක්ඛ වේදනාවක් දැනෙනවා නම්, “දුක් වේදනාවක්, දුක් වේදනාවක් ” කියලා මෙනෙහි කරන්නට කියලා මුල් අවස්ථා වලදී කියනවා. ඒ වගේම රත්වෙනවා, තද වෙනවා වගේ දේවල් එනකොට ඒවා මෙනෙහි කරන්නට කියලා කියනවා. මේ විදියට, ටිකක් දියුණු වුණාට පස්සේ, නාම රූප වෙන් වශයෙන් දකින්නට ඕන. භාවනා කරන කොට ඇඟ රත්වෙනවා නම් ඒ රත්වෙනවා කියන්නේ, තේජෝ ධාතුව, ඒක රූප කොටසක්, ඒ රත්වෙනවා කියලා දැනෙන්නේ නාමයකින්. ඒක සිත, නාමස්කන්ධයට අයත් ධර්මයක්. ඒ වගේම තමයි තද වෙනවා නම් යම්කිසි ශරීර කොටසක් ඒ පඨවි ධාතුවේ ලක්ෂණය තමයි තදගතිය මෘදු ගතිය ආදිය. එතකොට ඒ පඨවි ධාතුවයි අපිට ඒ අරමුණ. ඒක දකින සිත නාමය. නැත්නම් අපි හිතමු වේදනාවක් දැනෙනවා කියලා, දුක්ඛ වේදනාවක්. ඒ ශරීරයේ යම්කිසි කොටසක දුක්ඛ වේදනාවක් දැනෙනවා නම් ඒ ශරීර කොටස තමයි රූපය, දැනෙන දුක්ඛ වේදනාව තමයි නාමය.

මේ විදියට භාවනාවට ගනු ලබන, එනු ලබන සෑම අරමුණක්ම නාමරූප වශයෙන් වෙන්කර කරා, වෙ කර කරා, බලාගෙන බලාගෙන යනකොට තම්න්ට පැහැඳිළිවම පෙනෙන්නට ඕන මෙතන නාමයක් තියෙනවා, මෙතන රූපයක් තියෙනවා මේ දෙක හැර තව මොකක්ද තියෙන්නේ, තව මොකක්වත් නැහැ නේද කියන කරුණ. එ කියන්නේ නාම රූප හරියට පැහැඳිළිවම පෙනුණට පස්සේ වෙන් කරලා බලනවා මේ නාමය හැර, මේ රූපය හැර තවත් මොකක්වත් මේ පංචස්කන්ධ ලෝකය තුළ තියෙනවද කියලා. මම කියලා ගන්නට හරි, මගේ කියලා ගන්නට හරි , එහෙම යම්කිසි හැඟීමක් හරි, දැනීමක් හරි සියුම්ම සියුම් දැනීම මාත්‍රයක් හරි තියෙනවනම් ඒකත් නාමස්කන්ධයට අයත් දෙයක්. ඒ කියන්නේ යන්නට පුළුවන් අන්තිම පහළට, යටටම තත්වයට සිත ගිහිල්ලා නතර වෙලා ඉතාම සියුම් දැනීමක් තිබුණත් ඒකත් නාම ධර්මයක්.
මුළු ශරීරයම නොපෙනී ගොස් කළුවරක් වැටුණා වාගේ ගිහිල්ලා යම්කිසිස් ආකශමයක්, නැත්නම් කළුවරක් වගේ දෙයක් පේනවා නම් ඒකත් සිතට පෙනී යන නාම ධර්මයක්.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.