නාමරූප (3 කොටස )

15781468_571074563088496_3908800489885970_n.jpg?oh=7fd2a69970cbe36dbc48109553e6f8b6&oe=58F05FEF

සංඛත, අසංඛත ඕනෑම දේකට ධාතු කියන වචනය පාවිච්චි කරන්නට පුළුවන්. ධාතු කියන්නේ සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නොවන ස්වරූපය කියන එක. එතකොට මුළු ශරීරයේම තියන මූල ධාතු හතර පඨවි ධාතු දෙස බලලා, මේක ආත්මයක් නොවේ, මම මගේ නොවේ, හුදු හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයක් කියලා හිතලා ඒ පඨවි ධාතුව සිතින් වෙන් කරනවා නම්, ඒ වගේම එලෙසින්ම සිතලා ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් වෙන් කළොත් එහෙම මේ ධාතු කොටස් හතර, හතර පැත්තකට අයින් කරන්නට පුළුවන් සිතින්.
එක ළඟ සිටගෙන ඉන්න හතර දෙනෙක් හතර පැත්තට ගියාට පසුව , ඒ කලින් හිටගෙන හිටපු තැන කිසිවෙක් නෑ. ඔක්කොම හිස් බාවයට පත්වී යනවා. මේ විදියට මේ ශරීරයේ තියන මූල ධාතු හතර සමාධි, ප්‍රඥාවෙන් යුතුව ඈත් කළොත් එහෙම තමාගේ ශරීරය සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී යනවා. සිතට රූප නිමිත්ත වැටහෙන් නෑ. රූප නිමිත්ත කියන්නේ තමන්ගේ ශරීරය දෙස සිතින් බැලුවාම, සිතට ඒක පේනවා. මේකට අපි රූප නිමිත්ත කියන්නේ. මේ සිතට , රූප නිමිත්ත සම්පූර්ණයෙන්ම නැතිවී ගොස් සිතින් රූප නිරුද්ධ වී යනවා. මේක පහළම මට්ටමක තියන රූප නිරෝධයක්.

මේ ආකාරයෙන් ඒ ධාතු හතර වෙන් කරන්නට පුළුවන්. වෙන් කරලා, ඈත් කරන්නට පුළුවන්. ඈත් කළාට පස්සේ “..(පාලි පාඨය ).. “කියලා බුදු හාමුදුරුවෝ දක්වලා තියනවා, ධාතු විභංග සූත්‍රයේ. ඊට පස්සේ විඥ්ඥාණස්කන්ධය විතරයි පවතින්නේ. විඥ්ඥාණස්කන්ධය කියන්නේ මෙතන වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ, කියන කොටස් හතරටම. එතකොට එතන නාමස්කන්ධයේ පැවැත්ම විතරයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම රූපය ශූන්‍ය තත්වයට පත්වෙලා, හිස් වූ ධර්මයක් බවට පත්වෙනවා. රූප නිරෝධයක් තියෙනවා, ඕලාරික මට්ටමක, පහළම මට්ටමක තියන රූප නිරෝධයක් අත්දකින්නට පුළුවන්.

එතකොට නාමය කියන්නේ ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන පහට කියලා, අපි කලින් පාඨයෙන් පෙන්නුම් කළා. පංචස්කන්ධ කතාව අනුව කතා කරනවා නම් රූපස්කන්ධය කියන්නේ, රූප ගොඩ. වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ කියන හතරම නාම ගොඩ. එතකොට, නාමස්කන්ධයට ඒ කොටස් හතරම ඇතුළත් වෙනවා. මේකම තමයි බුදුරජාණන් වහන්සේ මේ වචන පහෙන් වෙනත් ආකාරයකින් ප්‍රකාශ කළේ. ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර; වේදනා කියන්නේ, වේදනාස්කන්ධය; සංඥා කියන්නේ සංඥා ස්කන්ධය, චේතනා සහ මනසිකාර කියන්නේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයත් ධර්ම.
මනසිකාර කියන එකට මුළු සංස්කාර ස්කන්ධයම අයත්. චේතනාවත් සංස්කාර ස්කන්ධයට අයත් ධර්මයක්. එතකොට ඵස්ස කියන්නේ විඤ්ඤාණස්කන්ධය. දැන් චක්ඛුසම්ඵස්ස, සෝතසම්ඵස්ස ආදී ලෙස කතා කරන විට; බුදුරජාණන් වහන්සේ චක්ඛුසම්ඵස්සය විස්තර කරන්නේ, “චක්ඛුඤ්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං..(පාලි පාඨය ) ..” සෝතසම්ඵස්සය හඳුන්වන්නේ ” සෝතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං..(පාලි පාඨය ) ..”. ඇහැයි රූපයයි ගැටීම නිසා, චක්ඛු විඤ්ඤාණය පහළ වෙනවා, ඒ තිදෙනාගේ එකතුවට චක්ඛුසම්ඵස්සය කියලා කියනවා. එතකොට ඇහැ කියන එක රූපයක්. ඇහැට පෙනෙන රූපයත් රූප කොටසක්. එතකොට ඇහැ සහ, ඇහැට පෙනෙන අරමුණ වූ රූපය දෙකම රූපස්කන්ධයට අයත් ධර්මයන්. එතකොට ඒ කොටස් තුනේ, චක්ඛු විඤ්ඤාණයයි, ඇහැයි, රූපයයි කියන කොටස් තුනටම චක්ඛුසම්ඵස්සය කියන කොට , චක්ඛුසම්ඵස්සය තුළ නාමරූප දෙකම තියනවා. දැන් මෙතන නාමස්කන්ධය විතරක් කරනකොට අර රූප කොටස අයින් කරනට ඕන. ඇහැත් අයින් කරන්නට ඕන, ඇහැට පේන රූපයත් අයින් කරන්නට ඕන. එතකොට නාමස්කන්ධය කියන්නේ එතන විඤ්ඤාණය. එතකොට කනයි, ශබ්දයයි ගැටීම නිසා සෝතවිඤ්ඤණය ඇතිවෙනවා. ඒ තිදෙනාගේ එකතුවට සෝතසම්ඵස්සය කියනවා. ඒ සෝතසම්ඵස්සය කියන එකේ නාමරූප දෙකම තියනවා. කනයි, ශබ්දයයි, දෙකම රූප කොටස්.

එතකොට විඤ්ඤාණය සෝත විඤ්ඤාණය; නාම කොටසක්. අනිත් ඉන්ද්‍රියන්ටත් මෙහෙමයි. එතකොට මේ ඵස්සය කියන්නේ, මනස ගිහිල්ලා ස්පර්ශ කරනවා. මනස ගිහිල්ලා මේ අපි යමක් අතින් අල්ලනවා වගේ නෙවෙයි, මනස යම්කිසි ස්පර්ශ කිරීමක් සිදුවෙනවා. මේ ස්පර්ශ කිරීම විඤ්ඤාණස්කන්ධයේ ඇතිවීමක්, වෙනදෙයක් නෙවෙයි. එතකොට එතන කියන්නේ ඵස්ස කියන වචනයෙනුත් විඤ්ඤාණස්කන්ධය. එතකොට අර වේදනා, සංඥා,සංඛාර, විඤ්ඤාණ කියන්නේ නාමයි කිව්වත් එකයි; නාමස්කන්ධය කියන්නේ, වේදනා, සංඥා,සංඛාර, විඤ්ඤාණ කියන කතාවමයි නැත්නම් මේ ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන වචන පහෙනුත් ප්‍රකාශ කරන්නේ. ඒක දෙකක් නෙවෙයි, එකම ධර්මතාවයක්.

එතකොට මේ නාමස්කන්ධයේ ස්වරූපයත් අපි තේරුම් ගන්නට ඕන. කය නිසා සිතේ පැවැත්මත්, සිත නිසා කයේ පැවැත්මත් පවතින ආකාරය තේරුම් ගත යුතුයි. ඒක ඕනම කෙනකුට පහසුවෙන් තේරුම් යන කාරණාවක්. ඒ නාමස්කන්ධයේ ස්වරූපය තමයි රූපස්කන්ධයටත් වඩා වැඩි වේගයකින් ඇතිවි ඇතිවී – නැතිවි නැතිවී යන එක. අනිත්‍යයට යන එක, නාමයේ අනිත්‍යතාවය පහසුවෙන්ම තේරුම්ගන්නට පුළුවන්.

එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වඳාළා, යම්කිසි කෙනෙක් මේ රූපය ස්ථිර ධර්මයක් කියලා ගත්තත් ඒක තරමක් හරි කමක් නෑ කියලා කියතහැකි, මොකද රූපය පියවි ඇහැට පේන්නේ නෑ නිරන්තරයෙන්ම වෙනස් වන ආකාරය, ඒක සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුටයි දකින්නට පුළුවන්, අත්දකින්නට පුළුවන් වන්නේ. අනිත් කෙනකුට මේක නිරන්තරයෙන්ම එක විදියට පවතින දෙයක් වාගේ පියවි ඇහැට පේනවා. නමුත් නාමය දෙස බැලුවොත්, තමන්ගේ සිතින් නාමස්කන්ධය දෙස බැලුවොත්, එක ක්ෂණයක් වත් ඒක පවතින් නෑ, සෑම ක්ෂණයකම අනිත්‍යයට යන ආකාරය දකින්නට පුළුවන් ඒ නිසා නාමස්කන්ධය නිත්‍යයි කියලා ගන්නවනම් ඒක මහා මුලාවක් කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියනවා.

මේ නාමස්කන්ධය අති වේගයෙන් ක්‍රියාත්මක වන නිසා ඇතිවි ඇතිවී-නැතිවි නැතිවී යනවා වේගවත් ක්‍රියාවලියක්, ඒ සිතේ තියන වේගය මනින්නට උපකරණයක් ලෝකයේ නැහැ. අතිශයින් , කියන්නටවත් බැරිතරම් වේගයකින් ඒක වෙනස් වෙවී, වෙනස් වෙවී නැතිවෙමින් නැතිවෙමින් යන්නේ. ඒ වේගවත් ක්‍රියාදාමය නිසා මේක ඒකීය ධර්මයක් වශයෙන්- එකම ධර්මයක් වශයෙන් කෙනකුට වැටහෙනවා, පෙනවා. ඉතින් ඒක එහෙම වුණාට ප්‍රඥාවෙන්, සමාධියෙන් දකිනකොට අපට පුළුවන් මේක නිරන්තරයෙන්ම, වෙනස් වෙවී වෙනස් වෙවී යන ආකාරය දකින්නට. වේදනාව ගත්තත් වෙනස් වෙනවා, සංඥාව ගත්තත් වෙනස් වෙනවා, සිත තුළ පවතින සංස්කාර ගත්තත් වෙනස්වනවා. විඤ්ඤාණය ගත්තත් වෙනස් වෙනවා. විඤ්ඤාණය කිව්වම, චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, මනෝ කියන විඤ්ඤාණ කොටස් හයම මීට අන්තර්ගතයි. නැත්නම් අර ඵස්සය කිව්වත් ඒ විඤ්ඤාණස්කන්ධය ඇතිවෙලා නැතිවෙලා යනවා, වේදනාව, සංඥාව, ඒවගේම චේතනා, මනසිකාර මේ සියල්ලමත් වහ වහා බිඳි බිඳී ඇති ඇතී-නැතිවි නැතිවී යනවා, මේක අනිත්‍යයි කියලා දකින්නට පුළුවන් වන්නට ඕන නාමස්කන්ධය.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

One thought on “නාමරූප (3 කොටස )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.