නාමරූප (2 කොටස )

15697401_571007373095215_1189667871221316132_n.jpg?oh=2185a94aa4114a6b680b4c6a5285d55b&oe=58E69809

මේ රූපයන් නිසාත් යම්කිසි ආශ්වාදයක් ලැබෙනවා සිතට. ආශ්වාදය කුමක්ද කියලත් තේරුම්ගත යුතුයි. ඒවගේම රූපයේ තියනවා ආදීනව රාශියක්. කියන්නට බැරිතරම් අතිවිශාල ප්‍රමාණයක් තියනවා රූපයේ පැවැත්ම නිසා. රූපස්කන්ධයේ පවත්වාගෙන යෑම සඳහා යම්තාක් දේවල් කරන්නට සිදුවෙනවා නම් ඒ සෑම එකක්ම් ආදීනවයක්. මේ රූපය ජරාවට පත්වන එක, ව්‍යාධියට පත්වන එක, දිරන එක, කවල පොවල, නහවල පවිත්‍ර කරල, පෝෂණය කරවන එක, ආරක්ෂා කරවන එක ආදී සෑම දෙයක්ම රූපය තුළ තියන ආදීනවයක්. එතකොට ආදීනවයන් තේරුම් ගන්නටත් ඕන.

ඊට අමතරව මේ රූපය නිරන්තරයෙන්ම ඇති ඇතිවී නැතිවී නැතිවී යන ධර්මයක්ය , අනිත්‍ය ධර්මයක්ය කියලා පැහැඳිළිව අත්දකින්නට ඕන. මේ රූපය ඒකාන්ත වශයෙන් දුකක්මයි කියන අවබෝධය ඇතිවෙන්නට ඕන. ඒවගේම රූපය දුක උපදවා දෙන ස්ථානයක් කියන අවබෝධයත් ඇතිකරගන්නට ඕන. ඊට අමතරව මෙම රූපය, මම හෝ මගේ ආත්මයක් නොවන බව පැහැඳිළිවම තේරුම් ගත යුතු කරුණක්.මේ මම මගේ නොවන, ආත්ම නොවන ස්වරූපය තේරුම්ගන්නට පහසුවෙන්ම පුළුවන්කම ලැබෙනවා හේතු ඵල වශයෙන් දකිනවිට. ඊට අමතරව මේ රූපස්කන්ධයේ තියන මූල ධාතු හතර වෙන්කරලා බලනවිටත් ඒ අනාත්ම ස්වරූපය දකින්නට පුළුවන්කම ලැබෙනවා.

රූපය එක්කෝ ධතු වශයෙන් දකින්නටත් පුළුවන්, නැත්නම් දෙතිස් කුණප කොට්ඨාශයන් වශයෙන් අවබෝධ කරන්නටත් පුළුවන්. දෙතිස් කුණප කොට්ඨාශයන් වශයෙන් අවබෝධ කළාට පසුව කෙස්, ලොම්, නිය , දත්, සම්, මස්,නහර ආදී මේ එක එක කුණප කොටසක් තුළ තියෙන්නා වූ මූල ධාතු හතර වෙන් කරන්නටත් පුරුදු වනන්ට ඕන. දැන් අර කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර ආදි කොටස් 20 පඨවි ධාතු අධික බැවින් පඨවි ධාතු කොටස් කියලා කිව්වට ඒකේ අනෙකුත් සෑම මූල ධාතුත් තියනවා. ආපෝ, තෙජෝ, වායෝ කියන අනිත් ඒවත්. ඒවගේම තමයි, පිත්තං, සෙම්මං, පුබ්බෝ ආදී වශයෙන් කියපු කොටස් 12 ත් ආපෝ ධාතුව අධික බැවින් ආපෝ ධාතුව කියලා හැඳින්වූවට ඒවයේ තියනවා පඨවි, තේජෝ, වායෝ කියන සෙසු කොටසුත්. මෙන්න මේක තේරුම් අරගෙන බලන්නට ඕන.

දැන් උදාහරණයක් අපි කීවොත් එහෙම අපි හිතමු, සම්, මස් කියන්නේ ශරීරයේ තියන පඨවි ධාතුව අධික කොටසක් බැවින් , මේවා පඨවි ධාතු කොටස් වශයෙන් තමයි පොත්වල හඳුන්වන්නේ. නමුත් එහි තියනවා අනිත් ධාතු කොටස් හතරත්.
දැන් එහි තියනවා තෙතමනයක්, ඒක තමයි එහි තියන ආපෝ ගතිය. එහි තියනවා රස්නයක් හෝ සීතලක්; ඒක තමයි එහි තියන තේජෝ ගතිය. ඒ මස් කොටසක් ගත්තොත් එහෙම , වේලිච්ච මස් කොටසක් සහ ඒ කොටස සන්සන්දනය කළොත් ඒකේ තියනවා පිම්ඹිච්ච ස්වරූපයක්. මේ පිම්ඹුණු ස්වරූපය වායෝ ධාතුව නිසා ඇතිවුණු එකක්. එතකොට මස් කියන කොටස සත්‍ය වශයෙන්ම පඨවි, ආපෝ තේජෝ, වායෝ, කියන ධාතු හතරේම සම්මිශ්‍රණයක්.

මේ ධාතු කොටස් හතර, හතර පැත්තකට වෙන් කරන්නට අපට පුළුවන් වුණොත් ඒ මස් කියන දේ නැතිවී යනවා. ඒ කියන්නේ අපි මස් කියලා කතා කළේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරේ සම්මිශ්‍රණයකට. මේ කොටස් හතර හරියට වෙන් කරලා අපි පැත්තකට දැම්මොත් එහෙම ඒ මස් කියන එක නැතිවී යනවා. අනිත් ඒවත් එහෙම තමයි. සම කියලා අපි උදාහරණයකට ගමු. අපි සම කියලා කතා කරනවා, ඒක පඨවි ධාතුව අධික බැවින් ඒක පඨවි කොටසක් කියලා හඳුන්වන්නේ. නමුත් ඒකෙත් තියනවා මූල ධාතු හතරම. එහි තියනවා තෙතමනයක් හෝ රස්නයක්, සීතලක් වැනි දෙයක්. රස්නයක්, සීතලක් යමක තියනකොට ඒකේ තියෙන්නේ ඒ තේජෝ ස්වරූපය. එහි තෙතමනයක් තිබෙනවා. වියළි සමක් හා සම්බන්ධ කරලා, අනෙක් සම දෙස බැලුවොත් එහෙම එහි තිබෙන තෙතමනය පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒක තමයි එහි තිබෙන ආපෝ ගතිය. ඒ වගේම හම, වේළිලා, හැකිළිලා නැතුව, පිම්ඹුණු ස්වරූපයක් තියෙනවා; ඒක තමයි එහි තිබෙන වායෝ ගතිය. එතකොට මේ පඨවි, ආපෝ , තේජෝ,වායෝ කියන මූල ධාතු හතරම තියෙනවා හමේ.

මේ විදියට ඒ කොටස් වල එක එක කොටසක් අරන් මූල ධාතු හතරකින් මේවා නිර්මිත වෙලා තියෙන්නේ කියලා ඒ මූල ධාතු හතර වෙන්කරන්නට පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳයි. එහෙම කරනකොට අපට තේරෙනවා මේ මූල ධාතු වල කිසිම ආකාරයෙන් සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් කියලා ගන්නට කිසිවක් ශේෂ වන්නේ නැහැ නේද කියන කරුණ. එතකොට ඒ මූල ධාතු හතර වශයෙන් කොටස් ඔක්කෝම අරගෙන බැලුවොත් එහෙම ආපෝ කොටස් පවා ගන්නට ඕන, මූල ධාතු හතරක් වශයෙන්.
දැන් උදාහරණයක් වශයෙන් ලේ කියලා ගත්තොත්, ආපෝ කොටසක්, එහි තිබෙනවා රස්නයක්, සීතලක්. එහි තියෙනවා ලේ කැටි ගැසෙන ස්වරූපයක්. කැටි ගැසුණාම තියෙන්නේ ඒකේ පඨවි ගතිය අධික වශයෙන්. එතකොට ඒකේ පිම්ඹිච්ච ස්වරූපයක් තියෙනවා. ඒ විදියට පඨවි ධාතුවත් තියනවා, වතුර ගතියත් තියනවා, රස්නයක් සීතලක් තියනවා, පිම්ඹුණු ගතියක් තියනවා. සෑම මූල ධාතු කොටස් හතරක්ම එහි තියනවා. මේ විදියට තමන්ට පුළුවන් කොටස් තිස් දෙකෙන්, සෑම කොටසකම , තමන්ට පුළුවන් වන ආකාරයෙන් ඒ ධාතු හතර වෙන්කරලා බලන්නට පුළුවන් නම් බොහොම හොඳයි. එතකොට තමයි අපට රූපය ගැන පැහැඳිලි අවබෝධයක් ලබන්නට පුළුවන් වන්නේ.

එහෙම බැලුවාට පස්සේ මේ සෑම කොටසක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ලක්ෂණ තුනට නඟලා බැලුවොත්, රූපයේ නියම තත්වය අපට තේරෙයි. මෙන්න මෙහෙම තේරුණාට පස්සේ මුළු ශරීරයේම තියන රූප කොටස්, නැත්නම් රූපස්කන්ධයම – නාමස්කන්ධය නෙවෙයි අපි මෙතන කතා කරන්නේ, රූපස්කන්ධයම දෙස එකවර සිතින් බලලා ඒකේ තියන පඨවි ධාතුව මේකයි කියලා සිතින් දකින්නට පුළුවන් වන්නට ඕන. ආපෝ ධාතුව මේකයි කියලත් සිතින් දකින්නට පුළුවන් වන්නට ඕන. තේජෝ ධාතුව මේකය, වායෝ ධාතුව මේකය කියලත් ඒ මුළු ශරීරයේම පැතිරී ඇති මූල ධාතු හතර වෙන් වශයෙන් සිතින් දකින්නට පුළුවන් සමත්කමක්, දක්ෂ බාවයක් තියෙන්නට ඕන.
එහෙම දකින්නට පුළුවන් වුණාට පස්සේ මේ මුළු ශරීරයේම තියන පඨවි ධාතුව මම හෝ මගේ ආත්මයක් නොවේ, සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම හෝ මගේ දෙයක් නොවේ කියලා අවබෝධ කරගන්නට ඕන. ධාතු කියන එකේ වචනයේ තේරුම සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, හුදු අනාත්ම ධර්මතාවයක් කියන එකයි. මේ ධාතු කියන එක පාවිච්චි කරන්නේ රූප වලට විතරක් නෙවෙයි. විඥ්ඥාණයටත් විඥ්ඥාණ ධාතුව කියලා කියනවා. වෙන දෙයක් තියා, නිර්වාණයත්, නිබ්බාණ ධාතුව කියලා කියනවා.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.