නාමරූප (1 කොටස )

නාමරූප

අද මේ අයට නාම රූප අළලා සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම නිවන් ලැබීමට බලාපොරොත්තු වන අය විසින් විදර්ශනා භාවනාව තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ අනාත්ම ස්වරූපය අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි. ඒ අනුව අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන දේශනාවක් තමයි මේ නාම රූප වෙන් වශයෙන් දකිමින් කරනු ලබන භාවනාව. නාම රූප වශයෙන් දැකීමෙන් පමණක් නොවෙයි පංචස්කන්ධ වශයෙන් දැකලා ,නැත්නම් ආයතන 6 ක් වශයෙන් දැකලා, එහෙමත් නැත්නම් ආයතන 12 ක් වශයෙන් , නත්නම් ධාතු 6 ක් වශයෙන් ,ධාතු 18 ක් වශයෙන්, හේතු ඵල ධර්මතා වශයෙන් ,පටිච්ච සමුප්පාද ධර්මතා වශයෙන් නත්නම් චතුරාර්‍ය සත්‍ය ධර්ම වශයෙන් ආදී විවිධ ආකාර වලින් දකින්මින් අනාත්ම ස්වරූපය අවබෝධ කරගන්නට පුළුවන්. එක එක්කෙනාගේ ප්‍රඥාවේ මට්ටම මත ඒ අවබෝධ කරගන්නා ආකාරය ,විලාශය වෙනස් වනවා.

බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයන් විස්තර කරන විට “විඤ්ඤාණ පච්චයා නාමරූපං ” කියන තැන එන නාම රූප කියන වචනය එක් අවස්ථාවකදී විස්තර කොට වඳාරළා තිබෙන්නේ මෙන්න මේ විදියට. “කතමඤ්ච භික්ඛවේ නාමරූපං..( පාලි පාඨය )… ” කියලා ඒ විදියට ඒක විස්තර කරලා තිබෙනවා.
සතර මහා භූත සහ සතර මහා භූත නිසා යම්කිසි උපාදාය රූපයක් ඇතිවුණා නම් ඒකට “රූපය” කියලා කියනවා. ඒ වගේම ඵස්ස,වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන කොටස් වලට “නාම” කියන වචනය පාවිච්චි කරනවා. එතකොට මේ නාමය සහ මේ රූපය කියන කොටස් දෙකම එකතු වුණාට පස්සේ “නාමරූප” කියන වචනය පාවිච්චි කරනු ලබන්නේ.

එතකොට මේ නාමය සහ රූපය ,නාම රූප දෙකක් තියන සත්ව ලෝකවල පවතින්නේ. එතකොට නාමය රූපයේ පැවැත්ම සඳහාත්, රූපය නාමයේ පැවැත්ම සඳහාත් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වමින් පවතින්නේ. හරියට එකිනෙකට හේත්තු කරලා තියන කේතුවක් වගේ, හේත්තු කරලා තිබෙන ලෑලි දෙකක් වගේ , පළවෙනි ලෑල්ල දෙවෙනි ලෑල්ල පැවැත්ම සඳහාත් හේතුවෙනවා, ඒ වගේම දෙවෙනි ලෑල්ල පළවෙනි ලෑල්ල පැවතීම සඳහාත් හතුවෙනවා. එකිනෙකාගේ උපකාරය ලබමින් ඒ ලෑලි දෙක පවතින්නා සේ , නාමයේ උපකාරය ලබමින් රූපයත්, රූපයේ උපකාරය ලබමින් නාමයත් පවතිනවා.
එතකොට මේ රූපය කියනකොට බුදු රජාණන් වහන්සේ ඒ පාඨයේ දැක්වූයේ සතර මහා භූත සහ ඒම නිසා හටගන්නා උපාදාය රූප, “රූප” වශයෙන්.
“රූප” කියන එකේ අදහස විවිධ ප්‍රත්‍යයන් නිසා වෙනස් වන , විරුද්ධ ප්‍රත්‍යයන් ලැබීම නිසා වෙනස් ස්වරූපයකට පත්වනවා කියන එකයි. “රුප්පතී..( පාලි පාඨය..)..” කියලා දක්වා තිබෙනවා. සීතල, ඌෂ්ණය ,මැසි මඳුරු උවඳුරු ,සා පිපාසා වැනි විවිධ හේතුන් මත වෙනස් වන ලක්ෂණයෙන් යුතු නිසා තමයි මේ “රූපය” කියලා අපි කියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් මහාභූත 4 ක් තිබෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. පණ ඇති,පණ නැති ඕනම රූපස්කන්ධයක,රූපයක තියන මූල ධාතු හතරක්.

“පඨවි ධාතුව” කියන්නේ යම්කිසි දෙයක් පස්වන ස්වරූපයට පත්වන කොටසකින් යුක්ත නම් අන්න ඒ පස් වන ස්වරූපයට පත්වන කොටස. ඒ වගේම යම්කිසි දෙයක තෙතමනයක් තිබෙනවානම් , ඒ තෙතමනය ,වතුර ගතිය තමයි “ආපෝ” කියන්නේ. එහි තියන රස්නය ,සීතල ස්වරූපය “තේජෝ” ; ඒ වගේම එහි තිබෙන පිම්ඹෙන වැනෙන ස්වරූපය “වායෝ” ගතිය තමයි “වායෝ ධාතුව” වශයෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට අපේ ශරීරයේ කෙස් ,ලොම් ,නිය ,දත් ,සම් ,මස්, නහර, ආදී වශයෙන් දෙතිස් කුණප කොට්ඨාශයන් ගැන මේ අය අහලා ඇති. ඒ දෙතිස් කුණප කොට්ඨාශයන් අතුරින් කෙස් සිට මොළය දක්වා තිබෙන කොටස් 20 පඨවි ධාතුව අධික කොටස් නිසා ඒවා පඨවි ධාතුව වශයෙන් පොත්වල දක්වා තිබෙනවා. ඒවගේම ඊළඟට පිත කියන කොටසේ සිට මූත්‍රා කියන කොටස් 12 ආපේ ධාතුව අධික නිසා ආපෝ ධාතුව වශයෙන් පොත්වල දක්වා තිබෙනවා.
ඒ වගේම තේජෝ කොටස් හතරක් පොත්වල උගන්වනවා. “සන්තාපණ පරිදාන, පරිප්පාචක” ආදී වශයෙනුත්. සන්තාපණය කියන්නේ නිරන්තරයෙන්ම අපේ ඇඟේ තියන උෂ්ණත්වයට. පැරන්හයිට් වලින් කතා කරනවානම් 98.4 ට අපේ උෂ්ණත්වය පවතිනවා සාමාන්‍ය අවස්ථා වලදී. ඒක තමයි සන්තාපණ තේජෝ ධාතුව වශයෙන් හඳුන්වන්නේ. ඒ වගේම පාචක තේජෝ ධාතුව කියන්නේ අපි කනු ලබන කන බොන දේවල්, දිරවීමට උපකාර වන කොටස් වල ඇති ඒ තේජෝ ගතියයි. ඒ වගේම ජිරාපණ, මෝරන ස්වරූපය ,දිරාපත්වන ස්වරූපයට පත්වන්නෙත් තේජෝ ධාතුවකින් බවයි පොත්පත් වල දක්වන්නේ. ඒකටයි ජිරාපණ තේජෝ ධාතුව කියන්නේ. තව එකක් තියනවා පරිදාන. අපේ අත් පා දනවා, නැත්නම් ඇස් දනවා ,බඩ දනවා, පපුව දනවා ආදී වශයෙන් කතා කරනවිට ඇතිවන්නෙත් තේජෝ ධාතුවක්. ඒකට තමයි පරිදාන තේජෝ ධාතුව වශයෙන් පොත්වල කියන්නේ.
එතකොට ශරීරයේ තියන වායෝ ධාතු කොටස් 6 ක් තිබෙන බවත් දක්වා තිබෙනවා. උද්ධංගම වායෝ ධාතුව, අධෝගම වායෝ ධාතුව. උඩ බලා ගමන් කරන වායෝ ධාතුවක් තිබෙනව. අපි මේ වචන පිට කරනකොට වායෝ ධාතුව ගමන් කිරීම නිසා ඒ විවිධ තැන් වල ඒ වායෝ ධාතුව හැපීම නිසා තමයි මෙම ශබ්ද පිටවන්නේ. ඒ විදියට ඉක්කා පිටකරනවිට ,හිනා වෙනවිට, කතා කරනවිට උඩ බලා ගමන් කරන වායෝ ධාතුවක් තිබෙනවා. ඊළඟට අධෝගම වායෝ ධාතුව, මළ මූත්‍රා ආදිය පහ කරන විට පහළ බලා ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා. අඟ පසඟ එහාට මෙහාට සොලවන විට ,හසුරවන විට, ගමන් කරන වායෝ ධාතුවක් තිබෙනවා. ඊළඟට ආමාශය තුළ සහ, බඩවැල් තුළ තිබෙන්නා වූ වායෝ ධාතු කොටස් සහ, ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතු කොටස් තිබෙනවා.

මේ විදියට සතර මහා භූත කොටස් අපි හඳුනා ගන්නට ඕන. මේ විදියට එකිනෙක නම් වලින් විවිධ විවිධ ආකාර වලින් හඳුනා ගන්නවාට වඩා අපිට ප්‍රයෝජනවත් වන්නේ මේ ශරීරයේ පඨවි ධාතුව ඇත, ආපෝඅ ධාතුව ඇත, තේජෝ ධාතුව ඇත, වායෝ ධාතුව ඇත කියලා මුළු ශරීරයේම තියන ,පඨවි, ආපෝ , තේජෝ ,වායෝ කියන ධාතු කොටස් හතර වෙන් වෙන් වශයෙන් දැකීම, දකින්නට පුළුවන් ශක්තිය තමයි අපට ප්‍රයෝජනවත් වන්නේ.

මේ ධාතු 4 නිසා හටගන්නා උපාදාය රූප තියනවා, එම නිසා මෙම ධාතු හතරේ සංයෝගය නිසා, සම්මිශ්‍රණය නිසා පහළ වන රූප වලට තමයි උපාදාය රූප කියන්නේ. රූප වල තියනවා යම්කිසි වර්ණයක් , මේ වර්ණය නිර්මිත වන්නේ විවිධ රූප කොටස්, ඒ කියන්නේ පඨවි ආදී මූල ධාතු කොටස් වල ඇති සම්මිශ්‍රණයේ ස්වරූපය මත. ඉතින් මේක කොයි කොයි ආකාරයෙන් සම්මිශ්‍රණය වීම තුළින් විවිධ විවිධ පාට වර්ග සැදෙනවාද කියන කාරණාව බුදු රජාණන් වහන්සේට නම් පැහැඳිළිවම දකින්නට පුළුවන්. අන් අයට ඒක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට ඒ වර්ණය කියන එක උපාදාය රූපයක්. ඒ වගේම මේ රූපවල තියෙනවා යම්කිසි ගඳ සුවඳක්. ගන්ධයක්. ඒ ගන්ධය කියන එකත් උපාදාය රූපයක්, ඒක හැඳෙන්නෙත් ඒ ධාතු කොටස් වල සම්මිශ්‍රණය තුළින්. ඊළඟට රසයක් තියෙනවා මේ රූප කොටස් වල. ඒ රසයත්, ඒ වගේම ඕජාවත් තියෙනවා , ඒ ඕජාවත් කියන කොටස් හතරත් මෙම රූප නිසා හටගන්නා උපාදාය. ඒක නිසා හටගන්නා රූප. එතකොට අපේ ශරීරය අනුව බලනකොට ඇහැ තියනවා, චක්ඛු ඉන්ද්‍රිය කියන්නෙත්, චක්ඛු ප්‍රසාද රූපය කියලා කියනවා. ඇහේ තියනවා ප්‍රසාද ගතියක්, ඔපමට්ටම් ගතියක්. මේකත් මූල ධාතු හතරෙන්ම ඇතිවෙච්ච උපාදාය රූපයක්. කනෙත් තියනවා එවැනි ප්‍රසාද ගතියක්, නාසයෙත් තියනවා ,දිවෙත් තියනවා, මුළු ශරීරයෙත් තියනවා. චක්ඛුප්‍රසාද, සෝතප්‍රසාද, ඝානප්‍රසාද, ජිව්හාප්‍රසාද, කායප්‍රසාද වශයෙන් ඒවා හඳුන්වන්නේ. ඒ ප්‍රසාද රූපත් සෑම එකක්ම උපාදාය රූප වශයෙන්මයි හැඳින්වෙන්නේ.

ඊළඟට ස්ත්‍රි භාව රූප, පුරුෂ භාව රූප කියලා ,ස්ත්‍රියකගේ මුළු ශරීරය පුරාම තියෙනවා ස්ත්‍රී භාව රූප. පුරුෂයකුගේ මුළු ශරීරය පුරාම තියනවා පුරුෂ භාව රූප. මේ භාව රූප දෙකත් උපාදාය රූප, ඒ කියන්නේ මූල ධාතු හතර නිසා හටගත් දේවල්. ඊට අමතරව අපේ කයේ සැහැල්ලු බාවයන්, මෘදු බාවයන් ,කර්මන්‍යතා බාවයන් , ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූප ආදී රූප කොටස් තිබෙනවා. මේවත් සෑම එකක්ම උපාදාය රූප. එතකොට අර මුලින් කී මූල ධාතු හතරයි, පසුව කී උපාදාය රූපයි ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි රූප කියලා අපි කියන්නේ. මේ රූපස්කන්ධයේ ස්වරූපය අවබෝධ කරගන්නට ඕන, නාම රූප වෙන් වශයෙන් දකින්නට ප්‍රථමයෙන්.

රූපස්කන්ධයේ ස්වරූපය කියන කොට මේවා මූල ධාතු හත්‍ර, පඨවි,ආපෝ, තෙජෝ, වායෝ වශයෙන් දැකීම පමණක් නෙවෙයි , මේවා ඇතිවීමේ හේතු තියනවා, ඒක දකින්නට ඕන. විශේෂයෙන්ම රූපස්කන්ධය ඇතිවීමේ හේතු හතරක් දක්වා තිබෙනවා පොත්වල. කර්ම, චිත්ත, සෘතු, ආහාර කියලා. කර්මය නිසා හටගන්න රූප තියනවා මේ ශරීරයේ. ඒ වගේම සිත නිසා හටගන්නවා රූප.සෘතු- සීත, ඌෂ්ණ දෙක නිසා රූප හටගන්නවා. කන බොන ආහාර නිසා මේ රූප හටගන්නවා. ඒකම ඕන නම්, කබලිංකාර ආහාර, විඤ්ඤාණ ආහාර, ඵස්ස ආහාර, මනෝ සංචේතනා ආහාර, වශයෙන් දක්වන්නටත් පුළුවන්. ඒ තුළින් රූප හටගන්නා ආකාරය දකින්නට ඕන. රූප සමුදය කියන්නේ ඒකටයි. එතකොට රූපය හරියට තේරුම් ගන්නට නම් රූප සමුදය තේරුම් ගන්නට ඕන. රූප සමුදය තේරුම් ගන්නේ අන් කිසිවක් නිසා නොවෙයි මේ රූපය කෙරෙහි ලෝක සත්වයා මුලා වෙනවා “මේක මමය, මේක මගේය, මේක ආත්මයක් ” ආදී වශයෙන්. සත්‍ය වශයෙන්ම හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයක් කියන පැහැඳිළි අවබෝධය ඇතිවෙනකොට මේක මම මගේය, ආත්මයක්ය කියලා ඒ විදියට ග්‍රාහණය කරන්නේ නෑ, ඒ නිසයි රූප සමුදය දකින්නට ඕන.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.