එතකොට මේ දේශනාවේ අනික් කරුණු මේ අයට මං කියන්නේ නෑ. මොකද මේ අයට කිව්වට ඒ කරුණු එතරම් තේරුම් ගන්නට බැහැ. ‘චේතො විමුක්තීන්’, ‘පඤ්ඤා විමුක්තීන්’ ආදී කරුණු. ඒ වගේම මේවට ඇලීම නිසා කර්ම භව රැස්වෙලා නැවත ඉපදෙන්නේ කොහොමද කියන ආදී කරුණු මේ ධර්ම දේශනාවට මං ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන් නැහැ.
එතකොට මේ කියපු කරුණු ටික ජීවිතයට එකතු කරගන්න බලන්න. ඇලීම් – ගැටීම් දෙකෙන්ම නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙනවා නම් ඉතාමත්ම හොඳයි. තමන්ගේ හිතට ඒක විශාල සහනයක්.
අපි හිතමු තරහ සිත් ඇතිවුණොත් කොයි තරම් නම් තමන්ට දුකක්ද? අපිට එදිනෙදා ජීවිතයේ ගත කරන කොට නොයෙක් ආකාර අනිෂ්ට අරමුණු, අනිෂ්ට දේවල් වලට මුහුණ පාන්නට සිදුවෙනවා. අපි ප්‍රිය කරන දේවල්ම නෙමෙයි අපිට මූණ පාන්නට සිදුවන්නේ.ඒ ප්‍රිය කරන දේවල් වලටම පමණක් නෙමෙයි. අපි එදිනෙදා ජීවිතයේ අපි ඇසුරු කරන අයගේ, අපගේ විවිධ අනික් ලෝකේ සත්වයන්ගේ ක්‍රියාදාමයන් නිසා විවිධ ආකාර මානසික වශයෙන් පීඩා ඇතිවෙන දේවල් සිදුවන්නට පුළුවන්. කායික පීඩා ඇතිවෙන දේවල් වෙන්නට පුළුවන්. මේ හැම අවස්ථාවේම යම්කිසි කෙනෙක් මානසික වශයෙන් දුකක් විඳිනවා නම් ඒක තනිකරම මෝඩකම නිසා සිදුවන්නේ. කායික දුක් ඕනෑම කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. නමුත් මේ මානසික දුක ඇතිවන්නෙම තනිකරම මෝඩකම නිසා. තමන් නොදත් කම නිසා.
දැන් හිතමු තමන්ගේ නෑදෑයෙක් හරි තමන් අඳුනන කෙනෙකුගේ හරි වැරදි ආකාර ක්‍රියාදාමයක් නිසා තමන්ට මානසික වශයෙන් දුක් ගොඩක් ලැබෙනවා කියලා. ඒ ගැන කල්පනා කර කරා, පසුතැවි තැවී, දුක් වෙවී කෙනෙක් කටයුතු කරන්නට පුළුවන්. එතකොට ඒ දුක් වීම තුළින් ඒ පසුතැවීම තුළින් ඒ ප්‍රශ්නයට විසඳුමක් කවදාවත් ලැබෙන්නේ නැහැ. තමන්ම මානසික වශයෙන් තමන්ගෙ තියන මෝඩකමට දුක් විඳිනවා විතරයි.
මෙහිදී මෙවැනි අවස්ථාවලදී කල්පනා කරන්නට ඕන කොහොමද; “මේවා ස්වභාවික වශයෙන් සිදුවෙන දේවල් මං මේවට දුක් වුණත්, දුක් නොවුණත් මේ ප්රශ්නය විසඳන්න මට ඒ දුක්වීම , දුක් නොවීම තුළින් බැහැ. ඉතිං දුක් වීම තුළින් වෙන්නේ තමන්ම මානසික වශයෙන් දුකකට, කායික වශයෙන් දුකකට පත්වීම පමණයි, අකුසල් සංස්කාර රැස්වීම පමණයි. ඒ තුළින් සංසාර ගමන දික් ගැස්සීම පමණයි සිදුවන්නේ. මම මේකට දුක් වීමෙන් මම මෝඩයෙක් වෙන්නට අවශ්යකමක් නැහැ. ඒක නිසා මේකට දුක් නොවී ඥාණාන්විතව, ඥාණ සම්ප්‍රයුක්තව මේකට යමක් කරන්නට තියෙනවා නම් ඒක ගැන කල්පනා කරලා කරන එකයි තියෙන්නෙ”. එතකොට ලෝකයේ සිදුවෙන දේවල් ඔහේ සිදුවෙනවා. ඒක අපට වළක්වන්නට බැහැ. ඒක නිසා අපේ සිතයි අප සකසා ගත යුතු වන්නේ.
මේ විදියට ඇහැ, කණ, නාසය, දිව , ශරීරය, මනස කියන ඉන්ද්‍රියන්ට අරමුණු හමුවුණාට පසුව ඇතිවෙන මේ ඇලීම් සහ මේ ගැටීම් බොහෝ දුරට අඩු කරගන්නට මේ අය උත්සහ ගන්නට ඕන. ඒක ජීවිතයේ අංගයක් කරගන්න. එදිනෙදා ජීවිතයට මේවා එකතු කරගන්න. තමාට සැනසිලිදායක ජීවිතයක් ගත කරන්නට අවශ්ය නම්, අකුසල් වලින් මිදෙන්නට අවශ්ය නම්, සංසාර දුකින් මිදෙන්නට අවශ්ය නම්, නිවන් ලබාගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා නම්, මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීමට අපේක්ෂාවක් තියෙනවා නම්, එතකොට ඔය විදියට කටයුතු කරන්නට ඕන. ඒවා අවශ්‍ය නැති කෙනෙකුට ඔහෙ ඉතිං තිරිසන් සතුන් කටයුතු කරන්නා සේ කටයුතු කරමින් සංසාරයේ, භවයෙන් භවයට යන්නට පුළුවන්. ජාති ජරා ව්‍යාධි, මරණාදී දුක් විඳින්නට සිදුවෙනවා. එහෙම කැමති නම් ඒ විදියට යන්නට පුළුවන්. එහෙම නැතුව සංසාර දුකෙන් මිදෙන්නට ඕන නම්, මේ මාර්ගය අනුගමනය කරන්නට පුළුවන්.
ඒ අනුව මේ අයට එදිනෙදා ජීවිතයේදි ඉතාමත්ම හොඳින් ජීවිතය ගත කරන්නට පුළුවන් වේවී, ආරවුල් වියවුල් මොකක්වත් නැතුව, මානසික දුක් වේදනා මොකක්වත් නැතුව, හිත උපේක්ෂිතව තබාගෙන, මැදහත් සිතින් යුතුව කටයුතු කරන්නටත් පුළුවන් ශක්තිය ලැබේවී. එහෙම කටයුතු කරන කොට ඒ අරමුණු තුළින් අපි සංසාරය පුරා ඇඳගෙන යන්නට , ඒ අරමුණු වලට හැකියාවක් නැතිවී යනවා. මොකද අපේ සතිය ක්‍රියාත්මක වන නිසා.
එතකොට මේ දක්වා කීවේ මොකක්ද, ඇලීම් ගැටීම් වලින් කටයුතු කරන තැනැත්තා, කායික – වාචික – මානසික ක්‍රියා සිදු කරලා කර්ම භව රැස්කරගෙන, නැවත නැවත ඉපදී ඉපදී සංසාර දුක ආයේ නැවත නැවතත් ඇතිකරගනු ලබනවා. එතන දුක්ඛ සමුදය සත්ය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ. එක නිසා මේ ඇලීම් – ගැටීම් දෙක බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන්. මොකද ඒවා තමාගේ සිතින්මයි තමා ඇති කරගත්තේ. ඒක ඇතිකරගන්නට අවබෝධයක් ඇතිකරගැනීම අත්‍යවශ්‍යයි. ඒ අවබෝධ ඇති කර ගැනීමට අවශ්‍ය සුළු කරුණු කීපයක් අපි මේ ඉදිරිපත් කරේ. ඒ කරුණු හොඳින් අවබෝධ කර ගත්තාට පසුව, ඒ ඇලීම් ගැටීම් අඩු කරගන්න බොහෝ විට උපකාර වේවී. ඒ කරුණු ගැන අවබෝධය බොහෝ දුරට මේ අයට උපකාර වේවී.
ඊට අමතරව සතියෙන් යුතුව පුළුවන් තරම් දුරට එදිනෙදා ජීවිතයේදි මේ ඇලීම් – ගැටීම් ඇතිවෙන කොටම එතනම එතනම ඒවා සිහිපත් කර කරා සිත පිරිසිදුව තබා ගන්නට උත්සාහ ගන්න. මේක මුලදි මුලදි අපහසු වුණත්, ටික කාලයක් කරන කොට නිරායාසයෙන්ම කරන්නට පුළුවන් වෙනවා. එතකොටම මේ ධර්මයේ තියෙන සාන්දිට්ඨික ගුණය මේ අයට අත්දකින්නට පුළුවන්. ටික කාලයක් යනකොට තමන්ගේම සිතට ඇතිවෙන සැනසීම, සහනය තමන්ටම අත්දකින්නට පුළුවන්කම ලැබේවි. එහෙම කටයුතු කරන තැනැත්තා නිර්වාණගාමිණී පටිපදාවක් අනුගමනය කරන කෙනෙක් වෙනවා.
එතකොටඉන්ද්‍රියන් අපි සංවර කරගත්තා වෙනවා. ඉන්ද්‍රියන්ට ඕන විදියට අපි කටයුතු කළා වෙන්නේ නෑ.
විශේෂයෙන්ම මේ ඇලීම් ගැටීම් ඇතිවන්නේ වේදනාව කෙරෙහි කියලා අපි කිව්ව, මේ කරුණ ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවී මේ අය හොඳින්ම අවබෝධ කරගෙන, ඒක මතක තබා ගන්නවා නම්. මොකද්ද, මේ වේදනාවට , සුඛ වේදනාවට ඇලිච්ච නිසා සංසාරය පුරා මෙච්චර කල් ඉපදී ඉපදී ආවා. සංසාර දුක් වින්දා. දුක්ඛ වේදනාවට ගැටීම නිසා සංසාරය පුරා මේ විදියට දුක් වේදනා විඳ – විඳා, සංසාර දුක් විඳ විඳා ආවා. මේ සුඛ වේදනාව හෝ දුක්ඛ වේදනාව කියන එක, ඉතා සුළු ළාමක වූ දෙයක්. ඇතිවුණා – පැවතුණා – නැතිවුණා. නමුත් ඒකෙන් ඇතිකරදෙන දුක්ඛ වේදනාව කියන්නටත් බැරි තරම් විශාල දෙයක්. අපිට ලැබෙන සුඛ වේදනාවක් හරි, දුක්ඛ වේදනාවක් හරි ආශ්වාද කිරීම තුළින්, අපිට එයින් යම්කිසි දෙයක් ලැබෙනවනම්, ඒක ඉඳිකටු තුඩක් විතර තරම් සියුම් එකක් නම්, ඒ තුළින් ලැබෙන සංසාරික දුක මේ මහා විශ්වය තරම් විශාලයි. ඒ බව අවබෝධ කරගන්න. මෙතක් කල් මේ වේදනාවට රැවටුණා ඇති. මේ වේදනාව උපාදාන කරා ඇති. මේ වේදනාවේ යථා තත්වය මා තේරුම් ගත යුතුයි. කියන කරුන අවබෝධ කරගන්න. ඔය අවබෝධය හරියට ඇතිවුණා නම් , කිසිම වේදනාවක් අපි අල්ලන් නෑ.
මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය ඒකයි. කාලය අවකාශ දෙන්නේ නෑ. දිගින් දිගට දේශනාව පැවැත්වීම සඳහා. එම නිසා මේ දේශනාව දැන් නිම කරනවා. මේ අනුව පිළිපැඳීම තුළින් මේ අයටත් මෙලොව යහපත සලසා ගන්නට නියත වශයෙන්ම හැකියාව ලැබේවී. ඒ වගේම නිවන් සුව ලබාගැනීමටත් ඒ ක්‍රියාදාමය හේතු උපකාරි වෙනවා ඇති. එසේ කටයුතු කිරීම තුළින් මේ අයටත් නිවනින් සැනසීමට වාසනාව ශක්තිය උදාවේවා කියලා ආශිංශනය කරමින් අප මේ දේශනාව නිම කරනවා…!!!
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.