ඇහැට පේන රූප වලටත් ඒ විදියට පිළිපඳින්න පුළුවන්. කණට ඇහෙන ශබ්ද වලටත් , නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස. මේ රස වලට බොහෝ දෙනෙක් ඇලෙනවා ප්‍රිය රසට. අප්‍රිය රසට ගැටෙනවා. මෙහිදී පැහැදිළිවම තේරුම් ගන්න තමන් මේ ඇලෙන්නේ ගැටෙන්නේ මොන වගේ ජරා ගොඩකටද කියලා. කටට ගත්තු, අරගෙන හපන හපන වාරයක් වාරයක් පාසාම ඒ ප්‍රිය වූ ආහාර ටික ඉතාමත් අප්‍රිය වූ දෙයක් බවට පරිවර්තනය වෙනවා. හරියට බල්ලෙක් හපලා හපලා දාලා තියෙන වමනයක් වාගේ. කටට අරගෙන හපලා හපලා දැම්මට පස්සේ ඒක බලු වමනයක් බවට පත්වෙනවා. මේ කටට අරගෙන හපලා හපලා ගත්තු ටිකක් එළියට ගත්තොත් එහෙම, ඒ ටික තමන් කෑම කන පිඟානෙම ඒක අරන් පැත්තකින් තියලා බලන්න ටිකක්. ඒ දිහා බලන්නටවත් ප්‍රිය බාවයක් නැහැ. ඒතරම් ඒක පිළිකුල් සහගතයි. මේ පිළිකුල් කොටසක් දෙස තමයි මේ, අරගෙන තමයි මේ ඇලෙන්නේ කියන අවබෝධය ඇති කරගන්න. “මේ තරම් අපිරිසිදු වූ, මේ තරම් බලු වමනයක් බඳු වූ , පිළිකුල් දෙයකටනේ මේ ඇලෙන්නේ” කියන හැඟීම ඇති කරගන්න. ඒ හැඟීම ඇතිවෙනකොට කිසිම රසයක් කෙරෙහි අනවශ්‍ය ආකාරයෙන් ඇලීම්-බැඳීම් ඇතිවන්නේ නෑ.
ඊළඟට ගැටෙනවා, නරක දේවල් හම්බුණාට පස්සේ. නරක රසක්. එහිදී කල්පනා කරන්න මේ ආකාරයෙන්. “හොඳ දෙයක් අපි හප හපා හිටියත්, නරක දෙයක් හප හපා හිටියත් , තමන් ප්‍රිය කරන දෙයක් එහෙම කරත්, අප්‍රිය දෙයක් එහෙම හප හපා හිටියත්, දෙකෙන්ම සිදුවන ක්‍රියාදාමය එකයි. හරියට මේ හරක් නිදාගෙන පිදුරු වගේ දෙවල් දෙපැත්තට කට හරවා හරවා හපනවා. ඔහේ ඉන්නව එහෙම හප හපා. ඒ වගේ ක්‍රියාදාමයක් මෙතන තියෙන්නේ. එතකොට තමන් නරක, තමන් අප්‍රිය රසයක් නැති කෑම වුණත් , රසයක් තියෙන කෑම වුණත් දෙකම මේ විදියට බලු වමනයක් බවට පත්වෙනවා නේද. මේ ජීවිතය පවත්වාගෙන යන්න මේවා කන්න ඕන , එහෙම නැතුව මේවා ඇලෙන්නවත් , ගැටෙන්නවත් දෙයක් මේවායේ නැහැ” කියන අවබෝධය ඇතිවුණොත් , මේ අයට පුළුවන් කම තියනවා, ඇලීම් ගැටීම් ඒක පිළිබඳව , ඒ කියන්නේ රසය පිළිබඳව ඇතිවන ඇලීම්-ගැටීම් වලින් තොරව ජීවත් වන්නට.
කයට දැනෙන ස්පර්ශ. සුඛ වේදනාවට ඇලෙනවා. දුක්ඛ වේදනාවට ගැටෙනවා. මේ දුක්ඛ වේදනාවලට ගැටෙනවා සමහරවිට ශාරීරික දුක්ඛ වේදනා ලැබෙන්නට පුළුවන් රෝග පීඩා ආදිය නිසා. නැත්නම් ඔය මැසි මදුරු උවඳුරු – වැස්ස – අව්ව – සීතල ආදී දේවල් නිසා දුක්ඛ වේදනා ඇතිවන්නට පුළුවන්. නැත්තම් තමන් කැමති නැති ස්පර්ශයක් ඇතිවීම නිසා. ඔය අමනුස්සයෝ වාගේ ඇවිල්ලා ශරීරයන් ඇතුළට ගිහිල්ලා නොයෙක් පීඩා දානවා. නොයෙක් දුක් ඇති කරනවා. එතකොට ගැටීමක්-නොරුස්සනා බවක්-අමනාපයක්-ඒකට ප්‍රතිවිරෝධයක් ඇතිවෙන්නට පුළුවන්. විරුද්ධ බාවයක් ඇතිවන්නට පුළුවන්. එතකොට තමන් තේරුම් ගන්න, කායික දුක්ඛ වේදනාවක් දැන් ඇතිවෙලා තියෙන්නේ, මේ දුක්ඛ වේදනාව කෙරෙහි දැන් ගැටෙනවා සිතින්. එතකොට මොකද්ද වෙන්නේ අර කායික දුක්ඛ වේදනාව තවත් වැඩි වෙනවා. මොකද කායික දුක්ඛ වේදනාවට මානසික දුක්ඛ වේදනාවකුත් අපි දානවා. වේදනා දෙකක් ඒ පුද්ගලයට විඳින්නට සිදුවෙනවා. කායික දුක්ඛ වේදනාව එකක්, ඒ ගැන හිත හිතා ඒ දුක්ඛ වේදනාව අල්ලාගෙන දැඟලීම නිසා ඇතිවන මානසික දුක්ඛ වේදනාව තවත් එකක්. ඉතිං හිතින්ම හිතනවා “මේක මහා බරපතල දුක්ඛ වේදනාවක්, ඉවසන්න බැරි දුක් වේදනාවක්, මං මේ දුක්ඛ වේදනා විඳින්නේ, මට මේ මිනිස්සු මෙහෙම දුක්ඛ වේදනාවක් දෙන්නේ මිනිස්සු, මේක නිසා දුක්ඛ වේදනාවක් ලැබෙනවා”, ආදී වශයෙන් සිතනකොට අර දුක්ඛ වේදනාව තවත් වැඩිවෙනවා.
මේක ඇත්තද බොරුද කියලා බලන්න මේගොල්ලෝ කායික දුක්ඛ වේදනාවක්, අසනීපයක් හරි කොයි ආකාරයෙන් හරි කායික දුක් වේදනාවක් ඇතිවෙනකොට ඒක දෙස බලන්න. තමන් කොයි තරම් දුරට මේ දුක්ඛ වේදනාව සිතින් අල්ලගෙන සිටිනවද කියලා. මේක සිතින් අල්ලගෙන ඉන්න එක අත්හැරලා දැම්මම; “ඔය කයේ තියෙන දුක ස්වභාව වශයෙන් ඔහොම තමයි, කයේ හැටි ! ඔය ඕන දුකක් ඇතිවෙද්දෙන්” කියලා සිත අයින් කරගන්නට පුළුවන් නම් ඒ දුක්ඛ වේදනාවෙන්, එතකොට දුක්ඛ වේදනාව බොහෝ අඩු වෙනවා.
ශරීරය තුළින් ස්වභාවික වශයෙනුත්, බාහිර වශයෙනුත් නොයෙක් ආකාරයෙන් දුක්ඛ වේදනා ඇතිවෙන එක ස්වභාව ධර්මයක්. මේ දුක්ඛ වේදනාව තමන් හෝ තමාගේ දෙයක් නෙමෙයි. හේතුන් නිසා හටගත්තු දෙයක්. ඒව ඇතිවෙලා – පැවතිලා – නැතිවෙලා යනවා. සුඛ වේදනාවත් එහෙමයි. කයට ස්පර්ශයක් ගෙනදීමේ හේතු තියෙන කල් තියෙයි. හේතු නැතිවුණාට පස්සේ නැතිවෙනවා. ඒකත් ඉතිං ස්වභාව ධර්මයක්. තමන් විඳිනවා නෙමෙයි. මේවා ඇතිවෙලා – පැවතිලා – නැතිවෙලා යනවා. නමුත් මේ සුඛ වේදනාවට ඇලෙන කොට, දුක්ඛ වේදනාවට ගැටෙනකොට, එතනින්ම නතර වෙන්නෙත් නැහැනේ. එතනින් පස්සේ එයා කාය සංස්කාර – වචී සංස්කාර – චිත්ත සංස්කාර කරනවා.
ඇහැට ප්‍රිය රූපයක් දැකලා ඇවිල්ලා ඇලුණාමත්; නැත්නම් කණට ශබ්දය ඇහිලා, ප්‍රිය ශබ්දයක් ඇහිලා ඇලුණාමාත්; දිවට ප්‍රිය රසක්; නාසයට ප්‍රිය ගඳ සුවඳක්; කයට ප්‍රිය ස්පර්ශයක්; හමුවෙලා කටයුතු කරනවිට ඉතිං නොයෙක් කායික ක්‍රියා කරන ආකාරය මේ අයට තේරෙනවා. ඒ නිසා නොයෙක් වචන පිට කරන ආකාරය දන්නවා. මනසින් – කයින් නොයෙක් දේවල් කරන ආකාරය දන්නවා.
ඒ වගේම තමයි මේකෙ අනිත් පැත්තත්. අනිෂ්ඨ පැත්ත. අප්‍රිය රූපයක්, අප්‍රිය ශබ්දයක්, අප්රිය ගඳ සුවඳක්, අප්‍රිය රසක්, අප්‍රිය ස්පර්ශයක්, සමහරවිට හමුවුණාට පස්සේ ඉතිං ඒකට ගැටෙනවා. ගැටුණට පස්සේ මොකක්වත් කරගන්නට දෙයක් නැත්නම් සිතින් හරි මනෝ ක්‍රියාවන් සිදු කර ගන්නවා. ඒ කියන්නේ, කායික – වාචික ක්‍රියා කරන්නට තමන්ට ශක්තියක් ඒ වෙලාවේ නැත්නම් අඩු වශයෙන් මානසික ක්‍රියා වලින්වත් නොයෙක් අකුසල කර්ම සංස්කාර රැස් කරගන්නවා. තවත් තමන්ට පුළුවන් නම් ඒකට බනින්නට හරි, ප්‍රති වචන කියන්නට හරි, නින්දා අපහාස කරන්නට හරි, තර්ජනය කරන්නට හරි, එතකොට වාචසික ක්‍රියාත් සිදු කරනවා. දැන් මේකෙන් නතර වෙන් නැතුව ඉස්සෙල්ල මානසික ක්‍රියාවෙන් නතර වුණා නම් ඒත් කමක් නෑ කියත හැකි; දැන් වාචසික ක්‍රියාත් කරනවා. එතනින්ම නතර වුණා නම් ඒත් කමක් නෑ. ඊටපස්සේ කායික ක්‍රියාත් කරනවා. සමහරවිට කයින් නොයෙක් දේවල් ඒ සඳහා කරන්නට පෙළඹෙනවා.
එතකොට මේව ඔක්කෝම කර්ම සංස්කාර ජනිත වීමක් තමන්ගේ සිත තුළ. කර්ම භව රැස්වීමක්. මේ කර්ම සංස්කාර රැස්වෙන නිසා තමයි නැවත නැවත ඉපදීම ඇතිවන්නේ. නැවත නැවත ඉපදීම ඇතිවෙන නිසා තමයි ජාති – ජරා ආදී ඔක්කෝම දුක් අනුභව කරන්නට සිදුවන්නේ.
මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.