ඇලීම් ගැටීම් (3 කොටස)

අපිට ඇහැට රූපයක් දැකලා ඇලීමක් ඇතිවෙනවා නම් ‘ඇලීමක්-ඇලීමක්, ආසාවක්-ආසාවක්, තණ්හාවක්-තණ්හාවක්, රාගයක්-රාගයක් ’ ආදී වශයෙන් සිහි කරන්නට පුරුදු වෙන්න. එදිනෙදා ජීවිතයට අපිට මේක එකතු කරගෙන ඒක පුරුදු වන්න. එහෙම පුරුදු වුනාට පස්සේ තමන්ට පුළුවන් කම ලැබෙනවා මේ ඇලීම් ගැටීම් බොහෝ දුරට අඩු කරගන්න. තමන් ඒ දකින ලද රූපය කෙරෙහි ගැටීමක් ඇතිවෙනවා නම් නුරුස්සනා බවක්, අමනාපයක් ආදී දෙයක් ඇතිවෙනවා නම් එවෙලෙම ඒක සිහි කරන්න පුරුදු වෙන්න එදිනෙදා ජීවිතයේදි. “ගැටීමක්-ගැටීමක්, අමනාපයක්-අමනාපයක්, නුරුස්සනා ගතියක්-නුරුස්සනා ගතියක්, දැන් මේක මගේ සිතේ තියන දෙයක් විනා රූපය තුළ තියන දෙයක් නෙමෙයි, සිතින් නේ මං මේ ඇති කරගත්තේ” කියන ඒ අවබෝධය ඇතිකරගෙන, සිතින් ඒ ධර්මය අයින් කරන්න. ඒ ඇතිකරගත්තු සිතිවිලි සමූහය අයින් කරන්න. එතකොට තමන්ට මේක ටික කාලයක් පුහුණු කරාට පස්සේ පහසුවෙන් පුළුවන්කම ලැබෙනවා, මේ ඇලීම් නැතුව – ගැටීම් නැතුව ඕනම රූපයක් දෙස බලන්න.

කණට ශබ්දයක් ඇසෙනවා දැන් කියලා හිතන්න. මේක ප්‍රිය එකක් නම් තමා ඇලෙන එකත්, අප්‍රිය එකක් නම් ගැටෙන එකත් තමයි සාමාන්‍යයෙන් ලෝක සත්වයා තුළ සිදුවන ක්‍රියාදාමය. එතකොට මේ ශබ්දය තුළ කිසිම ඇලීමක් ඇත්තෙත් නෑ, ශබ්දය තුළ කිසිම ගැටීමක් ඇත්තෙත් නෑ. මේ ඇලීම හෝ ගැටීම ඇතිවන්නේ තමාගෙ සිත තුළ ඒ ශබ්දය හඳුනා ගන්න ආකාරය අනුව. අපිට කෙනෙක් දෝශාරෝපණය කරනව නම්, බනිනවා නම්, විවේචනය කරනවා නම්, අපි කැමති නැති වචන පාවිච්චි කරනවා නම්, අපිට ඒක අප්‍රිය ශබ්දයක්. ඒ අප්‍රිය ශබ්දයම තව කෙනෙකුට ප්‍රිය ශබ්දයක් වෙන්නටත් පුළුවන්. අපි ඉතාම අප්‍රිය කරන ශබ්දයක් තවත් කෙනෙකුට ප්‍රිය ශබ්දයක් වෙන්නට පුළුවන්. අපිට ඒ දෝශාරෝපණය කරන විට, අපේම සතුරෙක් ඒ ළඟ සිටිනවනම් ඔහුට ඒක ප්‍රිය ශබ්දයක්, ‘ ඔය මනුස්සයට බනින එක මයි හොඳ ‘ කියලා, එයාට ඒක ප්‍රිය ශබ්දයක් වශයෙන් වැටහෙන්නේ.

එතකොට මේ ශබ්දය තුළ නෙමෙයි මේ ප්‍රිය භාවය හෝ අප්‍රිය භාවය තියෙන්නේ, තමාගේ සිත තුළ. තමන් ඒ ප්‍රිය භාවය හෝ අප්‍රිය භාවය ඇති කරගන්නේ. ඒකට හේතු පාදක වෙනවා; ඒ ශබ්දය හඳුනා ගත්තු ආකාරය. ඊට අමතරව තමාගේ සිතේ තියන ස්වරූපය. කොයි තරම් දුරට තමන්ගේ සිත තුල ප්‍රඥාව තියනවාද, අවිද්‍යාවෙන් කොයි තරම් දුරට වැහිලා තියෙනවද, ආදි සිතේ පවත්නා ස්වරූපයන් තියනවා. ඒවාගේම තමාගේ අතීත සිදුවීම් පාදක වෙනවා ඒ සඳහා. තමා හුරු වෙලා තියනා ආකාරය, මේ ඒදිනෙදා ජීවිතයේදි හුරු පුරුදු වී ඇති ආකාරය ඒ සඳහා හේතු වෙනවා. මේ ආදී විවිධ හේතු තියනවා ඒ අසන ලද ශබ්දය ඒ ආකාරයෙන් හඳුනා ගැනීම සඳහා. එතකොට මේ හේතුන් නිසා තමයි ඒ හඳුනා ගැනීම ජනිත වූයේ. ඒ හැඳුනුමට අනුකූලව හඳුනාගත්තා, හඳුනා ගැනීමට අනුකූලව ඒක හොඳයි කියලා හඳුනා ගත්ත නිසා සුඛ ආශ්වාදයක් ගෙන දෙනවා. නරකයි කියලා හඳුනා ගත්ත නිසා දුකක් ගෙන දෙනවා. ඉතින් සුඛ ආශ්වාදයට ඇලෙනවා. දුකක් ගෙනදෙනකොට ගැටෙනවා. මේ ඇලීම ගැටීම ඇතිවෙනකොට තමන්ගෙ සිත තුල කෙළින්ම ක්ලේශ ධර්ම සහිත සිතක්මයි ජනිත වන්නේ. ඊට අමතරව තමන්ගේ සතිය පිහිටලා නෑ.

එම නිසා තමන් එදිනෙදා ජීවිතයේදි මේ කරුණු අවබෝධ කරගත්තාට පසුව, ‘මොනවද මේ ශබ්ද ඇතිවෙනවා නැතිවෙනවා ඔච්චරනේ ‘ කියන අවබෝධය හරියටම තේරෙනවනම් ‘මොන ශබ්දයක් කණේ ඇවිත් වැදුනත් එකයි නැතිවුණත් එකයි. ඕක ගැන ඒතරම් ගණන් ගන්නට දෙයක් නැහැ’ කියන හැඟීම තමාගේ සිත තුළ ඇතිවෙන්නට ඕන. හොඳ ශබ්දයක් ඇහුණත් එකයි නරක ශබ්දයක් ඇහුනත් එකයි. ඕක කණේ වදිනවා, ඊටපස්සේ දැනීමක් ඇතිවෙනවා,එච්චරයි.

දැන් අපි මේ දේශනය කරන විට අපි හිතමු හදිසියේ ශබ්දයක් ඇහනවා, කුරුල්ලෙක් හඬනවා වැනි ශබ්දයක්. අපි ඒකට ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. ඒක ඇතිවෙලා නැතිවෙලා යනවා. ඒ වගේ තමයි එදිනෙදා ජීවිතයේ ඇසෙන හැම ශබ්දයක්ම. ඇතිවෙලා-පැවතිලා-නැතිවෙලා යනවා. ඒක ගැන දැනීමක් ඇතිවෙලා-පැවතිලා-නැතිවෙලා යනවා. නමුත් මේ ලෝකයේ සාමාන්ය සත්වයා මේවා දන්නේ නෑ. දන්නේ නැතිකම නිසා තමන්ට මේ දේ සිදුවුණා කියලා හිතනවා. “තමන්ට බැන්නා, තමන් විවේචනය කළා . තමන් තමයි මේ බැනුම් අහන්නේ” කියන හැඟීම තියනවා. ඊට අමතරව මේ “මගේ මගේ” කියන හැඟීමට අමතරව, “මේවා නරකයි, මේවා හොඳයි” ආදී හැඟීම් තමාගේ සිත තුළ තියෙනවා. ශබ්ද ඇතිවෙනවා. ශබ්දයේ කිසිම හොඳකුත් නෑ, නරකකුත් නෑ. අපේ සිතින් තමයි ඒ ශබ්දයට හොඳයි කියලා හිතන්නෙත්, ඒ ශබ්දය නැත්නම් නරකයි කියලා හිතන්නෙත්. මෙසේ සිතන නිසා තමයි දුකක් හෝ සැපයක් ලබාදෙන්නේ. ඒ දුක සැප තමා විසින්ම ඇතිකරගත්තු නිසා ඒ දුක දෙන ශබ්දයට ගැටෙනවා. සැප ලබා දෙන ශබ්දයට; සැප වේදනාවක් ලබාදෙන ශබ්දයට ඇලෙනවා.

එම නිසා මේ ඇලීම – ගැටීම තමාගේ සිත තුළම පහළ වන නාම ධර්ම ටිකක් පමණයි. ඉතින් මේක තමන්ගේ සිතින්ම තමන් ඇතිකරගත්තු නිසා අපිටම පුළුවන් ඒක නැති කරගන්න. මොකද තමන් නම් ඒක ඇතිකරගත්තේ, තමන්ටම පුළුවන්කම් තියෙන්න ඕන ඒක නැතිකරගන්න. ශබ්ද තුළින් ඕවා අතිකරලා දෙනවානම් කවදාවත් ඕවා නැති කරන්නට පුළුවන් කමක් නැහැ. එක එක්කෙනාගේ සිත තුළයි මේවා පහළවන්නේ. ඒක නිසා සිතින්ම ඒක නැතිකරගන්නට පුළුවන්. එදිනෙදා ජීවිතයේදී විවිධ ශබ්ද ඇහෙනවා. අපට ඒවට මුහුණ පාන්නට සිදුවෙනවා. අපි ප්‍රිය ශබ්දම හැම දවසෙම අස අසා ඉන්නට අපිට ලැබෙන්නේ නෑ. අප්‍රිය ශබ්ද අනන්තවත් අසන්නට ලැබෙනවා. මේවා ඇහෙනකොටම ” ඇහෙනවා-ඇහෙනවා-ඇහෙනවා-ඇහෙනවා” කියලා පුරුදු කරන්න එදිනෙදා ජීවිතයේදි. එතකොට ඒ හා සම්බන්ධයෙන් ගැටීමක් ඇතිවන්නේ නෑ නරක දෙයක් ඇහෙනකොට. ඒ හොඳ ශබ්දයක් ඇහිලා තමාගේ සිත තුළ ඇලීම බැඳීම ආදීය ඇතිවෙනවා නම් “ඇලීමක් – ඇලීමක්, බැඳීමක් – බැඳීමක්, ආශාවක්-ආශාවක්, තණ්හාවක්-තණ්හාවක්, රාගයක්-රාගයක්” ආදී වශයෙන් සිහිකරන එක පුරුද්දක් කරගන්න එදිනෙදා ජීවිතයේ.
එහෙම පුරුදු කරගන්නකොට මුලදීම ටිකක් අපහසුයි. ටික කාලයක් පුරුදු කරගෙන යනකොට මේක නිරායාසයෙන්ම සිත තුළින් ඉබේම මතුවෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ට ඇලීමකුත් නැතිව – ගැටීමකුත් නැතිව ඕනෑම ශබ්දයක් අහන්න පුළුවන් නම් හරිම සහනශීලී මනසක් තමන්ට ඇතිකරගන්නට පුළුවන්. මොනම ශබ්දයක් කෙරෙහි මොනවා කවුරු කිව්වත් එකයි – බැන්නත් එකයි – විවේචනය කරත් එකයි – හොඳක් කිව්වත් එකයි – නරකක් කිව්වත් එකයි.තමන්ගෙ සිත ඒ ශබ්දයට අනුව වෙනස් වෙන් නැතුව තබා ගන්නට පුළුවන් ශක්තියක් තිබෙනවා නම් ඒක උසස් ගතියක්. ඒක නිසා එතකොට මේ සමාජයේ ජීවත් වෙනකොට ඉතා පහසුවෙන් ජීවත් වෙන්නට පුළුවන් සිත තුළ කිසිම දුකක් ජනිත වන්නෙ නෑ. සිත සන්සුන්ව – මැදහත්ව – උපේක්ෂිතව තබා ගැනීමේ හැකියාවත් එවිට ලැබෙනවා.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.