ඇලීම් ගැටීම් (2 කොටස)

මේ අය භාවනා කරනවා. ටිකක් හරි භාවනාවෙ යම්කිසි සමාධි, ප්‍රඥා දියුණු මට්ටමක් තියෙනවා. ඒ නිසා කරුණු තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. ඇයි මේ ඇලීමක් ඇතිවන්නේ, ඇයි මේ ගැටීමක් ඇතිවන්නේ කියලා.
ඇහැට රූපයක් දැක්කට පස්සේ ප්‍රිය රූපයට ඇලෙන්නේ තමාගේ සිත තුළ ඒ ප්‍රිය රූපයට දැක්කාට පස්සේ සියුම් වේදනාවක් ඇතිවෙනවා. සුඛ ආශ්වාදය ගෙන දෙන, මේක හොඳ රූපයක් කියන හැඟීමෙන් යුතුව කටයුතු කරන නිසා, එවැනි ආශ්වාදයක් ඔහුට ලැබෙන නිසා, ඒ ආශ්වාදයට ඔහු ඇලෙන්නේ. ඇත්ත වශයෙන්ම දකින ලද රූපයට නෙමෙයි අලෙන්නේ. නමුත් ඔහුගේ සිත තුල ඇතිවන ඒ සුඛ ආශ්වාදයට ඇලෙන්නේ. ඒ සුඛ ආශ්වාදය ඔහුගේ සිත තුල ඇති වුණේ නැත්තම් , ඒ දකින ලද රූපයට කිසිම ඇලීමක් – බැඳීමක් – ආශාවක් – තණ්හාවක්, මොනවත් ඇතිවන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ලෝක සත්වයාට මේක තේරුම් ගන්නට බැහැ, අර ඇහැට පෙනෙන රූපයට ඇලෙනවා කියලා රැවටෙනවා. ඇලෙන්නේ තමාගේම නාම ධර්ම වලටය කියන කතාව ඒ අයට තේරුම් ගන්නට හැකියාවක් නැහැ.
එහෙම ඇලෙන විට තමාගේ සිත තුළ ක්ලේශ ධර්මයි ජනිත වන්නේ. සිත තුළ සතිය පිහිටලත් නෑ. සතියෙන් යුතුව කටයුතු කරන්නටත් හැකියාවක් නැහැ. එතකොට යම්කිසි රූපයක් දැකලා ඒක තමන්ට අප්‍රිය රූපයක් නම් ඒකට තමන් ගැටෙනවා. තමන් ඒක දකින්නට අප්‍රියයි, නැත්තම් ඒකට නුරුස්සනවා, නැත්නම් ඒක කෙරෙහි ගැටෙනවා. වෛරයක් – ක්‍රෝධයක් – ඊර්ෂ්‍යාවක් වැනි දෙයක් ඇතිවෙනවා. විවිධ ආකාරයෙන් ඒ පටිඝ සම්ප්‍රයුක්ත වූ සිතිවිලි ධම්ම ගලාගෙන යනවා.

මේක සිදුවන්නෙත් ඒ රූපය තුළ ඒ ගැටීම – ඇලීම, නැත්නම් තරහව – නුරුස්සනා ගතිය ආදිය තිබෙන නිසා නෙමෙයි තමාගේ සිත තුළ සිදුවන ක්‍රියාදාමයන් තුළින්. එතකොට තමා ඒ රූපය, අප්‍රිය රූපය දැක්කට පස්සේ මේක අප්‍රිය රූපයක් කියලා හිතුවා, ඒක නිසාම දුක්ඛ වේදනාවක් තමාට ඇතිවන්නේ. ඒ දුක්ඛ වේදනාව කෙරෙහි ගැටෙන්නේ. ඉතිං මේ රූප තුළින්, ඇහැට පෙනෙන කවර රූපයක් තුළින් හරි, ඇලීමක් ඇති කර දෙන්නට හැකි කමකුත් නෑ, ගැටීමක් ඇති කර දෙන්නට හැකි කමකුත් නෑ. කිසිම රූපයකට ඒක කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි.

අපි හිතමු ඉතාම ලස්සන කෙනෙක් සිටිනවා කියලා. මේ ඉතාම ලස්සන කෙනා යම් කිසි කෙනෙක් දැක්කාට පස්සේ එයාට ප්‍රිය කරන කෙනෙක් නම් ඒක කෙරෙහි, ඒක ප්‍රිය රූපයක් වශයෙන් ඔහු දර්ශනය කරන්නේ. ඒක නිසාම ඔහුට සුඛ ආශ්වාදයක් සමහරවිට ලැබෙන්නටත් පුළුවන්, ඇලෙන්නටත් – බැඳෙන්නටත් පුළුවන් ඒ රූපය කෙරෙහි. අපි හිතමු ඒ රූපයම දකිනවා එතනම ඉන්න ඔහුගේ හෝ ඇයගේ පරම සතුරෙක්. ඔහු ඒ රූපය දකින්නේ හොඳ දෙයක් වශයෙන් නෙමෙයි, නරක දෙයක් වශයෙන්. එතකොට ඔහුගේ සිත තුළ ගැටීමක් ඇතිවන්නේ. අර කලින් පුද්ගලයාට මෙන් ඇලීමක් නෙමෙයි.
මේ කරුණෙන් මේ අය පැහැඳිළිව තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණය තමයි ඒ ඇලීම හෝ ගැටීම ඇතිකර දීමට හැකියාවක් රූපයට නැහැ. ඒ රූපය තුල නෙමෙයි මේ ඇලීම සහ ගැටීම තිබෙන්නේ, තමාගේ සිත තුළ. තමාගේ තියන මෝඩකම නිසා තමා විසින්ම ඇතිකර ගන්නා චිත්ත සංස්කාර ධර්ම තුළ. මේක පැහැඳිළිවම තේරුම් ගන්නට ඕන. එතකොට ඒ ඇලීම – නැත්නම් ඒ ගැටීම ඒ හා සම්බන්ධ වන සිතුවිලි ධර්ම රාශියම තමාගේ සිත තුළින් පහළවන නාම ධර්ම ටිකක් අතිවී නැතිවී යාම පමණයි. වෙන දෙයක් එතන නැහැ.
මේක ලෝක සත්වයාට තේරුම් ගන්නට බැහැ. සාමාන්යයෙන් මේ ලෝක සත්වයා හිතන්නේ මේ ඇලෙන්නේ බැඳෙන්නේ බාහිර අරමුණු වලටය කියලා.
එතකොට තමන්ට තේරෙනවනම්, ‘ තමන්ගේම සිතිවිලි ධම්ම වලටය මේ ඇලීම ඇතිවන්නේ, මේ බැඳීම ඇතිවන්නේ, නැත්නම් මේ ඇලීම බැඳීම කියන්නේ තමන්ගේම සිතිවිලි ධම්ම ඇතීවීම නැතිවීම පමණයි වෙන දෙයක් නොවෙයි ‘ කියලා තේරෙනවනම්, ඒවගේම ‘ මේ ඇලීම බැඳීම තමාමයි ඇති කරගත්තේ ‘ කියන කරුණත් තමාට වැටහෙනවනම්, තමන්ට පුලුවන් ඒ ඇලීම බැඳීම අයින් කරගන්නට. තමන්ගේ සිත තුළින් නම් මේක ඇතිවුණේ, තමන්ගෙ සිතින්ම ඒක අයින් කර ගන්නට පුළුවන්.

මේ අය අවස්ථාවක් ලබුනොත් ඉතාම ප්‍රිය රූපයක් සහ තමාට දකින්නට අප්‍රිය වූ විරූපි රූපයක් වගේ දෙයක් තියෙනවනම් ඒ දෙකම දෙස බලන්න. බලනකොට අර ප්‍රිය රූපය, ලස්සනයි කියලා ලෝක සම්මත වශයෙන් පිළිගන්නා රූපය, දකිනකොට යම්කිසි ආශ්වාදයක් නැත්නම් මේක කෙරෙහි ඇලීමක් බැඳීමක් වාගේ ඇතිවෙනවා. ඒක දකින්නට පුළුවන්. අර තමන්ට ඉතාම අප්‍රිය රූපයක් නම් තමන් දකින්නේ, දකින්නට අප්‍රියයි නම්, ඒක දකිනකොට නුරුස්සනා ගතියක් – අමනාප ගතියක් වත් ඇතිවෙන්නට පුළුවන් තදබල ගැටීමක් ඇති නොවුණත්.
එතකොටම ඒ දෙකම තමන් අත්දකින ගමන් කල්පනා කරලා බලන්න ‘ මේ දෙකම මගේ සිත තුළ මා විසින්ම ඇති කර ගත්තු දෙයක්. ඇහැට රූපෙ දැක්කට පස්සේ චක්ඛු විඥ්ඥාණ සිත ඇතිවීම පමණයි සිදුවන්නේ. දැනීමක් පහළ වීම පමණයි සිදුවන්නේ. අනිත් ඒව ඔක්කොම තමාගේ සිත තුළින් තමා ඇති කරගන්න දේවල්. එතකොට මේ ඇලෙන ගතිය – ඇලෙන සිතිවිලි ධම්මත්, ගැටෙන සිතිවිලි ධම්මත්, ඔක්කොම මගේ සිතෙන් ඇති කරගත්තේ, මං මේක අයින් කරනවා ‘ කියලා අයින් කරලා බලන්න. අයින් කරලා බලන කොට තමන්ට අර ඇලෙන රූපය දකිනකොටත් දැකීමක් පමණයි; ගැටෙන රූපය දකිනකොටත් දැකීමක් පමණයි. මොකක්වත් සිතිවිලි නැතුව ඒ දෙක දිහා ඔහේ බලාගේන ඉන්නට පුළුවන්. කිසිම ආකරයෙන් සිතට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් එහෙම බලාගෙන ඉන්නට පුළුවන්.

දැන් උදාහරණයක් කිව්වොත් මේ බිත්ති මේ අය දකිනවා, මේ දොර දකිනවා, මෙතන දෙකක් මේ. එතකොට මේ බිත්තිය දැක්කාය, මේ දොර දැක්කාය කියලා මේ අයට අලීමක් ඇතිවන්නෙත් නෑ, ගැටීමක් ඇතිවන්නෙත් නෑ, ඔහෙ දැක්ක එච්චරයි. අන්න ඒ වාගේ තමයි සෑම රූපයක්ම අපි දකින කොට සිදුවන ක්‍රියාදාමය. නමුත් ලෝක සත්වයාට ඒක තේරුම් ගන්නට බැරුව, තමන්ගේම සිත තුළින්ම තමන්ම මේවා ඇතිකරගෙන ඒ තුළින් සංසාර ගමන තමා විසින්ම දික් ගස්සා ගන්නවා. මේක හරියට තේරුම් ගන්න. තේරුම් ගන්න කොට අර ඇලීම් ගැටීම් නැතුව එදිනෙදා ජීවිතයේ කටයුතු කරන්නට පුළුවන් ශක්තිය උදා කරගන්නට පුලුවන්. ඔය අවබෝධය හරියට ඇතිවුණොත් ඒක නිරායාසයෙන්ම වාගේ තමාගේ සිත තුළ ජනිත වෙන්නටත් ඉඩ තිබෙනවා.
එසේ නිරායාසයෙන්ම වාගේ ඇලීම් ගැටීම් ඇතිවෙන එකෙන් තොරව සිත පවත්වා ගන්නට හැකියාවක් තමන්ට නැත්නම්, තමන් විසින් ඒක සතියෙන් යුතුව මැඬ පවත්වා ගන්නටවත් බලන්න.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.