මේ අයට එදිනෙදා ජීවිතයටත් ප්‍රයෝජනවත් වන ආකාරයේ, ඒ වගේම නිවන් ලබාගැනීමටත් උපකාර වන දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. මෙම දේශනාවෙන් අප ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ, එදිනෙදා ජීවිතයේදි මේ පටිච්ච සමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය දැකලා, ඒ තුළින් සංසාරය දික් ගැස්සෙන ආකාරයත්, ඒ වගේම ඒ පටිච්ච සමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වීම නතර කර ගැනීම තුළින්, නැත්තම් ඒවා අඩු කර ගැනීම තුළින්, සංසාරයේ ගමන, දික් ගැස්සෙන ගමන, කොට කර ගත හැකි ආකාරයත්.
එතකොට මෙහෙම කරුණු අඩංගු වන සූත්‍රයක් තියනවා “මහා තණ්හා සංක්‍ය සූත්‍රය” කියලා මජ්ඣිම නිකායේ. ඒකේ තියන ඔක්කොම කරුණු නෙවෙයි අප ඉදිරිපත් කරන්නේ. ඒක දීර්ඝ සූත්‍රයක්. ඉතා සුළු කරුණු කීපයක් පමණයි අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ.බුදු රජාණන් වහන්සේ එහි දක්වලා තියනවා,
” සෝ චක්ඛුනා රූපන් දිස්වා …(පාලි පාඨය).. ”
මේ පාඨයේ ඉතාම සරල අදහස මේකයි.
සාමාන්‍ය ලෝක සත්වයා ඇහැට රූපයක් දැක්කට පසුව, ප්‍රිය රූපයක් දැක්කා නම් ඒකට ඇලෙනවා. අප්‍රිය රූපයක් දැක්ක නම් ඒක කෙරෙහි ගැටෙනවා. අමනාපය, නොරුස්සනා බව, ගැටීම ආදිය ඇතිවෙනවා. ඔහුගේ සිත තුළ සතිය නැහැ. ඒක නිසා ක්ලේශ මිශ්‍ර වූ සිත් තමයි ඒ විදියට ඇලීම් ගැටීම් ඇතිවෙනකොට ඔහුගේ සිත තුළ පවතින්නේ. ඉතිං මේ ‘චේතො විමුක්තිය’, ‘පඤ්ඤා විමුක්තිය’ කියලා එකක් තියනවා. ඒකෙදි සියළුම අකුසල ධම්ම ප්‍රහීණ වී යනවා. ඒ ‘චේතෝ විමුක්තිය’, ‘පඤ්ඤා විමුක්තියත්’ මේ පුද්ගලයා දන්නේ නෑ. එම නිසා මොහු මේ විදියට, ඇලීම් ගැටීම් යුතුව කටයුතු කරනවිට ඔහුට යම්කිසි සුඛයක් හෝ දුක්ඛයක් හෝ මැදහත් වේදනාවක් ඇතිවුනොත්, මේ වේදනාව, සුඛ වේදනාවක් නම් ‘ හොඳයි හොඳයි ’ ආදි වශයෙන් ඒක ආශ්වාද කරනවා. ඒ ගැන වචන පිට කරනවා. ඒ වගේම වේදනාව ග්‍රහණය කරනවා. උපාදාන කරනවා. දුක්ඛ වේදනාවක් වුණත් එසේ සිතින් අල්ල ගන්නවා. එහෙම අල්ල ගන්න කොට, ඒ අභිනන්දනය කරන විට ඔහුගේ සිත තුළ, ඇලීම බැඳීම; නැත්නම් ඒ අල්ලා ගැනීම සිදු වෙන කල්හි එතකොටම ඔහුගේ සිත තුල උපාදාන ජනිත වන්නේ. මේ වේදනාව කෙරෙහි මෙලෙසින් උපාදාන ජනිත වෙන කොට, ඒ උපාදාන නිසා ඔහු කර්ම කායික – වාචසික – මානසික ක්‍රියා සංස්කාර ධර්ම රැස් කරනවා. ඒ භව, කර්ම භව නිසා නැවත ජාතිය ඉපදිලා සංසාර දුක නැවත නැවත අත් දකින්නට ඔහුට සිදුවෙනවා. මේ විදියට සංසාර ගමන දිගින් දිගට, දිගින් දිගට යනවා. දුක්ඛ සමුදය සත්‍ය මේ විදියටයි ක්‍රියාත්මක වන්නේ.
කණටත් ශබ්දයක් ඇසුණාට පස්සේ , ප්‍රිය ශබ්දයක් ඇහුණානම් එහෙම ඒකට ඇලෙනවා; අප්‍රිය ශබ්දයක් නම්, තමා කැමති නැති, ප්‍රිය නැති, අසන්නට නුසුදුසු යැයි සිතන යම් කිසි ශබ්දයක් ඇසුණා නම් ඒ කෙරෙහි ගැටෙනවා. මෙසේ ඇලීම ගැටීම ඇතිවෙනකොට ඔහුගේ සිත තුළ ක්ලේශ සංයුක්ත වූ, ක්ලේශ මිශ්‍ර වූ සිත් තියෙන්නේ. ඒ වගේම ඔහුගේ සිත තුළ සතියක් පිහිටලා නෑ. ඒ වගේම අර ‘චේතෝ විමුක්ති’ , ‘පඤ්ඤා විමුක්ති’ ආදි කරුණුත් දන්නේ නැතුව මේ විදියට කටයුතු කරන මේ පුද්ගලයා, ඒ කණට ඇසුණු ශබ්දය තුළින් යම් වේදනාවක් අතිවෙනවා නම් ඒ වේදනාව ග්‍රහණය කරනවා. එසේ ග්‍රහණය කරන විට ඔහුගේ සිත තුළ උපාදාන ඇතිවන්නේ. මේ උපාදාන තුළින් කර්ම භව රැස් වෙනවා. භව නිසා නැවත නැවත ජාතිය ඉපදිලා සංසාර දුක අනුභව කරන්නට ඔහුට සිදුවෙනවා.
ඒ වගේම තමයි , නාසයට ගඳ සුවඳ. තමන් ප්‍රිය කරන එකක් නම් ඇලෙනවා. අප්‍රිය කරන එකක් නම් ගැටෙනවා. එසේ ඇලීම ගැටීම ඇතිවීම තුළින් අර කලින් කියපු ඉන්ද්‍රියන්ට කියපු කරුණු අනුසාරයෙන් මේ අය හිතාගන්නට ඕන ඒ විදියට නැවත නැවත ඉපදීමේ දුක්ඛ සමුදය සත්‍යය ක්‍රියාත්මක වීමක් එහිදීත් සිදුවන බව.
ඒ වගේම තමයි , දිවට රසක් ගෑවුණාට පස්සේ. තමා ප්‍රිය කරන එකක් නම් ඇලීමත්, අප්‍රිය කරන එකක් නම් ගැටීමත් ඇති වෙනවා. මෙසේ ඇලීම් ගැටීම් ඇතිවීම නිසා සංසාර ගමන දික් ගැස්සීමට අවශ්‍ය වන ආකරයේ කර්ම භව රැස්වීමක් සිදුවන්නේ. කයට ස්පර්ශයක් හමුවන විට, තමා ප්‍රිය කරන එකක් නම් ඇලෙනවා. අප්‍රිය කරන ස්පර්ශ අනන්තවත් ලෝකයේ තිබෙනවා. ඒවා අපිට අත්දකින්නට සිදුවෙනවා. මැසි මදුරු උවඳුරු වාගේ පීඩා අපිට අත්දකින්නට සිදුවෙනවා. නැත්නම් අධික සීතල, අධික ඌෂ්ණය වැනි දේවල් අත්දකින්නට සිදුවෙනවා. නැත්නම් ඔය අමනුස්ස උවඳුරු වාගේ තත්වයන් නිසා, කාය ස්පර්ශ තුළින් දුක් වේදනා ලැබෙනවා. මේ විදියට තමා බලාපොරොත්තු නොවන අනිෂ්ට වූ යම්කිසි කාය ස්පර්ශයක් ලැබුණාට පසු ඒ කෙරෙහි ගැටෙනවා. මේ නිසා කය කෙරෙහි ඇලීම ගැටීම ඇතිවීම නිසා සංසාර ගමන දික් ගැස්සෙන ආකාරය; කාය – වචී – චිත්ත සංස්කාර රැස් කරමින් නැවත නැවත සංසාර දුකටම එවැනි පුද්ගලයෝ බහිනවා. මේ විදියට තමයි මනසටත් යම් යම් දේවල් හමුවුණාට පස්සේ, හොඳ එකක් නම් අලෙනවා, නරක එකක් නම් ගැටෙනවා. මේ ඇලීම් ගැටීම් දෙකෙන් යුතුව කටයුතු කරන තැනැත්තා සංසාර දුකින් ගැළවිලා නෑ. නැවත නැවත සංසාර දුකටම බහිනවා.
එතකොට මේ කියපු කරුණු වල ඉතාම කෙටි සාරාංශය අපි ඒ කිව්වේ. බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම කරුණු වල කෙටි සාරාංශය.
මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.