ඊළඟට සෝවාන් මාර්ග සිත සහ සෝවාන් ඵල සිත පිළිබඳ නුවණවල් දෙකක්.
මේක සාමාන්‍යයෙන් නුවණ, ඒතරම් ප්‍රඥාව තිබුණත් නැතිවුණත් ඵල සමවතට සමවදින්නට පුළුවන් වුණත් මාර්ග සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක්, නුවණක් නැතිි කෙනෙකුට දකින එක අපහසුයි. කෙසේ වෙතත් ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඵල සමවතේ විනාඩි 15 ක් පමණ ඉන්නට ඕන. ඒ ඉඳල ඒකෙන් නැඟිටපු ගමන්ම අධිෂ්ඨාන කරන්නට ඕන, සෝවාන් මාර්ග සිත උපදවාගෙන විනාඩි 5 ක් ඉන්නට ලැබේවා කියලා අධිෂ්ඨාන කරලා නැවත පංචස්කන්ධය හරි, නාමරූප හරි, ආයතන හරි, කවර එකක් හරි අරගෙන අනිත්ය, අනාත්ම වශයෙන් දැක දැකා සිටිය යුතුයි. එසේ සිටින විට සෝවාන් මාර්ග සිත නැවත උපදවා ගන්නට පුළුවන්. පොත්පත් වල තියනවා, සෝවාන් මාර්ග සිත එකවරයි උපදින්නේ මේ ජීවිතයටම, මේ භවයටම , ඊට පස්සේ ආය කවදාවත් ඒක උපදින් නෑ කියලා. ඒ පොත්වලම තමයි කියන්නේ මේ මාර්ග ප්‍රත්‍යවේක්ෂාවේදී සෝවාන් මාර්ග සිත මේකයි කියලා ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා. ඒ ප්‍රත්‍යවේක්ෂා කරන විට ඒ මාර්ග සිත නැවත අත්දකින්නට පුළුවන්. එම නිසා ඒ විදියට අධිෂ්ටාන කළාට පසුව සෝවාන් මාර්ග සිත මේකයි කියලා පැහැඳිළිවම කෙනෙකුට අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. හැබැයි තියුණු ප්‍රඥාවක් නැති කෙනෙකුට ඕක අත්දකින්නට බෑ. ඒ මාර්ග ප්‍රත්‍යවේක්ෂාව.
ඊළඟට ඵල ප්‍රත්‍යවේක්ෂාව කියලා එකක් තියනවා. සෝවාන් මාර්ගයකට හරියට සිත පත් වුණානම් ඒ එක්කම වාගේ ඵල සිතට සිත පත්වන අවස්ථාත් තියනවා. යම්කිසි කෙනෙක් භාවනා කරනවිට අධිෂ්ඨාන කරා නම් සෝවාන් මාර්ග සිත උපදවා ගන්නට මට ලැබේවා කියලා, එතකොට මාර්ග සිත පමණක් ඉපදිලා ඵලයට සිත පත්වන් නැති අවස්ථාත් තියනවා. මේකත් පොත්වල කියන කරුණු වලට පරස්පර විරෝධීයි. පොත්වල කියන්නේ මාර්ග සිත ඇතිවුණා නම් ,මාර්ග සිතට අනතුරුවම ඒ වෙලාවෙම ඵල සිතත් උපදිනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ විවිධ තැන් වලදී දක්වලා තියෙනවා මාර්ග සිතට අනතුරුව ඵල සිත ඇතිවන අවස්ථා ගැන. ඒක ප්‍රායෝගික වශයෙනුත් සිදුවෙනවා, ඉතින් විශේෂයෙන්ම භාවනා කරන පුද්ගලයෙක් විසින් සෝවාන් මාර්ගය උපදවා ගන්න ලැබේවා කියල අධිෂ්ඨාන කරල භාවනා කරනවට වඩා වැඩිය සුදුසු වන්නේ සෝවාන් ඵල සිත උපදවා ගන්නට ලැබේවා කියල අධිෂ්ඨාන කරල භාවනා කරන එක. එතකොට මාර්ගයෙන් පසුව ඒ වෙලාවෙම වුවත් ඵල සිත ඇතිකරගන්න පුළුවන්. යම්කිසි කෙනෙකුට ඒ වෙලාවෙම ඵල සිත ඇතිවුනේ නැත්නම් පසුව හරි ඒ ඵල සිත ඇතිකරගන්නට පුළුවන්.
එක් අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාෂ කරල තියෙනව මාර්ග සිත ඇතිකරගෙන සිටින කෙනෙක් සිටිනව නම් මේ ලෝකය විනාශ වුනත්, කල්ප විනාශයක් බඳු වෙනත් ලෝකයේ කල්ප විනාශයකදී වැනි අවස්ථාවකදී විනාශ වී ගියත් ඵල සිතට පත්වෙනවා ඒ ලෝක විනාශය වෙන්නට ඉස්සෙල්ල. මැරෙන්නෙ නෑ කවදාවත් ඵල සිතට පත්වෙන්නට ඉස්සෙල්ල කියල, එහෙම දක්වල තියෙනවා.ඒ වගේම මාර්ග සිත් ඵල සිත් වලට දෙක දෙක වැඩි වුනාම සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියල අටක් තියෙනව, මේ අට දෙනාට දානය දීම තුලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන බව මහානිශංස ලැබෙන බව දක්වල තියෙනව. එතකොට ඵල සිතයි මාර්ග සිතයි අතර වෙනසක් තිබෙනවනම් එහෙම අට දෙනෙකුට දානයක් දෙන්නට බැහැ, ඒ විදියට විවිධ තැන් වල දක්වපු අවස්ථා තියෙනව. එම නිසා මාර්ග සිත නැවත උපදවා ගන්නට අපහසු වුවත් ඵල සිත නම් නැවත උපදවා ගන්නට ඕනම කෙනෙකුට පුළුවන් ඒ මාර්ගක්ෂණයේම ඵල සිත ඉපදී තිබුනත් නැතත්.
එතකොට මාර්ගක්ෂණයේම ඵල සිත ඇතිවෙල නැතත් පසුව අධිෂ්ඨාන කරනවා සෝවාන් ඵල සිත උපදවාගෙන මෙතෙක් වේලා ඉන්න ලැබේවා කියල, ඊට පස්සේ නැවත පංචස්කන්ද ධර්ම හෝ නාම රුප ආදී ධර්මයන් අරගෙන අනිත්ය අනාත්ම වශයෙන් බල බලා සිටින විට නාමයන්ගේ නිරෝධය, රූපයන්ගේ නිරෝධය, නාම රූප ධර්මයන්ගේ නිරෝධය දකිමින් නිවනට සිත පත් කර ගන්නට පුළුවන් නිවන් සුවයේ ඒ අධිෂ්ඨාන කල කාල පරිච්ඡේදය තුල ඉන්නට පුළුවන් ශක්තිය ලැබෙනව.
එතකොට නිවන් සුව කියන්නේ මේකයි කියන එක ගැන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එවැනි කෙනෙකුට අත් දකින්න පුළුවන්. අන්න ඒ අත් දැකීම ලබනකොට ඒ ඵල සිතේ තව තවත් ඉන්නට පුළුවන් කාලය වැඩි කරගන්න එක තමයි ඉතාමත් සුදුසු. ඒක ටිකක් ප්‍රගුණ වුනාට පස්සේ සෝවාන් ඵල සිත උපදවාගෙන මෙතෙක් වේලා ඉන්න ලැබේවා කියල අධිෂ්ඨාන කල විගසම, භාවනාවකින් තොරව ඵල සිතට පත් වෙනව නම් ඒක තමයි ඉතාමත්ම සුදුසු.
එහෙම කරන්නට පුළුවන් ටිකක් දියුණු වුනාට පස්සේ. පුරුදු වෙල ප්‍රගුණ කරාට පස්සේ ඒ තත්වයට සිත පත් වෙනව. එතකොට ඵල සිත මේකයි කියල තේරුම් ගන්නට පුළුවන්. යම් කිසි කෙනෙකුට අර විදියට මාර්ග සිත උපදවා ගන්නට පුළුවන් වුනා නම් ඵල සිත හා සන්සන්දනය කරල බලන්නට පුළුවන් සෝවාන් මාර්ග සිත කියන්නේ මේකය, සෝවාන් ඵල සිත කියන්නේ මේකය කියල. එතකොට මාර්ග සිතේ වෙනසයි ඵල සිතේ වෙනසයි දෙක දකින්නට පුළුවන්. පටිසංවිදාමග්ගපාලියේ දක්වල තියෙනව ඵල සිත විස්තර කරනකොට “පයෝග පටිප්පස්සද්ධි ප්‍රඥා ඵලේ ඥාණම්“ කියල. කරගෙන ආපු ක්‍රියාවලියන්ගේ සන්සිදීමෙන් ඇතිවෙන නුවණයි ඵල සිත. ඒ කියන්නේ සෝවාන් වෙනකොට ක්‍රියාත්මක වූ සිතක් පවතිනවා, ඵල සිතට පත්වෙනකොට සන්සිදී ගිය පටිප්පස්සද්ධියට පත් සිතක් තියෙන්නෙ. මේ දෙකේදීම අත් දකින්නේ නිවන නමුත් එකම ආකාරයේ අත් දැකීමක් නෙවෙයි . එතකොට ඒ පටිප්පස්සද්ධියට පත් ඵල සිතත් ප්‍රථමයෙන් පැවති මාර්ග සිතත් වෙන් වෙන් වශයෙන් පැහැදිලි ලෙසම අත් දකින්නට පුළුවන්, නමුත් බොහෝ දෙනෙකුට ඕක අත්දකින්න බෑ තියුණු ප්‍රඥාවක් නැත්නම්.ඒ නිසා හැකිනම්, මාර්ග සිතයි ඵල සිතයි උපදවාගෙන ඒ දෙකේ අතර වෙනසක් අත්දකින්නට පුරුදු වන්නට ඕන.
ඊළඟ ප්‍රත්‍යවේක්ෂාව තමයි නිබ්බාණ ප්‍රත්‍යවේක්ෂාව.
මේකත් නුවණින් අත්දකින්නට පුළුවන් එකක්. ඵල සිතේ සිටින විටත් නිවන තමයි අත්දකින්නේ. ඒක අත්දකින කෙනාට පැහැඳිළිවම තේරෙනවා. මේ තමයි නිවන කියන්නේ කියලා, එයාට ආයේ වෙන කෙනකු විසින් කියා දෙන්න අවශ්‍ය නැහැ. එයාට පුළුවන් වෙන කෙනකුට වුණත් කියාදෙන්නට ,නිවන කියන්නේ මෙන්න මෙහෙම එකකට කියලා. නමුත් නිවනට පත්වෙච්ච නැති කෙනකුට ඒක තේරෙන්නේ නැති වන්නට පුළුවන්. තමන්ගේ අවබෝධයෙන්ම නිවන කියන්නේ මේකයි කියලා ඵල සිතට පත්වූ කෙනකුට අත්දකින්නට පුළුවන්. ඒ වගේම නිවනේ තියන සුවය මේකයි ,විමුක්ති සුවය මේකයි කියලා ,නිරාමිස අවේදයිත සැපය කියන්නේ මේකයි කියලා, එයා අත්දකිනවා. අන් කෙනකුටත් ඒක කියාදෙන්නට පුළුවන්, අවේදයිත සුඛය කියන්නේ මෙන්න මේකය කියලා.
නමුත් නිබ්බාණ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ මේ ඵල සිතේදී අත්දකින ඒ නිවන මේකයි කියන හැඟීමට නෙවෙයි. නිබ්බාණ ප්‍රත්‍යවේක්ෂාව වෙනම එකක්. “නිර්වාණය පමණක් මට අත්දකින්නට ලැබේවා” කියලා අධිෂ්ඨාන කරලා, භාවනා කරන්නට ඕන.
භාවනා කරනකොට තියුණු ප්‍රඥාවක් තියන කෙනකුට නම් කරන්නට පුළුවන් ක්‍රියාවක් තියෙනවා. ගෝත්‍රභූ ඥානයක් ඇතිවෙනවා සෝවාන් වන්නට ඉස්සෙල්ල. ගෝත්‍රභූ ඥානයට අරමුණු වන්නෙත් නිවන. මාර්ග සිතක් ඇතිවෙනවා, උදාහරණයක් ලෙස, සෝවාන් මාර්ග සිත; ඒකට අරමුණු වන්නෙත් නිවන. ඵල සිතක් ඇතිවෙනවා , ඒකට අරමුණු වන්නෙත් නිවන. එකම නිවන වුණාට විවිධ අවස්ථාවලදී අරමුණු වන ආකාර තුනක්. අපි හිතමු ටිකක් ඈත තියා යමක් දකිනවා, ටිකක් සමීපයට ඇවිල්ලා යමක් දකිනවා, ඒකට ඉතා සමීපයට ඇවිල්ලා යමක් දකිනවා. ඒ දැකීම් අතර යම් යම් වෙනස්කම් තියෙන්නට පුළුවන්. ඒ වගේ යම්කිසි කෙනෙක් නිර්වාණ ප්‍රත්‍යවේක්ෂාව කරනවනම් ඔහුට පුළුවන්කම ලැබෙනවා සංඛාර උපේක්ඛා ඥානයෙන් පසුව අනුලෝම ඥානය ඇතිවෙනවා, අනුලෝම ඥානයෙන් පසුව ගෝත්‍රභූ ඥානය ඇතිවෙනවා. මේ ගෝත්‍රභූ ඥානයට අරමුණු වන්නේ නිවන, අරමුණු වුණේ නිවනයි කියලා ගෝත්‍රභූ ඥානය නැවත ඇති කරගෙන ඒ, ගෝත්‍රභූ ඥානයෙන් අරමුණු වූ නිවන අත්දැක දැකා අත්දැක දැකා ඉන්නට පුළුවන්.
මේ ගෝත්‍රභූ ඥානය විස්තර කරන කොට ඉතාම නිවැරදි උපමාවක් දක්වලා තියනවා විශුද්ධි මාර්ගය, අටුවා වැනි පොත්වල. ගඟකින් එතෙරට යන මිනිහෙක් මේ පැත්තේ ගඟේ අයිනේ වැලක එල්ලිලා එහා පැත්තට ,ඔංචිල්ලාව පැදගෙන යනවා වගේ ගිහිල්ලා එහා පැත්තට කකුල තියලා වැල අත හැරියා වගේ. එතකොට අර ගඟ මැද වැලේ ඉල්ලී සිටින අවස්ථාවේදී, මේ පැත්තේ ඉවුරත් නෙවෙයි, ඒ පැත්තේ ඉවුරත් නෙවෙයි, මැද අවස්ථාව. මෙන්න මේ වාගේ සංස්කාර ධර්ම ඔක්කොම අතහැරලා නමුත් නිවනට පා තබලත් නෑ, සංස්කාර විරහිත තත්වයට පත්වී පවත්නා වූ ගෝත්‍රභූ ඥානය. එහිදී අරමුණු වන්නේ නිවන. මේ නිවන පැහැඳිළි ලෙසම අත්දකින්නට පුළුවන් ප්‍රඥාවක් තියෙන කෙනෙකුට. ඔය උපමාවත් 100% ම නිවැරදියි කියලා එවැනි කෙනකුට පැහැඳිළි ලෙසම තේරෙනවා.
එතකොට ඒක අත්දකින්නට හැකි වුණත්, නොහැකි වුණත් අර මා කිව්වානේ මාර්ග සිත, ඵල සිත ප්‍රත්‍යවේක්ෂා කරන්නට කියලා කලින්. එතකොට ඒ මාර්ග සිතට අරමුණු වන නිවන මේකයි කියලා මාර්ග සිත අත්දකින්නට පුළුවන් කෙනකුට හැකියාව ලැබෙනවා ඒක දැනගන්න. ඒකත් නොහැකි වුණොත් ඵල සිතට පත්වූ කෙනාට හැකියාව ලැබෙනවා ඵල සිතට අරමුණු වන නිවන මේකයි කියලා දැකගන්නට. දැන් නිබ්බාණ ප්‍රත්‍යවේක්ෂාවේදි ඔය තුනම දකින්නට ඕන, දකින්නට පුළුවන්. ඒ තුනේ අඩු වශයෙන් ඵල සිතේ නිර්වාණය හරි දකිනවා නම් ,ඒකට සිත පත්කරගෙන මේ නිර්වාණය අත්දකින අවස්ථාවේදී තියනවා සංකත,අසංකත දෙකක් කලවම් වෙලා. නිර්වාණය කියන්නේ අසංකත ධර්මයක්. සංකත ධර්මයක් නෙවෙයි. සංකත ධර්ම ඒකාන්ත වශයෙන්ම දුකක්.
නිර්වාණය කියන්නේ පරම සැපයක්. අවේදීයිත සුවයක්. මේ අවේදියිත සුවය විඳින අවස්ථාවේදී දුක්ඛ සත්‍යකුත් ක්‍රියාත්මක වනවා. ඒ කියන්නේ නිර්වාණ ධාතුව අත්දකින්නේ සිතේ පැවැත්ම පවතින නිසා. සිතේ පැවැත්ම කියන්නේ පංචස්කන්ධ ලෝකයේ, විඥාණස්කන්ධය, සංස්කාර ස්කන්ධය ආදී ස්කන්ධ ධර්මයනේ පැවැත්මක්. ඒ වෙලාවේ නිර්වාණය අත්දකින විට යම්කිසි ශාන්ත වේදනාවක් දැනෙනවා. නිරාමිස, අවේදියිත සුවයක්,වේදනාවක් තියෙනවා. ඒක වේදනා ස්කන්ධයේ පැවැත්මක්. ඒ පිළිබඳ දැනීමක් තියෙනවා. ඒ දැනීමම සංඥාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. තමාට කය නොපෙනී ගියත් ඒ නිර්වාණය අත්දකින අවස්ථාවේදී කයේ පැවැත්ම තියෙනවා, ඒ කය සන්සිඳිලා තියෙන්නේ,අල්ලන විට පවා මෘදු මොළොක් භාවයට පත්වෙලා තියෙන්නේ, පටිප්පස්ස්ද්ධියට පත්වෙලා තියෙන්නේ. ඵල සමවතෙන් නැඟිට්ටාට පසුව පවා ටික වේලාවක් යනතෙක් තමාගේ කයේ තියන ඒ සැහැල්ලු භාවය, සන්සිඳී ගිය ස්වභාවය අල්ලනකොට , ඕලාරික මෘදු භාවයට පත්වී ඇති ආකාරය දකින්නට පුළුවන්. එතකොට පැහැඳිළිවම පේනවා අර සිත නිසා රූප උපදින බව, රූප සමුදය ගැන මේ අයට කලින් කරුණු කියා දීලා තියෙනවා. නිර්වාණය අත්දකින විට පැවති ඒ සන්සිඳී ගිය නිවන් සුවය අත්දැකීම විඳින අවස්ථාවේදී රූපස්කන්ධය කොයිතරම් සන්සිඳීමකට, පටිප්පස්සද්ධියකට ,කාය පටිප්පස්සද්ධියකට පත්වුණාද කියන කරුණ.
එතකොට රූපස්කන්ධයේ පැවැත්මකුත් තියෙනවා. නිර්වාණය අත්දකින අවස්ථාවේදී පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් තිබුණා, තියෙනවා. සම්පූර්ණයෙන් සිහි නැති කෙනෙකුට නිවන අත්දකින්නට බැහැ. සිත සම්පූර්ණයෙන්ම තද නින්දකට වැටිලා වගේ තත්වයකට පත්වුණා නම් එහෙම කෙනකුත් නිවනක් නෙමෙයි අත්දකින්නේ. නිවනක් අත්දකින්නට නම් ඒ කියන ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම තිබිය යුතුමයි. මේ පිළිබඳ මේ අයට සැක තියනවා නම් අංගුත්තර නිකායේ, සමාධි සූත්‍ර විමසා බලන්න. ඵල සමවතකට සමවදින විට යම්කිසි සංඥාවක් පවතිනවා කියන එක බුදුරජාණන් වහන්සේ විසින් දක්වා ඇති ආකාරය එහි තිබෙනවා. එතකොට මේ ඵල සමවතකට සමවදිනවා කියන්නේ, නින්දකට පත්වීමක්, සිහි නැති කිරීමක් වැනි තත්වයකට පත් වුණා වගේ මොකක්වත් නොතේරි ගිය තවයකට පත්වෙලා හිටියා වගේ එකක් නෙවෙයි. සිතේ තියන නිවන් සුව අත් දැක දැකා සිටිනවා, දැනීම් මාත්‍රය පවතිනවා. එතන ඒ දැනීම් මාත්‍රය කියන්නේ දුක්ඛස්කන්ධයක්. එතකොට නිවන කියන්නේ නිරෝධ සත්‍යයක්.
මේ නිරෝධ සත්‍යයෙන් දුක්ඛ සත්‍යය අයින් කරන්න පුළුවන් සියුම් ප්‍රඥාවක් තියෙන කෙනෙකුට , ඵල සමවතට වඩා එහා නිවනකට සිත පත්කර ගන්නට පුළුවන් .එතකොට නිබ්බාණ ප්‍රත්‍යවේක්ෂාව තුළින් මේක තමයි, පිරිසිදු වූ නිවන කියලා – පිරිසිදු නිවන, අපිරිසිදු නිවන කියලා දෙකක් නැහැ- අර කලින් ඵල සමවතේ දැක්ක නිර්වාණ ධාතුවේදී දුක්ඛ සමුදය සත්ය මිශ්‍ර වෙලා තියනවා.සංස්කාර ධර්ම මිශ්‍ර වෙලා තියනවා. ඒ සංස්කාර ධර්ම මිශ්‍ර වෙලා තියන නිසා තමයි ඒ ඵල සමවතත් අනිත්‍යයට යන්නේ. “සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා” කියලා “සබ්බේ සංඛාරා අනත්තා” කියලා කියන්නේ නැතුව ” සබ්බේ ධම්මා අනත්තා” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් මේ නිර්වාණය ප්‍රත්‍යාවේක්ෂා කරන අවස්ථාවේ තියන සංස්කාරත් අනිත්‍ය බව තේරුම් ගන්නට පුළුවන් වෙනවා, ඒවා දුක් බව තේරුම් ගන්නට පුළුවන් වෙනවා.
නිවන් ඵල සමවතට සමවඳින අවස්ථාවේදී අත්දකින අවේදීයිත සුවය පවා අනිත්‍යයට යන, නැතිවී යන ධර්ම බව තේරුම්ගත යුතුයි. පොත්වල තියන කරුණු තදින් සිතට උපාදාන කරගෙන , ඒවගෙම බැසගෙන නිර්වාණය ඒකාන්ත නිත්‍ය සුවයක් කියලා හිතාගෙන රැවටිලා ඉන්න අයට නිර්වාණ ප්‍රත්‍යවේක්ෂාව තුළින් නිවන මේකයි කියලා හරියටම අත්දකින්නට බැහැ. එම නිසා ඒ වැරදි සංකල්පනා සියල්ලම අත්හැරලා , නිදහස් සිතකින් ,යම් යම් බැඳීම් වලට සිත බැඳ තබන්නේ නැතුව ,ගතානුගතික අදහස් වලට හෝ පොත්පත්වල තියන අදහස් වලට ගැට ගැසී බැඳී සිටින්නේ නැතුව ,එක එක්කෙනා කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැතුව කියන කරුණු වලට ගැටගැසෙන් නැතුව, බැඳෙන් නැතුව, මේ විදියට ක්‍රියාත්මක කරලා බැලුවොත් තමන්ට තේරෙයි, දුක්ඛැ සත්‍ය, නිරෝධ සත්‍ය කියන දෙකක් තියෙනවා, ඒ දුක්ඛ සත්‍යයෙන් නිරෝධ සත්‍යය වෙන් කළාට පස්සේ, අර කලින් තිබුණු තත්වයට වඩා, නිවී ගිය සන්සිඳී ගිය තත්වයක් .එතකොට තේරෙනවා මේක තමයි නිවනය කියලා.ඒක නිබ්බාණ ප්‍රත්‍යවෙක්ෂාව.
මේ විදියට සෝවාන් වෙච්ච කෙනකුට ප්‍රත්‍යවෙක්ෂා ඥාන 5 ක් උපදවා ගන්නට පුළුවන්. මෙන්න මේ ප්‍රත්‍යවෙක්ෂා ඥාන 5 ක් උපදවා ගත්තාට පසුව තමාට පැහැඳිළි ලෙසම, ප්‍රත්‍යක්ෂ ලෙසම වැටහෙනවා , මම සෝවාන් වෙලා සිටිනවා කියලා. එතකොට පැහැඳිළිවම තමන් දකිනවා, මේ නොදැන නොදැන කිසිවක් අවබෝධ නොකරගෙන එහෙම නැත්තම් අත්දැකීමකින් තොරව නිකම්ම නිවන ලැබෙනවා කියල, එහෙම හිතෙන් නැහැ. තමන්ට පැහැඳිළිවම තේරෙනවා, මේ විදියට නාම රූප ධර්මයන් නිරුද්ධ කරලා, මේ විදියටසෝවාන් මාර්ග සිත උපදවාගෙන, මේ විදියට සෝවාන් ඵල සිත උපදවාගෙන , ඒ තුළින් මේ කියන නිවන අත්දැකලා , මේ කියන සංයෝජන ධර්මයන් ප්‍රහීණ කරලයි මා නිවනට සිත පත්වුණේ කියන කරුණ ගැන පැහැඳිළි ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් , අවබෝධයක් තමන්ම ලබනවා. කවුරුත් කිව්වට නෙවෙයි. එවැනි කෙනෙකුට බුදු කෙනෙක් ළඟටවත් ගිහිල්ලා අහන්නට අවෂ්‍ය නැහැ ” ස්වාමීන් වහන්ස, මම ඇත්ත වශයෙන්ම සෝවාන් වෙලාද ඉන්නේ ” කියලා.
ඒ විදියට තමා විසින්ම තමාගේ නුවණින් අවබෝධ කළ යුතුයි, “පච්චත්ථං වේදිතබ්බං විඤ්ඤූහීතී ” කියන්නේ ඒකයි. තමනේගේම නුවණින් තමන්ම අවබෝධ කරගත යුතුයි. අන්න එහෙම අවබෝධ කරගන්නට බලන්න. මෙහෙම බැලුවට පස්සේ ඔය කියන ප්‍රත්‍යවේක්ෂා ඥාන 5ම උපදවා ගත්තොත් එහෙම කිසිම සැකයක් නැතුව ඉදිරියට ගමන් කරන්නට පුළුවන් වෙනවා.
එයින් එහාට ඉදිරියට ගමන් කරන ආකාරය කියන්නට දැන් කාලය අවකාශ දෙන්නේ නැහැ. සෝවාන් මාර්ග සිත ඉක්මවා, ඵල සිත, ඊළඟට සකදාගාමි, අනාගාමි, අර්හත් ආදී මාර්ගවලට වැඩ කරන්නට සිදු වෙනවා. භාවනාව තුළින් නිසි මනසිකාර මෙහෙයවන්නට සිදුවෙනවා. ඒ සඳහා ඇති කරගත යුතු අවබෝධ තියෙනවා. සකදාගාමි වෙන එකට වඩා අමාරුයි අනාගාමි වෙන එක, ඊටත් වඩා අමාරුයි රහත් වෙන එක. ඒ ඒ අවස්ථාවේදී ලබන අවබෝධයන් ගොඩක් ගොඩක් ඔයිට වඩා ගැඹුරුයි, ඔයිට වඩා පළල්, ඔයිට වඩා උසස්. ඒ වගේම තමාගේ සිත තුළ තිබෙන ශ්‍රද්ධාව, වීර්‍යය, සතිය, සමාධිය, ප්‍රඥාව වැනි ධර්මයන්, ඔයිට වඩා වැඩියෙන් වැඩියෙන් දියුණු වන්නට ඕන. ඉන්ද්‍රිය සංයුතියේ තියනවා බුදු හාමුදුරුවෝ මේ ඉන්ද්‍රය ධර්ම 5 ගැන කතා කරලා, ශ්‍රද්ධාව, වීර්‍යය, සතිය, සමාධිය, ප්‍රඥාව. ” මහණෙනි මේ ඉන්ද්‍රිය ධර්ම 5 ම 100% ම දියුණු වෙලා තියනවා නම් ,සම්පූර්ණයෙන්ම දියුණු වෙලා තියනවා නම් ඔහු රහත් වූ කෙනෙක්ය. ඊට අඩුවෙන් දියුණු වෙච්ච කෙනෙක් අනාගාමි කෙනෙක්ය, ඊටත් වඩා අඩුවෙන් නම් දියුණු වුණේ එයා සකදාගාමි තත්වයට පත්වෙලාය, ඊටත් වඩා අඩුවෙන් නම් දියුණු වෙලා තියෙන්නේ එයා සෝවාන් වෙලාය, ඊටත් වඩා අඩුවෙන් නම් දියුණු වෙලා තියෙන්නේ එයා ධම්මානුසාරි පුද්ගලයෙක්ය, ඊටත් වඩා අඩුවෙන් නම් දියුණු වෙලා තියෙන්නේ එයා සද්ධානුසාරි පුද්ගලයෙක්ය, ඊටත් වඩා අඩුවෙන් නම් දියුණු වෙලා තියෙන්නේ එයා කල්‍යාණ පෘත්ථග්ජනයෙක්ය, ඊටත් වඩා අඩුවෙන් නම් තියෙන්නේ බාල පෘථග්ජන, වැඩිය කරුණු දන්නේ නැති , මෝඩ පෘථග්ජන කෙනෙක්.
ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද . තමාගේ සිත තුළ, ශ්‍රද්ධාව තව වැඩි වන්නට ඕනෑ, වීර්‍යය තව වැඩි කරගන්නට තියෙනවා, සතිය තව දියුණු කරන්නට තියෙනවා, සමාධිය තව දියුණු කරන්නට තියෙනවා,ප්‍රඥාඅව තව දියුණු කරන්නට තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණත්වයට පත්වන්නේ රහත් වුණාට පසුව පමණයි, එතකල්ම මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩුපාඩු තිබෙනවා. මේවා දියුණු කරගත යුතුමයි. බොජ්ජංග ධර්මයන්ගේ අඩුපාඩු තියනවා. ගොඩාක් අඩුපාඩු තියනවා. 100% ක් නම් ලබාගන්නට තියෙන්නේ විභාගයකින් ලකුණු, සෝවාන් වෙච්ච කෙනෙක් ලබාගෙන තියෙන්නේ උපරිම වශයෙන් ලකුණු 25% ක් . එසේම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ, සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා දිට්ඨිය වැනි අංග තව දියුණු කරන්නට තියනවා. සතර සම්මප්පදාන ධර්මයන් දියුණු කරන්නට තියෙනවා. සතර සතිපට්ඨාඅන ධර්මයන් දියුණු කරන්නට තියෙනවා. මේ ආදී කරුණු තියනවා දියුණු කරගත යුතු. විශේෂයෙන් ධම්මවිජය සම්බොජ්ජංගය තුළින් දත යුතු කරුණු ,නුවණින් විමස විමසා අවබෝධ කරගත යුතු, අවබෝධ වී යන කරුණු තියනවා. ඒවා දැනීමෙන් තමයි එහාට එහාට තව තව දියුණු වන්නට පුළුවන් වන්නේ. නිකම් බොරුවට රැවටිලා, සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් වෙනවා වාගේ වැඩක් නෙවෙයි, සත්ය වශයෙන් නිවැරදි ආකාරයෙන් ගමන් කිරීම. එම නිසා ඒ නිවැරදි මාර්ගයේ ගමන් කරලා, ඉහළ ඉහළ මාර්ග ඵල ලබා ගැනීමටත් මේ අයට අවස්ථාව ලැබේවා කියලා ආශිංශනය කරමින් මේ දේශනාව අපි දැන් නිම කරනවා.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.