අද කාලයේ සෝවාන් ආදී මාර්ග ඵල ලැබුවයි කියා රැවටිලා සිටින අය බෝහෝ දෙනෙක් සිටිනවා. එම නිසා සත්‍ය වශයෙන්ම තමන් මාර්ග ඵලයකට පත්වුණාද නැද්ද කියන එක තේරුම් ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ සඳහා ඉතාමත්ම උපකාර වන , උපයෝගී වන ධර්මයක් තමයි මේ ප්‍රත්‍යවේක්ෂා ඥානය කියන එක.
මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පිළිබඳව පටිසංවිදා මග්ග පාලියේ මෙහෙම පාඨයක් දක්වලා තිබෙනවා “… තදා සමුදාගතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චවෙක්ඛනේ ඤාණං …” මාර්ග ඵලයකට සිත පත්වන අවස්ථාවේදී පහළ වූ ධර්මතාවයන් දක්නා නුවණ තමයි ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා කියන්නේ.
මේක සාමාන්‍ය කෙනෙකුට අත්දකින්නට අපහසුයි මොකද ප්‍රඥාව ඉතාමත්ම දියුණු කෙනෙකුට පමණයි ඒක අත්දකින්නට පුළුවන් වන්නේ. උදාහරණ වශයෙන් සෝවාන් මාර්ග ඵලයක් හෝ සකෘදාගාමී , අනාගාමී ආදී කවර මාර්ග ඵලයකට සිත පත්වන විට ඒ අවස්ථාවේදී සමාධිය කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වුණාද , තමාගේ සිත තුළ ඒ වන අවස්ථාවේදී සතිය කොහොමද ක්‍රියාත්මක වුණේ, ප්‍රඥාව කොහොමද ක්‍රියාත්මක වුණේ, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහ, බොජ්ජංග ධර්මයන් ක්‍රියාත්මක වුණේ කොහොමද ආදී වශයෙන් ඒ කරුණු දකින්නට පුළුවන්. ඒවා දකින්නේ සියුම් වූ ප්‍රඥාවකින්, එවැනි ප්‍රඥාවක් නැති කෙනෙකුට ඒ වාගේ ප්‍රත්‍යවේක්ෂා ඥානයක් ඇතිකරගන්නට බැහැ.
විශේෂයෙන්ම අටුවා වල ඒ වගේම විශුද්ධි මාර්ගය වැනි පොත් පත්වල දක්වා තිබෙනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන 19 ක්. වෙනත් ආකාරයකින් ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන දක්වා තිබෙන්නේ. ඒ 19 ක් කියලා ප්‍රත්‍යවේක්ෂ ඥාන ගණනයෙන් දක්වන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, කියන මාර්ග ඵල අවස්ථා වලට එක එක මාර්ගයකට ප්‍රත්‍යවේක්ෂ ඥාන 5 බැගින් 15 ක්. රහත් මාර්ගයේදි ප්‍රත්‍යවේක්ෂා ඥාන 4 ක් . එහෙමයි 19 ක් වන්නේ. ඒ පහ බැගින් දැකිය යුතු ප්‍රත්‍යවේක්ෂා ඥාන මේ අය දකින්නට, බලන්නට උත්සාහ ගන්නට ඕන.
ඒක තමයි තමන් නැසුවා නම් යම්කිසි සංයෝජන ධර්මයක් , යම්කිසි ක්ලේශ ධර්මයක් ඒ නැසූ ක්ලේශ ධර්මයන් දකින්න පුළුවන් ශක්තිය, ප්‍රත්‍යවේක්ෂා ඥාන. ඒ පිළිබඳ නුවණක් ඇතිකර ගන්නට පුළුවන්.
තමන් ළඟ දැනට තව ඉතිරිවෙලා තිබෙන කෙලෙස් සහ සංයෝජන ධර්ම මොනවද කියල දකින්නට පුළුවන් ඥානය.ඒකත් ප්‍රත්‍යවේක්ෂා ඥානයක්.
ඊළඟට මාර්ග ඥානය මේකයි කියලා දක්නා ප්‍රත්‍යවේක්ෂා ඥානය.
ඵල ඥානය මේකයි කියලා දක්නා ප්‍රත්‍යාවේක්ෂා ඥානය සහ ඊට පස්සේ තවත් ප්‍රත්‍යවේක්ෂා ඥානයක් දක්වනවා නිවන මේකයි කියලා.
එතකොට ඉදිරියේදී තව නසන්නට තිබෙන ක්ලේශ ධර්ම සංයෝජන ධර්ම මොනවද කියලා රහත් වූ කෙනෙකුට දකින්නට නැති නිසා එතන රහත් වූ කෙනෙකුට ප්‍රත්‍යාවේක්ෂා ඥාන 4 ක් පමණක් උපදවා ගත හැකි බව තමයි ඒ විශුද්ධි මාර්ග වැනි පොත් පත්වල දක්වා තිබෙන්නේ. අටුවා වලත් ඒ මතය පිළි අරගෙන තිබෙනවා.
එතකොට මේ දක්වා නැසූ සංයෝජන ධර්මයන් ප්‍රත්‍යාවේක්ෂා ඥාන තුළින් කෙනෙකුට අත්දකින්නට පුළුවන්. උදාහරණ වශයෙන් සෝවාන් වන විට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම තුන සම්පූර්ණයෙන්ම නැවත නූපදින ආකාරයෙන්ම නසන බව මේ අය දන්නවා. ඒ බව පොත්පත් වලත් සඳහන් වී තිබෙනවා. බුදුරජාණන් වහන්සෙත් දෙශනා කර තිබෙනවා. එතකොට යම්කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය හරියට ප්‍රහාණය වීම , ප්‍රයෝගික වශයෙන් අත්දකින්නේ රූපස්කන්ධයන්ගේ නිරෝධය දැකීම තුළින් රූපය තුළ ආත්මයක් ඒ අවස්ථාවේ නැති බව ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකීම ලැබීමෙන් සහ දෙවනුව නාමස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දැකීම තුළින් නාම ධර්ම තුළ ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකීම තුළින්. ඒකෙන් අදහස් කරන්නේ විදර්ශනා භාවනාවක නියැලෙන කෙනෙකුට රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී ගොස් නිරුද්ධ වී ගොස් කොතෙක් සිතින් බැලුවත් රූපස්කන්ධය දෙස තමාට රූපය තිබෙන බවවත් තේරෙන්නේ නැතිව ගියාට පසුව ඒ අවස්ථාවේදී රූපය තමන්ගේ සිතට අරමුණු වන්නේ නැහැ, ඒක නිසා ඒ වෙලාවේදී රූප නිරෝධයකට සිත පත්වෙලා තිබෙන්නේ.
ඒ රූපය ඒ අවස්ථාවේදී දර්ශනය නොවන නිසා රූපස්කන්ධය මමය, මගේ ආත්මයක්ය කියලා ගන්නට ඒ අවස්ථාවේදී විද්‍යමාන වන්නේ නැහැ, පවතින්නේ නැහැ. ඒක නිසා රූපස්කන්ධය තුළ ආත්මයක් දක්නට නැති බව ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකිනවා. ඊට පස්සේ ඉතිරි වන්නේ ඒ හිස් වූ ඒ ශූන්‍යතා දර්ශනය දක්නා දැනීමක් පමණයි. රූප නිරෝධයට සිත පත්වුණාට පස්සේ සිත හිස්වෙනවා, ඒක සාමාන්‍යයෙන් ඕලාරික තත්වයේ පවතින්නා වූ ශූන්‍යතාවයක්. ඒක දක්නා සිතක් තිබෙනවා. මේ සිත සහ, ඒ සිතේ යෙදෙන වේදනා ආදී වෙනත් ස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දැක්කාට පස්සේ ඒ අවස්ථාවේදී නාම ධර්මයන් තුළත් ආත්මයක්, මම කියලා ගන්නට දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ ලෙස කෙනෙකුට අත්දකින්නට පුළුවන්. ඒ නාම ධර්ම ක්ෂණයක සුළු කාලයකදී හෝ නිරුද්ධ වී ගියා නම්, ඒ ක්ෂණයක සුළු කාලය තුළඳී පවා ආත්මයක් කියලා ගන්නට කිසිම දෙයක් නැති බව තමන්ට පැහැඳිළිව අත්දකින්නට පුළුවන් කම ලැබෙනවා.
මේක ඕනම කෙනෙක් භාවනා කළා නම් සාමාන්‍යයෙන් අත්දකිනු ලබන දෙයක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නිරුද්ධ වන ආකාරය දක්නා සාමාන්‍ය ක්‍රමය. ඉතින් සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය පැහැඳිළිව පෙනේවා කියල අධිෂ්ඨාන කරලා සෝවාන් වූ කෙනෙකුට භාවනා කිරීම තුළින් නැවත විදර්ශනා භාවනා කිරීම තුළින් තමාගේ සන්තානය තුළ සක්කාය දිට්ඨිය නැවත නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වී ගිය ආකාරය දකින්නට පුළුවන්. ඒ දකින විට, බොහෝ විට අත්දකින්නේ තමා ඊට ප්‍රථමයෙන් අත්දැකපු අත්දැකීමමයි. ඒක පුරුද්දෙන්ම වාගේ ලැබෙන නිසා තවත් ආකාර කීපයකින්ම සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය බලන එක ඉතාමත්ම සුදුසුයි. වෙනත් ආකාරයකිනුත් සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය ඉතා පැහැඳිළිව පෙනේවා කියලා අධිෂ්ඨාන කරලා නැවතත් විදර්ශනා භාවනාවක නියැළෙන්නට ඕන. විශේෂයෙන්ම පංචස්කන්ධ ධර්ම හරි, ධාතු හරි ආයතන හරි හේතු ඵල ධර්ම වශයෙන් හරි නාමරූප ධර්ම වශයෙන් හරි කවර ආකාරයකින් හරි මේ නාම රූප ධර්මයන් අනිත්‍ය සහ අනාත්ම වශයෙන් දැක දැකා භාවනා කරන විට ඒ තුළින් ඒ සෑම ක්‍රියාදාමයක් තුළින්ම කෙනකුට දකින්නට, අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා මේ කොයි ආකාරයෙන් බැලුවත් ආත්මයක් කියලා දෙයක් මේ පංචස්කන්ධ ලෝකය තුළ විද්‍යාමාන වන්නේ නැහැ නේද කියන කරුණ.
මෙන්න මේ විදියට ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකීමක් ලැබුවාට පස්සේ තමන්ටම ස්ථිර වශයෙන්ම පැහැඳිළි ලෙසම වැටහෙනවා , අවබෝධ වෙනවා, මම මෙන්න මේ විදියට අත්දැකලයි සක්කාය දිට්ඨිය නිරුද්ධ කළේ කියලා. බොරුවට හිතා ගත්තා නෙවෙයි, නැත්තම් රැවටුණා නෙවෙයි. තමන්ගේම අත්දැකීමක්. දැන් අද කාලයේ බොහෝ ප්‍රසිද්ධියට පත් වූ අය කියන කතා තියෙනවා සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම කියලා අමුතු දර්ශන නැහැ, අමුතු නාම රූප නිරෝධ කිරීම කියලා දේවල් නැහැ, ඒවා නිකම් අවබෝධයක් විතරයි කියලා. එතකොට එවැනි කතා පිළිගන්නේ නැහැ, නියම ආකාරයෙන් සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය පැහැඳිළිව ප්‍රත්‍යක්ෂ ලෙස දැක්කා නම්.
එතකොට ඒ ප්‍රහීණ කෙලෙස් අතර , සංයෝජන ධර්ම අතර සක්කාය දිට්ඨිය පමණක් නොවෙයි නිරුද්ධ වන්නේ. සෝවාන් වෙනකොට විචිකිච්ඡාවත් නිරුද්ධ වී ගිහිල්ල තියෙනවා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයත් නිරුද්ධ වී ගිහිල්ලා තියෙනවා. මේ නිරුද්ධ වී ගිය ආකාරයත් තමන් බලන්නට ඕනෑ.
විචිකිච්ඡාව නිරුද්ධ වී ගිය ආකාරය ඉතා පැහැඳිළිව පෙනේවා , ඒ වගේම සීලබ්බත පරාමාස සංයෝජනය නිරුද්ධ වී ගිය ආකාරය ඉතා පැහැඳිළිව පෙනේවා කියලා භාවනාවක් කරන්නට ඕනෑ. මේ විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සංයෝජන ධර්මයන් ක්ෂය වී ගිය ආකාරය කෙසේද කියලා ප්‍රත්‍යවේක්ෂ ඥාන ඇතිකරගත්තු කෙනකුට යම්කිසි අවබෝධයක් ලැබෙනවා.
ඒක නිසා සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය පැහැඳිළිව දැක්කාට පසුව විචිකිච්ඡා , සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයන් කෙරෙහිත් අවධානයක් යොමු කරන්නට ඕන. ඒ ප්‍රහීණ කෙලෙස් පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාව. මේක එක වරක් කළාට මදි. බොහෝ වාරයක් කරන එක ඉතාමත්ම සුදුසුයි.
ඉන් පස්සේ තිබෙනවා ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරන්න. තමන්ට තව මොනවද තියෙන්නේ නැති කරන්නට කියලා. එතකොට තම්න්ට තේරෙන්නට ඕන සෝවාන් වෙච්ච කෙනකු නම් තමන්ගේ සිත තුළ කාමරාගය තියෙනවා, පටිඝය තියෙනවා. රූපරාග, අරූප රාග හෙවත් භව රාගය තියෙනවා, ඊලඟට මානය තියෙනවා, උද්ධච්ඡය තියෙනවා, අවිද්‍යාව තියෙනවා. තමන්ට තවත් කාමරාගය ඇතිවෙනවා, තවත් තරහව ඇතිවෙනවා. කාම රාගය තුනී වෙලත් නෑ, ඒ වගේම තරහව තුනී වෙලත් නෑ. සොවාන් වුනයි කියලා කාමරාගය නැතිවන්නේ නෑ, පටිඝය නැතිවන්නේ නෑ. විවාහ වන වයසේ අය නම්, විවාහ වන්නටත් පුළුවන්, දරුවෝ හදන්නටත් පුළුවන්,ඕන එකක් ලෞකික දේවල් වල නිරත වන්නට පුළුවන්. නමුත් එතකොට තමන්ට තේරෙන්නට ඕන තමාගේ සිත තුළ කාමරාග අනුෂය තියනවාය, පටිඝ අනුෂය තියෙනවාය, කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය තවම තියෙනවාය. භවයේ රැඳී සිටීමේ ආශාව භව රාගය තියෙනවාය. ඒ වගේම මානය, මම කියලා කෙනෙක් සිටී කියන හැඟීම තියෙනවාය. සක්කාය දිට්ඨිය නිරුද්ධ කරනකොට ආත්මයක් ඇත කියන එකයි නිරුද්ධ වන්නේ. රූපය, වේදනාව, සංඥාව , සංඛාර , විඥාන, කියන ස්කන්ධ ධර්මයන් තුළ ආත්මයක් ඇත කියන හැඟීම දුරු වනවා සක්කාය දිට්ඨිය නිරුද්ධ වීම තුළින්. නමුත් මේ මම කියල කෙනෙක් සිටී කියන හැඟීමට කියන්නේ ” අස්මි මානය” . මේක දුරු වන්නේ රහත් වෙනකොට. ඒ නිසා අස්මි මානය තමන්ගේ සිත තුළ තිබෙන ආකාරය දැක ගන්නට පුළුවන්. ඊලඟට සිතේ විසිරෙන ගතිය. හැම වෙලාවෙම සිත නිසලව පවතින්නේ නැහැ, සිත සමාධිමත්ම පවතින්නේ නැහැ, සිතට විශේෂයෙන්ම භාවනාවකින් තොරව , යෝනිසෝ මනසිකාරයෙන් තොරව සිටින වෙලාවට සිතේ විසිර යෑම් සිදුවන්නට පුළුවන්. උද්ධච්ඡය පවතිනවා.
සාමාන්‍යයෙන් සෝවාන් වෙච්ච කෙනකුට අවශ්‍ය නම් සිතිවිලි ඇති නොකර ගෙන වුවත් ඉන්නට පුළුවන්, බොහෝ ඒකේ ශක්තිය තිබෙන තාක් කල් සිතිවිලි නිරායාසයෙන්ම එන්නේ නැතුව , බොහෝ දුරට අඩුවෙනවා. නමුත් උද්ධච්ඡය නැතිවුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නෑ, ඕන වෙලාවක සිත විසිරෙන ගතිය තියෙනවා. ඊළඟට අවිද්‍යාව තමාගේ සිත තුළ තිබෙනවා . අවිද්‍යාව කියන්නේ නොදත්කම.
සක්කාය දිට්ඨිය පිළිබඳ අවිද්‍යාව , සක්කාය දිට්ඨිය නිරුද්ධ වීමේදි නිරුද්ධ වුණා. වෙන අවිද්යාවක් නෙවෙයි. ආත්මයක් ඇත කියන එක අවිද්‍යාව, මෝඩකමක්. ඒ මෝඩකම පමණයි නිරුද්ධ වුණේ. තව ගොඩාක් මෝඩකම් තියෙනවා. ඒක නිසා අවිද්‍යාව තියෙනවා. මෙන්න මේ කියන කරුණු ටික ඒ කියන්නේ තමා ළඟ තව ඉතිරි වෙලා තියන, නැති කරන්නට තියන ,ප්‍රහීණ කරනන්ට තියන සංයෝජන ධර්ම ,කෙලෙස් මොනවද කියලා තේරුම් ගන්නට ඕන . ඒකත් එක්තරා ප්‍රත්‍යවේක්ෂා ඥානයක්.
එතකොට ප්‍රහීණ කෙලෙස් ප්‍රත්යවේක්ෂාව එකක්, ඊළඟට ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේක්ෂාව තවත් කරුණක්.
මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.