සෝවාන් වීමට නම් ( 6 කොටස )

15622179_569316233264329_3078421207319326154_n

අනත්තනි අනත්තාති :

ආත්ම නොවන, මම නොවන, මගේ නොවන, සත්වයෝ පුද්ගලයෝ නොවන , මේ සංස්කාර ධර්ම ඒකාන්ත වශයෙන්ම අනාත්ම ලෙස තමාට අවබෝධ විය යුතුයි. සාමාන්‍ය ජනතාව තමාගේ ඇඟ අරගෙන ,සිත අරගෙන, “මේ මිනිහෙක්, මේ ගැහැණියක්, මේ සත්වයෙක්, මේ පුද්ගලයෙක්, මේක ආත්මයක්, මේ මම” කියා හිතාගෙන තමයි, කටයුතු කරන්නේ. ඉතින් සමහරුන්ට කිව්වොත් “මේක ආත්මයක් නොවෙයි, මම නොවෙයි, මගේ නොවෙයි” කියලා, ” ඒ හාමුදුරුවෝ ආත්මයක් නොවෙයි කියනවා, මම නොවෙයි කියනවා, මගේ නොවෙයි කියනවා “කියමින් හිනාවෙවී යනවා. එහෙම අවස්ථා රාශියක් මට හමුවී තිබෙනවා. මෝඩකම නිසා ඒ අයට තේරෙන්නේ නැහැ.ඒ නිසයි ඒ තරම් දැඩි වශයෙන් ග්‍රහණය කරගෙන සිටින්නේ. ඒ නිසා තමන් තේරුම් ගන්නට ඕනෑ,මේක කිසිසේත්ම තමන්ට ඕනෑ විදියට හසුරුවන්නට හැකි ධර්ම නොවෙයි. තමන්ට ඕනෑ විදියට පවතින ධර්ම නොවෙයි. හේතු මත ඇතිවන ඵල ධර්ම මිස අන් කිසිවක් නොවෙයි. “මේවා හේතු ඵල, අනාත්ම ධර්ම” කියා තමාට වැටහෙනවා නම් අවබෝධ වෙනවා නම්, අනාත්ම ධර්ම අනාත්ම වශයෙන්ම වැටහෙනවා නම්,ඒක යෝනිසෝ මනසිකාරයක්.

උදාහරණයකට අපි හිතමු, අප රූපවාහිනි දර්ශනයක් හෝ, චිත්‍රපට දර්ශනයක් බලා සතුටු වෙනවාය කියා. අප හිතනවා නම් මෙතන සතුටු වන්නේ මම මගේ කියා, එය යෝනිසෝ මනසිකාරය නොවෙයි. අයෝනිසෝ මනසිකාරයක්. මෝඩකමක්. ඉතින් ඇස තිබෙනවා, රූපය තිබෙනවා.ඇසයි, රූපයයි ගැටීම නිසා සිතක් පහළ වෙනවා, ඒ සිත නැතිවුණා, තව සිතක් ආවා. ඔය විදියට හේතු නිසා පහළ වන ඵල ධර්ම ක්‍රියාදාමයක් තමයි මෙතන තියෙන්නේ. මෙය නොදත් ලෝක සත්වයා මෝඩකම, අවිද්‍යාව තිබෙන තාක් කල් මෙයට රැවටී අවිද්‍යාවෙන් අඳුරටම යනවා. ඒ නිසා මේ අනාත්මය අනාත්මය වශයෙන් දකිනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයක්.

අසුභෙ අසුභන්ති :

අසුභ සංස්කාර අසුභ වශයෙන් දැකීමයි.මේ අසුභ සංස්කාර වශයෙන් යනුවෙන් අදහස් කරන්නේ කෙස්,ලොම්,නිය,දත්,සම්,මස්,නහර,ඇට,ඇට මිඳුළු, ආදි වශයෙන් දෙතිස් කුණප කොට්ඨාස අරගෙන “මේ ශරීරය අසුභයි,අසුභයි” කියා සිතන එක පමණක් නොවෙයි. ඒකත් අසුභයක් තමයි.ශරීරය සුභ වශයෙන් මතුපිට සමෙන් වැහිලා තිබෙනවා. මේ මතුපිට සම ඉතාම සියුම් දෙයක්. ඒ සම ඉවත් කළොත්, ඇතුළේ තිබෙන සෑම දෙයක්ම ගඳයි. හැම දෙයක්ම පිළිකුල්. හැම දෙයක්ම බලන්නවත් බැහැ. උදාහරණයක් වශයෙන් මෙතන ඉන්න කෙනෙකුගේ බඩ පැලුවා යැයි සිතමු. එවිට ඇතුළේ තිබෙන දේවල් එළියට ගත්තොත්, අර පාර හරියේ ඉන්නට බැරිවෙයි. ඒ තරම් ගඳක්, ජරාවක්. අප හැම දෙනාගේම ශරීර එහෙම තමයි. ඉතින් ඒ තත්වය තේරුම් ගැනීමත් අසුභයක්.

මෙතන අසුභ කියන්නේ ඊට වඩා එහා දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, “සබ්බ සංඛාරේහි අට්ටීයති, හරායති, ජිගුච්ඡති” කියලා. ” සියළුම සංස්කාර කෙරෙන් පීඩා වෙනවා, ලැජ්ජාවට පත්වෙනවා, පිළිකුලට පත්වෙනවා “කියලා. කලින් කීවේ පිළිකුල් දේ පිළිකුල් වශයෙන් බැලීම.එහෙම නොවෙයි ඇත්ත ඇති සැටියෙන් දැකීමයි යෝනිසෝ මනසිකාරය යනුවෙන් අදහස් කරන්නේ. සියළුම සංස්කාර පිළිකුල් වශයෙන් දැකීම. හොඳ ඒවා තිබුණත්, නරක ඒවා තිබුණත්, ලස්සන ඒවා තිබුණත්, කැත ඒවා තිබුණත්, ඒ සියල්ල පිළිකුල් වශයෙන් දැකීම ගැඹුරු කාරණයක්.එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී දර්ශන තුළින් මතුකර ගත යුතු කාරණයක්.

ඒ විදියට තමන්ට තේරෙන්නට ඕනෑ, මේවා අසුභ වශයෙන්.මේවා පවතින එක ඒතරම් හොඳ දෙයක් නොවෙයි කියලා තේරෙන්නට ඕනෑ. නාම රූප ධර්මයන් – එනම් තමන්ගේ ඇඟ සහ සිත – තමන්ගේ ජීවිතය දිගටම පවත්වා ගෙන යෑම , නැවත නැවත් ඉපදී ඉපදී යන එක ඇත්ත වශයෙන්ම පිළිකුල් දෙයක්.මහා වධයක්. මහා දුකක්. මහා කරදරයක්. මහ පීඩනයක්. මේ තත්වය තමාට නොතේරෙන නිසා මිනිස්සු දිගින් දිගටම මේවාට ඇලි ඇලී, සංසාරය පුරා යනවා.ජාතියට වැටෙනවා, ජරාවට වැටෙනවා, ව්‍යාධියට වැටෙනවා. මරණයට වැටෙනවා.නැවත නැවත සංසාර දුකම අනුභව කර කර ඒ දුකම ප්‍රාර්ථනය කරනවා. මෙතන තියෙන්නේ මෝඩකම.ඒ නිසා හැකි තරම් දුරට නුවණින් මෙනෙහි කරන්න පුරුදු වෙන්නට ඕනෑ. ” මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි” කියන කරුණු හතරවත් අඩු වශයෙන්.තව තිබෙනවා. මේවා හේතු ඵල වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතු ආකාර රාශියක්. මේ හතරවත් අඩු වශයෙන් මෙනෙහි කරන්නට පුරුදු වන්නට ඕනෑ.

පෙර භව වල මේ කරුණු හතර දියුණු කළ අය සිටිනවා නම්, එවැනි කෙනෙකුට මේ ජීවිතයේදී ධර්මය ශ්‍රවණය කිරීමෙනුත් නිවන් යන්නට පුළුවන්.
එසේ නැති කෙනෙකුට මේවා පාරමී වශයෙන් තමාගේ සිත තුළ දියුණු වී නැති නම් ,බුදු කෙනෙක් ළඟට ඇවිත් බණ කිව්වත් නිවන් යන්නේ නැහැ. බුදු කෙනෙක් ඇවිත් මාර්ගය කියා දුන්නත් ඒ මාර්ගය අනුගමනය කරලා නිවන් යන්නට බැහැ. මෙතෙක් ලෝකයේ පහළ වූ බුදු වරුන්ගේ ගණන සීමා කරන්නට බැරි තරම් විශාලයි. අප මේ දක්වා සංසාරයේ ඇවිදගෙන ආවේ මේ බුදුවරු මේ තරම් ධර්මය දේශනා කරලා ,චතුරාර්‍යය සත්‍යය මතුකරලා ,ලෝක සත්වයාට නිවන් මඟ පෙන්වා දීලා ,අසංඛ්‍යය ගණන් සත්වයා නිවනට පත් කරද්දී අප මේ සංසාරයේ රැඳුණේ ; එදා අප මේ ගුණ ධර්ම දියුණු කර නොතිබූ නිසයි . ඉතින් දැන්වත් මේවා දියුණු නොකළොත් අනාගතයේ වන්නෙත් ඔය ටිකමයි. නිවන් යෑමට බලාපොරොත්තු වෙන අය විසින් සංසාර දුකින් මිදීමට බලාපොරොත්තු වන අය විසින් ඇති කරගත යුතු ඒ ගුණ ධර්ම හතර ඇති කර ගන්නට ඕනෑ.

මේ විදියට යම් කෙනෙක් කටයුතු කළොත් ඒ කුස්ල ධර්මය, ඒ පාරමී ශක්තිය කවදා හෝ දවසක සෝවාන් ආදී මාර්ග ඵල ලැබීමට හේතු උපනිශ්‍රය වෙනවා නිසැකයි. මේ අංග දියුණු කර ගැනීමෙන් ඔබටත් කවදා හෝ දවසකදී ප්‍රාර්ථනය කළ පරිදි නිවනින් සැනසීමට වාසනාව ශක්තිය උදා වේවායි ආශිංසනය කරමු.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ "සෝවාන් වීමට නම්..." 
ග්‍රන්ථය ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.