4.යෝනිසෝ මනසිකාරෝ
දැන් අප මේ හතර වෙනුව කියන්නේ, බුදුරජාණන් වහන්සේ තුන්වෙනුව කියූ කාරණාව වන යෝනිසෝ මනසිකාරයයි. නුවණින් මෙනෙහි කිරීමයි. මෙය තමයි නිවන් දකින්නට ඉතාමත් අවශ්‍ය කාරණාව. එකයි අප එය අවසානයට ඉදිරිපත් කරන්නේ.
මනසිකාරය කියන්නේ මෙනෙහි කිරීම. මෙනෙහි කරනවා කියන්නේ සිත තුළ සිතිවිලි පහළ වීම. මෙනෙහි කිරීම දෙකක් තිබෙනවා.
යෝනිසෝ මනසිකාරය – නුවණින් මෙනෙහි කිරීම
අයෝනිසෝ මනසිකාරය – නුවණ නැතිව මෝඩකමින් මෙනෙහි කිරීම
“තත්ථ කතමෝච භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ?”
කුමක්ද මහණෙනි යෝනිසෝ මනසිකාරය කියන්නේ?
“අනිච්චේ අනිච්චන්ති, දුක්ඛේ දුක්ඛන්ති, අනත්තනි අනත්තාති, අසුභෙ අසුභන්ති , යෝනිසෝ මනසිකාරෝ, පථ මනසිකාරෝ, සච්චා පටික්කූලේනවා චිත්තස්ස ආවට්ටනා,අන්වාවට්ඨනා ආභොගො සමන්නාහාරෝ මනසිකාරෝ අයං වුච්චති භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ”කියා බුදුරජාණන් වහන්සේ විස්තර කළ තැනක් තිබෙනවා විභංග ප්‍රකරණයේ.
අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය වශයෙන්ම දකිනවා නම් එය යෝනිසෝ මනසිකාරයක්. අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් දකිනවා නම් එය යෝනිසෝ මනසිකාරයක් නොවෙයි. මොනවාද මේ අනිත්‍ය දේ කියන්නේ ? තමන්ගේ රූපය අනිත්‍යයි. තමන්ගේ වේදනාව අනිත්‍යයි. (තමන්ගේ කියන්නේ සම්මුති වශයෙන්) තමන්ගේ සංඥාව අනිත්‍යයි. තමන්ගේ සිත තුළ තිබෙන සංස්කාර අනිත්‍යයි.තමන්ගේ සිතේ පහළවන විඤ්ඤාණය -දැනීම සියල්ල අනිත්‍යයි. මේ ලෝකයේ සියළුම සත්වයන් මේ ආකාරයෙන් කොටස් 5 කට බෙදන්න පුළුවන්. පංචස්කන්ධ වශයෙන් රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥන කියා.මේ පංචස්කන්ධයක් සහිත ලෝකයේ ඇති සෑම ධර්මයක්ම අනිත්‍යයි. රූපස්කන්ධය කීවාම පණ ඇති, පණ නැති සියල්ලම ඊට ඇතුළත්.
දුක්ඛේ දුක්ඛන්ති :
මේක දුකක්. මේ රූපස්කන්ධය පවතින තාක් කල් ලැබෙන්නේ සැපක් නොවෙයි දුකක්මයි. කවන්නට ඕනෑ; පොවන්නට ඕනෑ;නිදි කරවන්නට ඕනෑ; රැකී රක්ෂා කරන්නට ඕනෑ. ඒ කොයිතරම් දේ කළත් මේ කයින් කිසිම කෙළෙහිගුණයක් ලැබෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම දුක් ලබා දෙනවා.
ඉඳගෙන ඉන්නත් බෑ , දුක්. හිටගෙන ඉන්නත් බෑ, දුක්.නිදාගෙන ඉන්නත් බෑ, දුක්. සියල්ලම දුක්.මේ දුක් නැති කරන්න එහාට මෙහාට ඇඹරි ඇඹරි, ඉරියව් මාරු කර කර කෑම බීම දිදී, බේත් හේත් ආදිය ගිල්ල ගිල්ලා අප මේ ශරීරය නඩත්තු කරනවා. මේක මහා වධකයෙක්. හරියට තමන් මරන්නට එන වධකයෙක් වගේ. වධකයෙක් නම් ඉතාම හොඳයි. එක සැරයක් ආවා; කෙටුවා; මැරුවා. මේ ශරීරය එහෙම නොවෙයි. උපන් දවසේ ඉඳලා මේ දක්වා වධකයෙක් වධ දෙනවා වගේ වධ දෙනව. සමහරවිට ඇස් වලට ගහනවා, ඇස් අන්ධ වෙන්න. අත් වලට ගහනවා, අත් කැඩිල, බිඳිලා යන්න. කකුල් වලට ගහනවා කකුල් කැඩෙන්න.සමහරවිට ගහනවා ඔත්පල වෙලා නැඟිටින්න බැරිවෙන්නට.සමහර විට අංශභාග වැනි තත්වයන්ට පත් කරලා, නැඟිටින්නට බැරිවෙන්න ගහනවා. ඔය විදියට වධ දීල, වධ දීලා මරන්නෙත් නිකම් නොවෙයි,දස දුක්, දස වධ දීල. මේ පංචස්කන්ධ ලෝකය පවතින එක ඒකාන්ත වශයෙන් දුකක්. දුක්ඛ සත්‍ය කියන්නේ මේක.
මේක දුක්ඛ සත්‍ය කියලා දන්නේ නැතිකම නිසා ඇලි ඇලී, ගැලි ගැලී ආශා කරලා මේවා බඳාගෙන කටයුතු කරනවා. ඉතින් ඒ පුද්ගලයාට මේක අතහැරීමෙන් ලබන නිවන ලබන්නට කවදාඅවත් බැහැ. මොකද, දුකක් වූ, දුක්ඛ සත්‍යයක් වූ මේ පංචස්කන්ධ ලෝකය සැපක්ය, යහපත් දෙයක්ය, කියා යම්කිසි කෙනෙක් වැරදි විදියට ග්‍රහණය කරගෙන ඉන්නවා නම්, ඔහුට මෙය අතහරින්නට කිසිසේත්ම කැමැත්තක්, රුචියක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා මේ පංචස්කන්ධ ලෝකය අතහැර නිවන් ලබන්නට නම් එය දුකක් වශයෙන් දකින්නට ඕනෑ.
“දුක්ඛේ දුක්ඛන්ති යථා භූතං පජානාති” දුක දුකක් වශයෙන්ම, ඇත්ත ඇති සැටියෙන්ම දකින්නට ඕනෑ. එය යෝනිසෝ මනසිකාරයක්. නුවණින් දැකීමක්. වැරදි ආකාරයෙන් දකිනකොට ඕකේ,අනිත් පැත්ත. “මේවා සැපයි, සැපයි කියා සිතනවා නම්” එය යෝනිසෝ මනසිකාරය නොවෙයි. අයෝනිසෝමනසිකාරය. මෝඩකමින් කල්පනා කිරීම. සැප වේදනාවක් ලැබුවත් දුකක්. “සුඛා වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා”කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඔබ සිතන්නට පුළුවන් ” දැන් අපට සැප තිබෙනවා නේද ?නොයෙක් ආකාරයේ ස්පර්ශ ලබලා සැප විඳිනවා රූප දැකලා සැප විඳිනවා.ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් ස්පර්ශ ලබලා, නොයෙක් ආකාරයෙන් සැප විඳිනවා නේද?” කියලා. මේක ඒකාන්ත වශයෙන් දුකක් ලෙස දකින්නට කියා බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. ඔය කියන සැප නිකම් ලැබෙන්නේ නැහැ. හොය හොයා යන්නට ඕනෑ. එයට අවශ්‍ය දේ සම්පාදනය කරගන්නට ඕනෑ. ඒ සැප ලැබුවත් එවෙලෙම,එතැනම, නැතිවී යනවා. ඒ සැපයට ආශා කරපු නිසා සංසාරය පුරා දුකින් දුකටම පත්වෙනවා. සමහරවිට ඒ ආශාව නිසා ප්‍රේත ලෝකවලට ඇඳවැටිලා කල්පය පුරාම දුක් විඳිනවා. මේ ආකාර සංසාර දුක් විඳ විඳ ආවේ මේ ආශාවන් නිසා. සුඛ වේදනාවටම ඇලීම නිසා.මේ පංචස්කන්ධය දුකක් වශයෙන් අවබෝධ නොකළ නිසා. මේ ආකාරයෙන් දුක දුකක් වශයෙන්ම දකින්නය ඕනෑ නිවන් යාමට බලාපොරොත්තු වන අය.
මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ "සෝවාන් වීමට නම්..." ග්‍රන්ථය ඇසුරෙනි..