සෝවාන් වීමට නම් ( 4 කොටස )

15698320_569078359954783_6466857791230041745_n

දැන් අප සෝවාන් වීමට අවශ්‍ය කරුණු දෙකක් දේශනා කර තිබෙනවා.
1. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය 2. සද්ධර්ම ශ්‍රවණය

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා “යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්ති ” කියලා.
” යෝනිසෝ මනසිකාරෝ” කියන්නේ, නුවණින් මෙනෙහි කිරීම.
“ධම්මනු ධම්ම පටිපත්ති ” කියන්නේ නිවන් මාර්ගයේ ගමන් කිරීම.
යෝනිසෝ මනසිකාර කියන කාරණය පසුව විස්තර කරන්නම්. ” ධම්මානු ධම්ම පටිපත්ති ” කියන කාරණය දැන් ඉදිරිපත් කරනවා.

3. ධම්මානු ධම්ම පටිපත්ති.

ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය කියන්නේ නිවන් යෑමට අවශ්‍ය වූ නිවැරදි මාර්ගයක් අනුගමනය කිරීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා ඒ මාර්ගය. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. “ඒසෝව මග්ගෝ නත්ථඤ්ඤෝ” කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ” ඒසෝව මග්ගෝ” ඒකමයි මාර්ගය, “නත්ථඤ්ඤෝ” වෙන මාර්ගයක් නැහැ, නිවන් යන්නට. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගුණ ධර්ම අට සමහරවිට මේ අය දන්නවා ඇති.

1. සම්මා දිට්ඨි 2. සම්මා සංකප්ප 3. සම්මා වාචා 4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව 6. සම්මා වායාම 7. සම්මා සති 8. සම්මා සමාධි

මේ අංග අට දියුණු කර ගැනීමෙන් තමයි කවදා හෝ දවසක සෝවාන් ආදී මාර්ග ඵල ලබා අපට නිවනින් සැනසෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. දන් දීම් ආදී කවර කුසලයක් කරත් මේ අංග අට දියුණු කළේ නැත්නම් කවදාවත් නිවන් ලබන්නට බැහැ. මේවා අහලා දැනුම් සම්භාරය ගොඩගහගෙන “මාත් මෙවැනි ධර්ම ඥාණයක් ඇති කෙනෙක්.බෞද්ධාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක වාගීශ්වර වැනි තත්වයකට පත් වුණා” කියන එක නොවෙයි,මෙයින් බලාපොරොත්තු වන්නේ. මේ ධර්මය තමාගේ ජීවිතයට එකතු කර ගැනිමයි.

දැන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග හඳුනා ගනිමු. (සම්මා දිට්ඨිය ගැන පසුව දැක්වේ.)

සම්මා සංකප්ප:
සම්මා සංකප්ප කියන්නේ යහපත් සංකල්පනා. යහපත් සංකල්පනා කියන්නේ වැරදි සංකල්පනා වලින් ඈත්වූ නිවැරදි සංකල්පනා ඇති කර ගැනීමයි. මොනවද මේ නිවැරදි සංකල්පනා ?
1. නෙක්ඛම්ම සංකල්පනා 2. අව්‍යාපාද සංකල්පනා 3. අවිහිංසා සංකල්පනා

1. නෙක්ඛම්ම සංකල්පනා කියන්නේ, මේ සංසාර දුකින් මිදෙන්නට ඕනෑය, මේක මහා භයානක දෙයක්ය, මේ නිවන අවබෝධ කරගන්නට ඕනෑය, ලෞකික දේවලම පැටළී සිටින එක ඥානවන්තකමක් නොවෙයි, ආදී වශයෙන් සංසාර දුකින් මිදෙන්නට අවශ්‍ය ආකාරයේ සිතිවිලි තිබෙන්නට ඕනෑ, සංකල්පනා තිබෙන්නට ඕනෑ.ඒවා නැතිනම් නිවන් යෑමට අවශ්‍ය කිසිවක් කරන්නේ නැහැ. ඒ නිසා නෙක්ඛම්ම සංකල්පනා තිබෙන්නට ඕනෑ.

2. අව්‍යාපාද සංකල්පනා කියන්නේ තරහ නොවන සිතිවිලි. දවසකට අඩු වශයෙන් විනාඩි පහක්වත් මෛත්‍රී සහගත සිතිවිලි ඇතිකර ගන්න. ” මම නිදුක් වෙම්වා, නීරෝගී වෙම්වා, සුවපත් වෙම්වා.එසේම සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා” කියලා අඩු වශයෙන් ටිකක් හෝ මෛත්‍රී සහගත සිතිවිලි ඇතිකර ගන්න. එදිනෙදා ජීවිතයේ තරහා සිතිවිලි එනකොටම “තරහ සිතක්, තරහ සිතක්” කියලා ඒ තරහ සිත් අඩු කරගන්නට උත්සාහ කරන්න. හැකි තරම් අව්‍යාපාද සංකල්පනා දියුණු විය යුතුයි.

3. අවිහිංසා සංකල්පනා කියන්නේ හිංසා සහගත සිතිවිලි නැතිව කරුණා සහගත සිතිවිලි තමාගේ සිත තුළ තිබීම.නිවන් යෑමට මේ තත්වය ඇතිකර ගැනීම අවශ්‍යයි.

සම්මා වාචා :
සම්මා වාචා කියන්නේ යහපත් වචන. අප නිරන්තරයෙන් බොරු කියනවා නම්, කේලාම් කියනවා නම්, පරුෂ වචන කියනවා නම්, සම්ප්‍රපලාප-හිස් වචන දොඩනවා නම් එය සම්මා වාචාවක් නොවෙයි. සම්මා වාචා කියන්නේ ඒවායින් වැළකීම. බොරු කීමෙන් වළකින්න. කේලාම් කීමෙන් වළකින්න. පරුෂ වචන කීමෙන් වළකින්න. හිස් වචන කතා කර කර තමාගේ කාලයත්, අනුන්ගේ කාලයත් කා දැමීමෙන් වළකින්න. එතකොට සම්මා වාචා දියුණු වෙනවා.

සම්මා කම්මන්ත :
සම්මා කම්මන්ත කියන්නේ හොඳ කර්මාන්ත කියා බොහෝ දෙනෙක් හිතනවා. හොඳ කර්මාන්ත නොවෙයි එයින් අදහස් කරන්නේ. කයින් කරන වැරදි වලින් ඈත්වීම, සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, රහමෙර පානය ආදියයි, කයින් කරන වැරදි. මේ කයින් කරන වැරදි වලින් ඈත්වන්නට ඕනෑ, නිවන් යෑමට බලාපොරොත්තු වන අය.

සම්මා ආජීව :
යහපත් දිවිපැවැත්මක් තිබීමයි. නිවැරදි ආකාරයෙන් තමාගේ ජීවනෝපාය සලසා ගන්නට ඕනෑ.”මොනවා කරලා හරි කමක් නෑ ජීවත් වන්නට ඕනෑ” කියලා වැරදි ආකාරයෙන් ජීවත් වීමෙන් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ එසේ අවුරුදු 100 ක් ජීවත් වනවාට වඩා, එක දවසක් ධාර්මිකව ජීවත් වීම උතුම් කියලයි.

සම්මා වායාම :
සම්මා වායාම යන්නෙන් අදහස් කරන්නේ ,යහපත් උත්සාහය. යහපත් උත්සාහය කියන්නේ අන් කිසිවක් නොවෙයි, මේ දක්වා තමාගේ සිත තුළ ඇති කරගෙන නැති කුසල ධර්ම ඇති කර ගැනීමට උත්සාහ කිරීමයි. එසේම තමා තුළ ඇති කරගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගැනීමට උත්සාහ ගැනීමයි.
මේ දක්වා ඇති කර නොගත් කුසල ධර්ම අනන්තවත් තිබෙනවා. මේ අයගේ සිත් තුළ සතිය සමාධිය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී ධර්ම ඥානයන් , පළමුවැනි, දෙවැනි, තුන් වැනි ,හතවැනි ධ්‍යාන, සෝවාන් ආදී මාර්ග ඵල, විදර්ශනා ඥාණ ආදී විවිධ කුසල ධර්ම ඇතිවී නැත්නම්, ඒවා ඇතිකර ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕනෑ. ඇතිවී තිබෙන ගුණ ධර්ම පිරිහෙන්නට නොදී තව තවත් දියුණු කරන්නට කටයුතු කරන්නට ඕනෑ.

සම්මා සති :
යහපත් සිහියයි. බොහෝ දෙනෙක් මේ සිහියෙන් තොරව කටයුතු කිරීම නිසයි විවිධාකර කරදර වලට පත්වන්නේ. ඒ නිසා සිහියෙන් යුතුව කටයුතු කරනවා නම් සම්මා සතියෙන් යුතුව කටයුත කරන්නට ටික ටික හෝ පුරුදු වෙනවා නම් එය නිවන් මඟ ගමන් කිරීමක් වෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගුණ ධර්මයක් දියුණු කරගැනීමක් වෙනවා. ඒ නිසා දවසකට විනාඩි පහක් දහයක් වත් කරන හැම වැඩක්ම සිහියෙන් යුතුව කරන්නට පුරුදුවන්න. මේ සඳහා ඉතාමත් හොඳයි සතියෙන් යුතුව වැඩ කරන භාවනා මධ්‍යස්ථානයක අඩු වශයෙන් සතියක් දෙකක්වත් ඉන්නට පුළුවන් නම්.එයින් තමාට ආභාෂයක් ලැබෙනවා. ඒ ආභාෂය අනුව මුළු ජීවිතයේම තමාට හැකි අවස්ථාවකදී මේ සම්මා සතිය දියුණ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා.

සම්මා සමාධි :
සිතේ එකඟ භාවයක් තිබීමයි. සිත විසිරෙනවා නම්, සිත නොයෙක් අරමුණු කරා දිවෙනවා නම්, තමාට එකම අරමුණක සිත පවත්වා ගන්නට බැරි නම්, කවදාවත් ඔහුට නිවන් යන්නට බැහැ. “නත්ථි ක්ධානං අපඤ්ඤස්ස, පඤ්ඤා නත්ථි අපක්ධායතෝ “කියා බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. “හිතේ එකඟ භාවයක් නැති කෙනාට ප්‍රඥාවක් එන්නේ නැහැ, උප්පත්තියෙන් ප්‍රඥාව නැති කෙනාට සිතේ එකඟතාවයක් ලබාගන්නට බැහැ.”කියන එකයි ඒ පාඨයේ අදහස. තරමක් දුරට හෝ සිතේ එකඟ භාවය ඇතිකර ගැනීම සඳහා දවසකට විනාඩි 15-20 ක් වත් භාවනා කරන්නට පුරුදුවන්න. දවසකට පැය 24 ක් තිබෙනවා. දවල් කාලයට පැය 12 යි. රාත්‍රි කාලයට පැය 12 යි. අප මේ රාත්‍රී පැය 12 න් කොයිතරම් නින්දට වැය කරනවාද කියා කල්පනා කරන්න. රූපවාහිනිය ළඟ කොයිතරම් කාලයක් වැය කරනවාද කියා බලන්න. මේ පැය 24 , විනාඩි 60 න් වැඩි කළොත් විනාඩි 1440 ක්. දවසේ විනාඩි 1440 න් 1400 ක් ම තමාගේ සංසාරය දිග්ගැස්සෙන ,සසර දුක් ඇතිකරන, දුක්ඛ සමුදය සඳහා යෙදෙව්වත් ,අඩු වශයෙන් මේ නිවන් සඳහා විනාඩි 30-40 ක් වත් යොදවන්නට බැහැ කියනවා නම් ,එයින් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම තමාට අවශ්‍යකමක් නැතිකම.ඒ නිසා දවසකට විනාඩි 15-20 වැනි සුළු කාලයක්වත් භාවනා කරන්නට පුරුදු වන්නට ඕනෑ. මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව හෝ තමාට සුදුසු භාවනාවක්, සුදුසු කෙනෙකුගෙන් උපදෙස් අරගෙන කරන්නට ඕනෑ.

සම්මා දිට්ඨිය :
සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම.යහපත් දැකීම තමයි මේ සංස්කාර ලෝකයේ නියම තත්වය නියමාකාරයෙන් අවබෝධ කරගැනීම. එනම් තමාගේ ඇඟ ගත්තත් , සිත ගත්තත්, බාහිර ලෝකයේ අයගේ කයවල් හා සිත් ගත්තත්, ලෝකයේ පණ ඇති නැති හැමදෙයක්ම ගත්තත්,” මේ හැම දෙයක්ම අනිත්‍යයට යනවා, වෙනත් ස්වරූපවලට පත්වෙනවා, මේවා තුළින් අනන්ත අප්‍රමාණ දුක් ලබා දෙනවා, මේවා ආත්ම ධර්ම නොවෙයි, අනාත්ම ධර්ම, මේවා ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යය හැර වෙන කිසිවක් නොවෙයි, සංස්කාරයන්ගේ පැවැත්මම තමයි දුක්ඛ සත්‍යය, මේවාට ඇලි ඇලී බැඳි බැඳි සිටීම තමයි දුක්ඛ සමුදය සත්‍යය. මේවා අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි.”ආදී වශයෙන් තේරුම් ගැනීමයි, සම්මා දිට්ඨිය කියන්නේ. චතුරාර්ය සත්‍යය ආදී සම්මා දිට්ඨියට අන්තර්ගත කරුණු රාශියක් තිබෙනවා. එයින් ඉතා සුළු කරුණක් පමණයි අප මේ ඉදිරිපත් කළේ. මේ විදියට සම්මා දිට්ඨිය තමාගේ සිත තුළ දියුණු වෙන්නට ඕනෑ.
ධම්මානු ධම්ම ප්‍රතිපත්තියේ නොයෙදෙන කෙනෙකුට නිවන් ලබන්නට බැහැ. ඒ නිසා ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදීම ඉතාම අවශ්‍යයි.ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදීම සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගුණ ධර්ම හොඳින් තේරුම් ගන්නට ඕනෑ.

මේවා වැඩීමෙන් තමයි නිවන් ලැබෙන්නේ. වෙන මාර්ගයක ගමන් කරලා කවදාවත් නිවන් ලැබෙන්නේ නෑ.ඉස්සර ගියෙත් මෙහෙමයි, දැන් යන්නෙත් මෙහෙමයි. අනාගතයේ කෙනෙක් නිවන් අවබෝධ කරගන්නවා නම් ඒ අවබෝධ කරගන්නෙත් මේ මාර්ගයේ ගමන් කරලයි. වෙනත් කිසිම මාර්ගයක ගමන් කරලා නිවන් ලබන්නට බැහැ. ඒ නිසා මේ අංග දියුණු කරගත යුතුමයි, සංසාර දුකින් මිදෙන්නට නම්. ” මේ අංග මම දවසින් දවස දියුණු කරගන්නවා, කියන අධිෂ්ඨානය ඇති කරගෙන ඒ අංග දියුණු කරගැනීමට උත්සාහ ගන්න.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ "සෝවාන් වීමට නම්..." 
ග්‍රන්ථය ඇසුරෙනි..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.