සෝවාන් වීමට නම් ( 3 කොටස )

15578318_569043149958304_231270830753177011_o

ධර්මය පිළිබඳව යම්කිසි කරුණු ටිකක් අවබෝධ කරගන්නකොට, ඒ අවබෝධය තමාට නිවන් ලැබීමට ඈතින් සිට උපකාර වෙනවා. උදාහරණයක් වශයෙන් අපි සිතමු තමාගේ ඇඟ සහ සිත ගත්තාම ” මේවා පංචස්කන්ධ ධර්ම, අනිත්‍ය, දුක්ඛ , අනාත්මයට බඳුන් වන ධර්ම, මේවා හේතු ඵල ධර්ම, මේවා ගැහැණියක්, පිරිමියෙක් කියා ගන්නට බැහැ, කිසිම සත්වයෙක් නැහැ.” කියා යම්කිසි දේශනාවක් කරුණු සහිතව ඉතා මැනවින් ඔප්පු කර පෙන්නුවාය කියා.මෙය ඇසුවාට පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. තමාටම අවබෝධ වන්නට ඕනෑ. ” මේක මෙහෙමමයි, වෙන ආකාරයක් නොවෙයි”, කිය. ” මේවා අනිත්‍යයි, කිසිසේත් නිත්‍ය නොවෙයි.” කියා තමාට අවබෝධ වන්නට ඕනෑ. ” මේවා පවතින තාක් දුක්, සැපක් කියා හිතුවාට කවදාවත් සැපක් නොවෙයි. ඒවාගේම මේවා අනාත්මයි – කිසිසේත්ම ආත්ම නොවෙයි.” කියා තමාටම අවබෝධ වන්නට ඕනෑ.

මේ අවබෝධය ලබා ගැනීමට අර විදියට සද්ධර්මය ශ්‍රවණය කර තිබීම ඉතාම ප්‍රයෝජනවත්. එසේ නැති කෙනෙකුට මේවා එක පාරටම තමාගේම ඥාණයෙන් සොයා ගන්නට බැහැ. පසේ බුදු කෙනෙකුට පුළුවන්.සම්මා සම්බුදු කෙනෙකුට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා, ඒවා භාවිතා කරලා, ඒවායින් අත්දැකීම් ලැබූ, යම්කිසි ශ්‍රාවකයකුගෙන් අනෙක් අයට ඒ ගැන දැන ගන්නට පුළුවන්. ඒ හැර කිසිම දෙවියකුගෙන්, බ්‍රහ්මයකුගෙන් හෝ වෙනත් කිසිම සත්වයකුගෙන් දැන ගන්නට බැහැ. ඒ නිවැරදි ආකාරයේ ධර්ම ශ්‍රවණය ඉතාම අවශ්‍ය වෙනව සංසාර විමුක්තිය සඳහා.එපමණක් නොවෙයි, සකෘදාගාමී, අනාගාමී, හා අර්හත් වීමටත් මේවා අවශ්‍යයි. පසේ බුදු වීමටත් අවශ්‍යයි.සම්මා සම්බුදු වීමටත් අවශ්‍යයි. එහෙත් පහළම මට්ටමින් කතා කරන විට මේවාට සෝතාපත්ති අංග යැයි කියනවා.
ධර්ම ශ්‍රවණය කරන විට පිළිපැඳිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.විශේෂයෙන්ම ඒ ධර්මය කනින් නොව හදවතින් අසන්නට පුරුදු වන්නට ඕනෑ. මෙය තායිලන්තයේ හාමුදුරු නමක් කී කතාවක්. එය සත්‍ය කතාවක්. එයින් අදහස් කරන්නේ හදවතින් දැක දැක ධර්මය ඇසීමයි. කනින් අසනකොට මේ කනින් අසනවා, අනෙක් කනෙන් ඉවතට යනවා. එපමණයි. අප අදහස් කරන්නේ කියන දේ ඒ ආකාරයෙන් දකිමින්, අවබෝධ කරගනිමින් අසන එකයි. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කර බොහෝ දෙනෙක් නිවන් ලැබුවා.දැන් කාලයේදී මොන තරම් ධර්ම දේශනා ඇසුවත් , ධර්ම ශ්‍රවණය කරද්දී නිවන් දුටු කෙනෙකු ඔබ අසා තිබෙනවාද ? මා නම් දන්නවා 15 – 20 ක් පමණ දෙනා මේ කාලයේ ධර්මය ශ්‍රවණය කරද්දී සොවාන් ආදී මාර්ග ඵල ලැබූ අවස්ථා. එසේ වන්නේ කරුණු දෙකක් මත.

1. ධර්ම දේශනා කරන තැනැත්තා විසින් කරනු ලබන ධර්ම දේශනාව තුළ, අසන තැනැත්තාගේ සිත ක්‍රමයෙන් දියුණු වී ගොස් ( ඔහු බලාපොරොත්තු වන්නේ සෝවාන් වීමට නම්) සෝවාන් වන මට්ටමට සිතේ ප්‍රඥාව, සමාධිය ආදී ගුණ ධර්ම දියුණු වී, සංස්කාර අතහරින්නට පුළුවන් වන ආකාරයට යොමු කිරීමක් තිබෙන්නට ඕනෑ.එසේ නැතිනම් කොයිතරම් ධර්මය ඇසුවත්, නිවන් ලබන්නට බැහැ.

නිවන් ලැබීමට අවශ්‍ය නම් නිබ්බාණ පටිසංයුක්ත , සුඤ්ඤත පටිසංයුක්ත දේශනා එනම් නිර්වාණය හා සම්බන්ධ, ශුන්‍යතාවය විදහා දක්වන දේශනා ඉදිරිපත් විය යුතුයි. ඒවා අසා එක්වරටම නිවන් යෑමට ශක්තිය නැති නිසා මුල පටන් ධර්ම කරුණු අවබෝධ කරගෙන, තමාගේ භාවනාව ටිකෙන් ටික දියුණු කරගෙන සිටින කෙනෙකුට එවැනි ධර්ම දේශනාවක් ඉදිරිපත් කළාට පසුව පහසුවෙන් නිවන් යන්නට පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ඒ ආකාරයේ ධර්ම දේශනා ශ්‍රවණය කරන විට බොහෝ දෙනෙක් නිවන් ගියේ, බුදුරජාණන් වහන්සේ කෙළින්ම නිවනට යොමුවන ආකාරයෙන්, කෙනෙකුගේ සිත නිවන් අවබෝධ කරගත හැකි ආකාරයෙන් ඒ ධර්ම දේශනා ඉදිරිපත් කළ නිසයි. පොත්පත් වල තියෙන්නේ බොහෝ විට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාතෘකා ටික පමණයි.
අපි හිතමු ධම්ම පදයේ ගාථාවක් ගැන.ඒ ගාථාව පමණයි ධම්ම පදයේ තියෙන්නේ.නමුත් ඒ ගාථාව ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ පැය ගණනක් විස්තර කළා. ධම්මචක්ඛ පවත්තන සූත්‍රය රෑ එළිවන තුරු විස්තර කළ සූත්‍රයක්. නමුත් ඒක අපට විනාඩි පහකින් සජ්ක්ධායනය කරන්නට පුළුවන්. රෑ එළිවනතුරු විස්තර කළ දේශනා වලට කියන්නේ “සාමුක්කංසික දේශනා” කියලා. මේ සාමුක්කංසික දේශනා අන්තර්ගත වන්නේ නැහැ ඔය ධර්ම පොත්වල. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා යොදාගත් පාඨ පමණයි, සූත්‍ර ආදී පොත්පත්වල තියෙන්නේ. එමනිසා එදා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ආකාරයෙන්ම ඉදිරිපත් කරන්නට, පොතපතින් ධර්මය කියවූ අයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
තමා ප්‍රායෝගික අත්දැකීමක් ලබා තිබෙනවා නම්, ඒ ප්‍රායෝගික අත්දැකීම් පදනම් කරගෙන, පාදක කරගෙන යම්කිසි කෙනෙක් ධර්මය ඉදිරිපත් කරනවා නම්, එවැනි කෙනකුට පමණයි නිවනට සිත යොමුකරන ආකාරයෙන් ධර්ම දේශනා ඉදිරිපත් කරන්නට ශක්තිය ඇත්තේ. එවැනි ධර්ම දේශනා වර්තමානයේ අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්.

2. දෙවන කරුණ නම් ධර්ම දේශනා කරන විට අසන්නා හදවතින් ධර්මය නොඇසීම. කනින් අහගෙන ඉන්නවා. තමා, ඒ කියන දේ අත්දකිමින්, හදවත් තුළින් දකිමින් අසන්නේ නැහැ.
මේ අඩුපාඩු දෙකම සමහරවිට තිබෙනවා. කියන කෙනාත් වැරදියි. අසන කෙනාත් වැරදියි. එතකොට කෙසේවත් ධර්ම ශ්‍රවණයෙන් නිවන් ලබන්නට බැහැ. කෙසේ වෙතත් ධර්ම ශ්‍රවණය නිවන් ලැබීමට අත්‍යවශ්‍යම වෙනවා.එයින් අප නොදත් දේ ඉගෙන ගන්නට පුළුවන්. සංසාරය කෙරෙහි කලකිරෙන්නට පුළුවන්. සංසාර සාගරයෙන් ඈත්වීමට අවශ්‍ය විරාගය ආදී ධර්මතාවයන් සිත තුළ ඇතිකර ගන්නට පුළුවන්. මේ දුක්ඛ සත්‍ය, මේ සමුදය සත්‍ය, මේ නිරෝධ සත්‍ය, මේ මාර්ග සත්‍ය ආදී වශයෙන් චතුරාර්‍ය සත්‍ය ධර්මයන් පැහැඳිළි වශයෙන් දැනගන්නට පුළුවන්. මේ ආදී විශිෂ්ඨ ආනිශංස ලැබෙනවා නිවැරදි ධර්ම ශ්‍රවණයෙන්. ඒ නිසා නිවැරදි ආකාරයේ ධර්මය ශ්‍රවණය කරන්නට පුරුදු වන්නට ඕනෑ. ඉන් අදහස් කරන්නේ නිරන්තරයෙන් රූපවාහිනි වල, රේඩියෝ වල , පන්සල් වල ඇසෙන්නේ ධර්ම දේශනා නොවෙයි.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ "සෝවාන් වීමට නම්..." 
ග්‍රන්ථය ඇසුරෙනි..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.