2. සද්ධම්ම සවණං – සද්ධර්මය ශ්‍රවණය කිරීම
මේ අය කල්පනා කරන්නට පුළුවන්, අද සද්ධර්මය අසන්නට ඕනෑ තරම් තැන් තිබෙනවා,අවස්ථා තිබෙනවා කියා. ගුවන් විදුලියෙන් බණ කියනවා, රූපවාහිනියෙන් බණ කියනවා. ලංකාවේ තරම් බණ අසන්නට ලැබෙන රටක් ලෝකයේ තවත් තිබෙනවාද කියා සිතන්නට බැරි තරම්. මේ විවිධාකාර ධර්ම දේශනා ඇසීම නොවෙයි මෙහිදී අදහස් කරන්නේ.
අද අපට අසන්නට ලැබෙන සමහර ධර්ම දේශනා ලෞකික පැත්තට නැඹුරු වූ ඒවා.සංසාර ගමන දිග්ගැස්සීමට හේතු වන ධර්ම දේශනා බොහෝ විට ඇසෙනවා.සමහර විට තමා තුළ නොතිබූ තණ්හාව, ආශාව දියුණු වන, වෛරය , ක්‍රෝධය දියුණු වන ඒවා තමයි අසන්නට ලැබෙන්නේ.නැතිනම් තමා මුලාවට පත් කරන දේශනා, වැරදි දේශනා ඉදිරිපත් කරනවා.
ධර්ම ශ්‍රවණය යනුවෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් “සද්ධම්ම සවණං” යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ අන් කිසිවක් නොවෙයි, නිවන් යෑමට අවශ්‍ය වන ආකාරයේ, සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය ආකාරයේ ධර්ම දේශනා. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, ” තථාගත භාෂිතා, ගම්භීරා, ගම්භීරත්ථා, ලෝකුත්තරා, නිබ්බාණ පටිසංයුත්තා, සූඤ්ඤත පටිසංයුත්තා” කියන වචන.
තථාගත භාෂිතා – බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද දේ
ගම්භීරා – ගැඹුරු දේ
ගම්භීරත්ථා – ගැඹුරු අර්ථ ඇති දේ
නිබ්බාණ පටිසංයුත්තා – නිර්වාණය විදහා දක්වන, නිර්වාණය මතුකර දක්වන දේශනා
සූඤ්ඤත පටිසංයුත්තා – හිතේ ශුන්‍ය භාවය, හිස් භාවය ඇතිකර දීමට හේතු වන දේශනා
මෙවැනි නිවන් යාමට අවශ්‍ය වන ආකාරයේ දේශනා තිබෙනවා. එනම් පංචස්කන්ධය පිළිබඳ දේශනා, රූපය, වේදනාව, සංඛාර, විඤ්ඤාණ යන මේවා ඇති වීමේ හේතු, නැති වීමේ හේතු, මේවා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දක්වන දේශනා.
ආයතන ගැන කතා කරනවා නම්, චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජිව්හායතන, කායායතන, මනායතන, යන ආයතන. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන හයටයි, මේ ආයතන යන වචනය එකතු කර චක්ඛායතනය ආදී වශයෙන් ඉදිරිපත් කළේ. මේ ආයතනයන්ගේ ස්වරූපය, මේ ආයතන හුදු අනාත්ම ධර්ම බව, මේවා හේතුන්ගෙන් හටගත් සංස්කාර ධර්ම බව, මේවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව, ආදී කරුණු දැක්වෙන දේශනා.
නැතිනම් ධාතු වශයෙන්. තමන්ගේ රූපය ගත්තොත්, “මේවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු. මේ විඤ්ඤාණ ධාතුව , මේ ආකාස ධාතුව, ධාතු හැර සත්වයෝ නොවෙයි, පුද්ගලයෝ නොවෙයි. ආත්ම නොවෙයි. ධාතු කියන්නේ යම්කිසි ක්‍රියා මාත්‍ර පමණයි. ඇතිවෙමින්, නැතිවෙමින් යන ක්‍රියා දාම. මේවා තමයි සත්වයෝ, පුද්ගලයෝ කියා අල්ලන්නේ. ලෝක සත්වයා මුලා වෙලා පැටළිලා සිටින්නේ” ආදී වශයෙන් ධාතු සම්බන්ධයෙන් නිර්වාණයට යොමු කරමින් කරන දේශනා.
එසේ නැතිනම් ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද දේශනා. පටිච්ච සමුප්පාද කියන්නේ හේතුන්ගෙන් හටගත් ධර්ම විදහා දක්වන දේශනා.මේවා ” මේ මේ හේතුන් නිසා හටගත් මේ මේ ඵල ධර්ම” යනුවෙන් දක්වන දේශනා. අපේ ශරීරය – රූපය ගත්තත්, හේතුන් නිසා හටගත් ඵල විනා අන් කිසිවක් නොවෙයි. සිත ගත්තත් යම් යම් හේතු නිසා හටගත් ඵල ධර්මයක්. ඒ වාගේ ලෝකයේ තිබෙන පටිච්ච සමුප්පාද ධර්මයන්, හේතුන් නිසා හටගත් ඵල ධර්මයන් විදහා දක්වන දේශනා.
විශේෂයෙන්ම සංසාරය දිගින් දිගට යන ආකාරය දක්වන පටිච්ච සමුප්පාද චක්‍රයක් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. ඒ සමඟම එහි අනෙක් පැත්ත – සංසාර චක්‍රය නතර කරන ආකාරයත් දක්වා තිබෙනවා. “අවිජ්ජා පච්චයා සංඛාරා , සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං ..” ආදී වශයෙන් ඒ පටිච්ච සමුප්පාදය විදහා දක්වන දේශනා.
අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දක්වන දේශනා.
විදර්ශනා ඤාණ මතුකර දක්වන දේශනා.
කලකිරීම ඇතිකරවන දේශනා – නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, වූපසමාය, යන වචන බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා.
නිබ්බිදාව කියන්නේ මේ සංසාරයේ රැඳී සිටීම පිළිබඳ කලකිරීම ඇතිකරවන දේශනා.
විරාගය කියන්නේ සංසාරයේ තිබෙන සියළුම සංස්කාර කෙරෙහි ඇලීම නැති කරන දේශනා.
නිරෝධාය – සංස්කාර ධර්මයන් නිරුද්ධ කිරීමට හේතු වන දේශනා.
මේ ආදී වශයෙන් නිවන් යෑමට හේතු වන ධර්ම දේශනා ඇසිය යුතු වනවා, සෝවාන් වීමට බලාපොරොත්තු වන අය. මෙවැනි දේශනා අසන්නට ලැබෙන්නේ කලාතුරකින්.ඒ නිසා කොහේ හෝ තිබෙන තැනකට ගොස් මෙවැනි ධර්ම දේශනා අසන්නට පුරුදු විය යුතුයි. නැතිනම් මේ පිළිබඳව ලියවුණු පොත පත කියවා හෝ දන්නා අය සමඟ සාකච්ඡා කර හෝ කරුණු අවබෝධ කරගත යුතුයි.
මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ "සෝවාන් වීමට නම්..." ග්‍රන්ථය ඇසුරෙනි..