සෝවාන් වීමට නම් ( 1 කොටස )

15589860_568594503336502_4884525944954151545_n

සෑම බෞද්ධයකුම වාගේ බලාපොරොත්තු වන්නේ සංසාර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමටයි.නිවන් අවබෝධ කර ගැනීම සඳහා බොහෝ දෙනා විවිධ අන්දමේ කුසල කර්ම සිදු කරනවා.දන් දීම , සිල් රැකීම, බුද්ධ පූජා පැවැත්වීම වැනි දේවල්. මේ කිසි දෙයක් කළාට විදර්ශනා භාවනාවක් නොකොට, නිවන් අවබෝධ කර ගන්නට බැහැ.
නිවන් අවබෝධ කර ගන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන මාර්ග හතරට සහ ඵල හතරට පිළිවෙලින් පත් වීමෙනුයි. යටත් පිරිසෙන් සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනෙකු ළඟ තිබිය යුතු අංග හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.ඒවාට සෝතාපත්ති අංග යැයි කියනවා.
එමෙන්ම සෝවාන් වූ කෙනෙකු ළඟ පවතින අංග හතරකුත් තිබෙනවා. ඒවාටත් “සෝතාපත්ති අංග” කියා කියනවා. සෝවාන් වූ කෙනෙකු ළඟ තිබෙන අංග තමයි, ” බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති” යන අංග හතර.
බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි කිසිදාක නොසැලෙන ශ්‍රද්ධාවක් ඇතිවීම සහ අපායගාමී අකුශලයක් කිසිදිනක නොකෙරීම යන කරුණුයි එයින් කියවෙන්නේ.
මේ නොසැලෙන ශ්‍රද්ධාව ගැන කීවාම මේ අයට සිතෙන්නට පුළුවන්, අප ළඟත් තියෙන්නේ නොසැලෙන ශ්‍රද්ධාවක් තමයි කියලා.එහෙම නොවෙයි, කවර කරුණක් යෙදුණත්, කුමන අවස්ථාවක වුණත්, රත්නත්‍රය කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව සැලෙන්නේ නැහැ, අන් දෙයක් තබා මරණයෙන් පසුව අන් ආගමකට අයත් මව් කුසක, සෝවාන් වූ කෙනකු පිළිසිඳ ගත්තා නම්, එවැනි දරුවකු තුළ වූවත් රත්නත්‍රය කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව සැලෙන්නේ නැහැ.
අප විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ එය නොවෙයි. සෝවාන් වීමට උත්සුකව කටයුතු කරන කෙනකු ළඟ තිබිය යුතු ගුණ ධර්ම හතරයි.ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර තිබෙනවා.
“චත්තාරිමානි භික්ඛවේ සෝතාපත්ති අංගානි, කතමානි චත්තාරි ? සප්පුරිස සංසේවෝ, සද්ධම්ම සවණං, යෝනිසෝ මනසිකාරෝ, ධම්මානු ධම්ම පටිපත්ති”
1. සප්පුරිස සංසේවෝ – කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය
2. සද්ධම්ම සවණං – සද්ධර්මය ශ්‍රවණය කිරීම
3. යෝනිසෝ මනසිකාරෝ – නුවණින් මෙනෙහි කිරීම
4. ධම්මානු ධම්ම පටිපත්ති – ධම්මානු ධම්ම ප්‍රතිපත්තියේ යෙදීම

1. සප්පුරිස සංසේවෝ – කල්‍යාණ මිත්‍ර සංසේවණය

මුළු බුද්ධ ශාසනයම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත රඳා පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. අප ඇසුරු කරන අය කල්‍යාණ මිත්‍රයන් විය යුතුයි. ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර නිසයි අපට ශක්තිය ලැබෙන්නේ පාපයෙන් අත්මිදෙන්නට, කායික, වාචසික, මානසික දුශ්චරිත වලින් ඈත් වන්නට පුළුවන්කම ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසයි.එසේම කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත යන කයින්, සිතින්, වචනයෙන් කරන යහපත් ක්‍රියා කරන්නට හැකිවන්නේත් සත්පුරුෂයන් හෙවත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙනුයි.ඊටත් අමතරව මේ භයානක සංසාර සාගරයෙන් මිදීමට අවශ්‍ය කරුණු දැන ගැනීමට හැකිවන්නේත් , සංසාරයෙන් මිදීමට අවශ්‍ය මාර්ගයේ ගමන් කිරීමට අතහිත දෙන්නේත් කල්‍යාණ මිත්‍රයනුයි.

කල්‍යාණ මිත්‍රයා යනු කවරේදැයි තේරුම් ගැනීමට පාවිච්චි කළ හැකි මිනුම් දණ්ඩක් තිබෙනවා. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි කියනවා නම්, යමකු ඇසුරු කිරීම නිසා, අපගේ සිත තුළ කලින් නොතිබූ ශීල සම්පත්තිය දැන් ඇති වෙනවා නම්, දැන් තිබෙන ශීල සම්පත්තිය තව තවත් වැඩි වෙනවා නම්, එය දිගටම ගෙන යන්නට පුළුවන් නම්, ඔහු කල්‍යාණ මිත්‍රයකු ලෙස සලකන්නට පුළුවන්.
අපි හිතමු අප පන්සිල් ආරක්ෂා කරනවා කියා. මේ පන්සිල් දිගටම ආරක්ෂා කර ගැනිමට යම් කෙනකු ඇසුරු කිරීම නිසා හැකියාව ලැබෙනවා නම්, එසේ නැතිනම් තමන් පන්සිල් නොරකින කෙනකු නම්, යමකුගේ ඇසුර නිසා තමා පන්සිල් රැකීමට පෙළඹෙනවා නම්, එවැනි කෙනෙක් කල්‍යාණ මිත්‍රයකු ලෙස සලකන්නට පුළුවන්.
තමා ශීල සම්පත්තියෙහි පිහිටුවන්නට හැකි කෙනෙක්, තමාගේ ශීල සම්පත්තිය පිරිහෙන්නට සලස්වන්නේ නැති කෙනෙක්, තමන්ගේ ශීල සම්පත්තිය දියුණු කරගන්නට උපකාර වන කෙනෙක් තමයි කල්‍යාණ මිත්‍රයා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා, ත්‍යාග සම්පත්තිය පරිත්‍යාගශීලී භාවය.
යමකු ඇසුරු කිරීමෙන් තමාගේ පරිත්‍යාගශීලී භාවය දියුණු කරගැනීමට පුළුවන් නම්, තමා ළඟ නැති පරිත්‍යාගශීලී භාවය ඇති කර ගන්නට පුළුවන් නම්, එවැනි කෙනෙක් කල්‍යාණ මිත්‍රයකු හැටියට හඳුන්වන්නට පුළුවන්.
මෙහි අනෙක් පැත්ත, එනම් තමාගේ පරිත්‍යාගශීලී භාවය යම් කෙනකු ඇසුරු කිරීම නිසා නැතිවෙනවා නම්, ඔහු කල්‍යාණ මිත්‍රයකු වශයෙන් ගණන් ගන්නට බැහැ.
ඊළඟට යම් කෙනකු ඇසුරු කිරීමෙන් තමාගේ ප්‍රඥාව දියුණු වෙනවා නම්, එවැනි කෙනෙක් කල්‍යාණ මිත්‍රයකු වශයෙන් සලකන්නට ඕනෑ.
ප්‍රඥාව යනුවෙන් හඳුන්වන්නේ බාහිර විෂයයන් සම්බන්ධ දැනුම නොවෙයි. බාහිර විෂයයන් සම්බන්ධ දැනුම ඇති අය ලෝකයේ අනන්තවත් සිටිනවා.ඒ අය නොවෙයි මෙතන කල්‍යාණ මිත්‍රයන් ලෙස සළකන විට ප්‍රඥා සම්පත්තියෙහි ලා ගැනෙන්නේ. මෙහි ප්‍රඥා සම්පත්තිය කියන්නේ, සංස්කාර ලෝකයේ යථා තත්වය තමාට පෙන්වා දෙන කෙනෙක් සිටිනවා නම්,
“මේ සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මේවා මම හෝ මගේ නොවෙයි. සත්වයෙක් නොවෙයි, පුද්ගලයෙක් නොවෙයි.මේ සංසාරයේ රැඳී සිටින එක මහා දුකක්, මේවා හේතු ඵල මිස වෙනත් දෙයක් නොවෙයි. මේ සියල්ල සංස්කාර ධර්ම”
ආදී වශයෙන් නිවන් යෑමට, සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව, යමකු ඇසුරු කිරීමෙන් ඇතිවෙනවා නම්, තමා ළඟ තිබෙන ප්‍රඥාව , තව තවත් වැඩිවෙනවා නම්, ඔහු කල්‍යාණ මිත්‍රයකු ලෙස සළකන්නට කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.
යමකු ඇසුරු කිරීමෙන් තමා තුළ තිබෙන ශ්‍රද්ධාව වැඩිවෙනවා නම්, ඔහු කල්‍යාණ මිත්‍රයෙක්. එසේම යමකු ඇසුරු කිරීමෙන් තමා තුළ තිබෙන ශ්‍රද්ධාව නැතිවෙනවා නම් ඔහු කල්‍යාණ මිත්‍රයකු නොවෙයි.
කෙටියෙන් කියතොත් තමාට සංසාර දුකින් මිදී නිවන් දැකීමට, පරලොව යහපතට, තමාගේ ගුණ ධර්ම දියුණු කරගැනීමට, අත හිත දෙන කෙනෙක් සිටිනවා නම් ඔහු කල්‍යාණ මිත්‍රයකු ලෙස සැලකිය යුතුයි.
අප අනෙක් අය ඇසුරු නොකළ යුතුයැයි මෙයින් අදහස් කරන්නේ නැහැ.අද සිටින බොහෝ අය කල්‍යාණ මිත්‍ර ගණයට ඇතුළු කරන්නට බැහැ.ඒ අය ඇසුරු කළාට කමක් නැහැ. අතේ දුරින් තබාගෙන ඒ අයගේ නරක ගතිගුණ වලට ඇබ්බැහි නොවී ඔවුන් ඇසුරු කිරීමේ වරදක් නැහැ.ලෝකයේ ජීවත්වීමට අවශ්‍ය නිසා,සමාජයෙන් කොන් වන නිසා, ඔවුන් ඇසුරු කළත් ඒ අය කල්‍යාණ මිත්‍රයන් වශයෙන් කිසිසේත් සළකන්නට බැහැ.බොහෝ දෙනෙක් සිතනෙනේ මෙවැනි වැරදි දේ වලට තමා පොළඹවන අය කල්‍යාණ මිත්‍රයන් කියලයි. මේ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ඉතාමත් අවශ්‍යයි , සංසාර දුකින් මිදීමට. එවැනි කෙනෙක් පමණයි, මේ සංසාරයේ භයානක කම පෙන්වා දෙන්නේ.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ "සෝවාන් වීමට නම්..." 
ග්‍රන්ථය ඇසුරෙනි..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.