අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..
ආර්ය අෂ්ටාංගි මාර්ගය –
සම්මා දිට්ඨි – යහපත් දැකීම
සම්මා සංකප්ප – යහපත් සිතිවිලි
සම්මා වාචා – යහපත් වචන
සම්මා කම්මන්ත – යහපත් කායික ක්‍රියා (කයින් කරන වැරැදි නොකිරීම)
සම්මා ආජීව – යහපත් දිවිපැවැත්ම
සම්මා වායාම – යහපත් උත්සාහය
සම්මා සති – යහපත් සිහිය
සම්මා සමාධි – යහපත් සමාධිය
මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දැක්වෙන්නේ ද ඉහත කී ත්‍රිශිෂ්කාවම හැර වෙන එකක් නොවෙයි. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කොටස් හතරම වැටෙන්නේ ශීලයට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කොටස් 3 සමාධියටයි අන්තර්ගත වන්නේ. සම්මා දිට්ඨිය වැටෙන්නේ ප්‍රඥාවට.
සම්මා දිට්ඨි – බුදුරජාණන් වහන්සේ විසින් සම්මා දිට්ඨිය වශයෙන් වදාරා ඇත්තේ දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධය සත්‍යය, හා මාර්ග සත්‍යය පිළිබඳව ඇති කර ගත යුතු අවබෝධයට. වෙනත් වචනවලින් කියනවා නම්, නිවන් දැකීමට අවශ්‍ය කරුණු ගැන තමා විසින් ම ඇතිකර ගත යුතු ප්‍රත්‍යක්ෂමය අවබෝධයන්ට. මේ පිළිබඳව ඉදිරියේ දී විස්තර කරන්නම්.
සම්මා සංකප්ප – නෛෂ්කර්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා සහ අවිහිංසා සංකල්පනා කියන සිතිවිලි නිවන් දැකීමට බලාපොරොත්තු වන අය විසින් ඇති කර ගත යුතු වනවා.
ගිහි අයට කාම සංකල්පනා වලින් තොරව සිටීමට නොහැකිවුණත්, නිරන්තරයෙන්ම එවැනි සිතිවිලි වලින්ම වෙලී සිටින්නේ නැතිව, සසර පුරා විඳි අනන්ත අප්‍රමාණ දුක් ගැන අවබෝධයක් ඇතිකර ගෙන ‘මේ සසරේ රැඳී සිටීම මහා භයානකයි, අඩු වශයෙන් සෝවාන්වත් නො වුණොත් අනාගතයේ කොච්චර නම් සසර දුකක් විඳින්නට සිදුවනවද, මමත් කොහොම හරි සසරින් මිදී නිවන් දැකීමට උත්සාහ ගත යුතුමයි, මැරුණට පස්සේ සතර අපායට වැටුණොත් කවදානම් ගැළවෙන්නට ලැබෙයිද ආදී නිවන් දැකීමට අවශ්‍ය වන නෛෂ්කර්ම සිතිවිලි ඇති කර ගත යුතුයි. මෙවන් සිතිවිලි ඇති වුණේ නැත්නම් කවුරුවත්ම නිවන් දැකීමට අවශ්‍ය ගුණ ධර්ම දියුණුකර ගැනීමට උත්සාහ ගන්නේ නැහ.
ව්‍යාපාද සිතිවිලි වලින් පිරී ගිය සිතකින් නිවන් දැකීමට බැහැ. එම නිසා අව්‍යාපාද හෙවත් මෛත්‍රී සහගත සිතුවිලි ඇතිකරගත යුතු යි. මෛත්‍රිය ගැන විස්තරයක් භාවනා කෙටියෙන් හඳුන්වා දෙන විට කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.
අවිහිංසා හෙවත් කරුණා සහගත සිතිවිලි නිවන් දැකීමට බලාපොරොත්තු වන කෙනකුගේ සිත තුළ තිබිය යුත්තක්. තමන්ට කවුරු හරි ක්‍රෝධ කිරීම, වෛර කිරීම, පළිගැනීම්, නින්දා අපහාස අපකීර්ති පැතිරවීම ආදී දේවල් කරනවාට තමන් කැමැති නැතිවා වගේම ලෝකයේ කවුරුවත්ම එවැනි දේ වවවලට ලක්වීමට කැමැති නැහැ. ඒක නිසා සතුරකුටවත් කායික වශයෙන් හරි, මානසික වශයෙන් හරි කිසිම කරදරයක් හිරිහැරයක් නොකර සිටින්නට උත්සාහ ගත යුතුයි. මේ සියලුම සත්ත්වයෝ දුකෙහි පිහිටලා සිටින්නේ, සියලුම සත්ත්වයෝ දුකින් මිදෙත්වා කියා කරුණා සහගත සිතිවිලි ඇතිකර ගැනීම ඉතා සුදුසුයි.
සම්මා වාචා – යහපත් වචන කියන්නේ බොරු, කේලාම්, ඵරුෂ වචන සහ සම්පප්‍රලාප කීමෙන් වළකින එකට. මේ අතුරෙන් බොරු කීම හා සම්පප්‍රලාප කියන එකයි බොහෝ දෙනකු විසින් වැඩිපුර සිදු කරන්නේ. බොහෝ දෙනකු කියන කතාවක් තමයි, බොරු කියන්නේ නැතිව අද සමාජයේ ඉන්නට බැහැ කියන එක. ලෝකයක් හදන්නට අපට බැරි නිසා තමන් ගේ සිත පාපයෙන් මුදා ගැනීමයි කළ යුතු වන්නේ. එම නිසා තමන් ඇසුරු කරන අය තරහ කර ගන්නෙත් නැතිව, හැකි තරම් දුරටවත් බොරු කීමෙන් වැළකී සිටීමට උත්සාහ කිරීම තමාගේම යහපත සඳහා හේතු වන බව තේරුම්ගෙන බොරු කියන්නේ නැතිව ඉන්නට මහන්සි ගන්නට ඕනෑ කවදා හෝ නිවන් දැකීමට බලාපොරොත්තු වනවා නම්.
අද ඔබට සැමවිටම වාගේ අසන්නට, කියවන්නට, බලන්නට තිබෙන්නේ තමන්ටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති, මෙලොව යහපත සඳහාත් හේතු නොවන, පරලොව යහපත සඳහාත් හේතු නොවන, නිවන සඳහා කිසිසේත්ම හේතු නොවන, සසර දිග්ගැස්සීමට හේතුවන, පව් රැස්කර දෙන හිස් වචන, සම්පප්‍රලාප, එවැනි වචන අසන්නට සිදුවන අවස්ථාවලදී, ඇසුරු කරන අය අමනාප කර ගන්නේ නැතිව, ඒ අය කියන වචන වලට ‘හ්ම්, හරි හරි, ආ එහෙමද, ඇත්තද…..’ ආදී වශයෙන් ඉතා කෙටියෙන් ඒ අයට පිළිවදන් දෙමින් සම්පප්‍රලාප කීමෙන් හැකි තරම් දුරට වැළකී සිටින්නට පුළුවන්.
සම්මා කම්මන්ත – බොහෝ දෙනෙක් සිතා ගෙන සිටින්නේ හොඳ කර්මාන්තයක යෙදීම සම්මා කම්මන්ත කියලා. ඒක වැරැදියි. බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ කයින් කරන වැරැදි ඒ කියන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම කියන පාපයන් ගෙන් වැළකී සිටීම සම්මා කම්මන්ත කියලා. රහමෙර පානය කිරීමෙන් වැළකීමත් මෙයටම ඇතුළත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අදාළ පාලි පාඨ මේ ලිපි වල දක්වන්නේ නැත්තේ බොහෝ දෙනෙක් ඒවා නො කියවන නිසා.
සම්මා ආජීව – මෙයින් අදහස් කරන්නේ ධාර්මික වූ ජීවනෝපායකින් දිවිපැවැත්ම පවත්වාගෙන යාමයි. අධාර්මික ලෙස අවුරුදු 100 ක් ජීවත් වනවාට වඩා, එක දවසක් ධාර්මික වශයෙන් ජීවත්වීම ශ්‍රේෂ්ඨ බවයි බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ.
සම්මා වායාම – සම්මා වායාමයට කුශල් පැත්තෙන් කොටස් දෙකකුත්, අකුශල් පැත්තෙන් කරුණු දෙකකුත් දේශනා කර තිබෙනවා.
මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..