නිවන් දැකීමට නම් (1 කොටස)

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..

15672589_568167196712566_1206459610158427232_n

සෑම බෞද්ධයකු ම වාගේ ඕනෑම කුශලයක් කළාට පසුව ප්‍රාර්ථනා කරන්නේ සසර දුකින් මිදී නිවන් දැකීමට වුවත්, කරනු ලබන සෑම කුශලයක් නිසා ම නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට ලැබෙන්නේ නැති බව සමහර අය නො දන්නා කරුණක් වන්නට පුළුවන්. බෝධි පූජා, බුද්ධ පූජා, දන්දීම්, වැනි සසර දිග්ගැස්සීමට හේතු වන වට්ටගාමී කුශලයක් කළාට පසුව ඒවා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් එවැනි කුශලයක් වුවත් නිවන් ලැබීමට හේතුවන විවට්ටගාමී කුශලයක් බවට පත්කර ගැනීමට නුවණ ඇති කෙනකුට හැකිබව අවබෝධ කර ගැනීම සුදුසුයි.
ප්‍රත්‍යවේක්‍ෂා කිරීම යනුවෙන් අදහස් කරන්නේ නුවණින්, විදර්ශනා ඇසකින් නැවත නැවත විමසා බලමින් තමා විසින්ම එම කරුණු අවබෝධ කර ගැනීමට. විදර්ශනාව ගැන අවබෝධයක් නැති කෙනකුට මෙය කළ නොහැකි නිසා ඒ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එවැනි අවබෝධයක් ඇතිකර ගැනීම නිවන අත්දැකීම සඳහා ද ඉතාමත්ම අවශ්‍ය වනවා.
සම්මා සම්බුද්ධත්වය, පසේබුද්ධත්වය, අග්‍රශ්‍රාවක-මහාශ්‍රාවක භාවයන්, රහත්භාවය ආදී කවර ප්‍රාර්ථනයක් තිබුණත්, ඒ සෑම කෙනකු විසින්ම නිවන අවබෝධ කිරීමට අවශ්‍ය ගුණධර්ම අනිවාර්යෙන් ම දියුණු කර ගත යුතු යි.

නිවන් ලැබීමට අවශ්‍ය ගුණධර්ම කියන්නේ, කෙටියෙන් කියනවා නම් ශීල-සමාධි- ප්‍රඥා කියන ත්‍රිශික්‍ෂාවට. මෙය ඊට වඩා විස්තර වශයෙන් දක්වනවා නම් ආර්යඅෂ්ඨාංගික මාර්ගයට. ඊටත් වඩා විස්තර වශයෙන් කීවොත් සත්තිස්බෝධිපාක්‍ෂික ධර්මයන්ට. මේ අතුරෙන් දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්යසත්‍යය වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි සැම විටම වාගේ දක්වා වදාළේ.

ත්‍රිශික්‍ෂාව : ශීල, සමාධි, ප්‍රඥා.

ශීල : ගිහි අයට නම් නිත්‍ය පංචශීලය හෝ නිත්‍ය ආජීව අෂ්ඨමක ශීලය ආරක්‍ෂා කිරීම ප්‍රමාණවත් වුවත්, ඉන්ද්‍රිය සංවර ශීලය ආරක්‍ෂා කිරීම ද ඉතාමත් ම ප්‍රයෝජනවත් වනවා. ඒ කියන්නේ ඇස- කන- නාසය- දිව- ශරීරය හා මනස කියන ඉන්ද්‍රියන්ට රූප- ශබ්ද- ගන්ධ- රස- කයට දැනෙන ස්පර්ශ හා මනසට දැනෙන දේවල් හමුවුණාට පසුව ආශාවක්, තරහක්, ඊර්ෂ්‍යාවක් ආදී කෙලෙස් ඇතිවන්නට නොදී සිත මැදහත්ව තබාගැනීමට පුරුදු වීමට. මේ සඳහා එදිනෙදා ජීවිතයේ දී තරහක් ඇතිවන විට ‘තරහක් තරහක තරහක්…’ කියා සිහිපත් කොට ඒ තරහ සිතුවිලි මැඩ ගැනීමත්, තමන්ගේම පවුලේ භාර්යාවන් වැනි අය හැර වෙනත් අය ගැන අයුතු රාගයක් ඇතිවන විට රාගයක් රාගයක් රාගයක් කියා සිතා ඒ ඔස්සේ සිතිවිලි ගලා යාමට ඉඩ නොදී සිත කෙලෙස් වලින් තොරව හැකි තරම් ඉන්නට පුරුදු වීමත් කළ යුතු වනවා. මෙසේම ඊර්ෂ්‍යා දැඩිලෝභ ආදී සෙසු කෙලෙස් ඇතිවන විට ද එසේ කරන්නට ඕනෑ.මෙය පුරුදු කිරීම මුලදී තරමක් අපහසු වුවත්, පුරුදු වූ පසු සිත සැනසිලි දායක ලෙස තබා ගැනීමට හැකිවේවි.

සමාධි : සමාධි කියන්නේ සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් ඇති කර ගනු ලබන රූපාවචර 1-2-3-4 ධ්‍යාන සිත් වලට. නිර්වාණය අත්දැකීම සඳහා අඩුම වශයෙන් පළමුවන ධ්‍යාන සිතවත් තිබීම අත්‍යවශ්‍ය වුවත්, සමථ භාවනා කොට ධ්‍යානයක් උපදවා ගෙන විදර්ශනා භාවනා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මුල සිටම විදර්ශනා භාවනා කරන කෙනකුට වුවත් ධ්‍යාන සිත් උපදවා ගන්නට පුළුවන්. ඒවා හඳුන්වන්නේ වීමංසා සමාධි නැත්නම් ඛනික සමාධි කියලා.

ප්‍රඥා : මෙයින් අදහස් කරනු ලබන්නේ නිවන ලැබීමට අවශ්‍ය වන කරුණු ගැන තමන් විසින් ම ඇති කර ගත යුතු විදර්ශනාමය ප්‍රඥාව. ලෞකික වශයෙන් ඇතිකරගනු ලබන ප්‍රඥාවක් නිර්වාණාවබෝධය සඳහා හේතු වන්නේ නැහැ.

මතු සම්බන්ධයි..

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.